විශේෂාංග

දරුවෙක් වගේ හදලා ලොකු වුණාම දන් දෙන්න මං වෙස්සන්තර නෙවෙයි මචං

ලසන්ත රත්නවීරගේ හා නිමේෂා දිල්හානිගේ ජීවිතවලත් පාට පාට හීන පිරී තිබුණේය. ඒ හීන හැබෑ කරගන්නට දහතුන් හැවිරිදි දියණිය වූ කනීෂා මව්පියන් ළඟ තබා දෙදෙනාම ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාව කළෝය. ඒ නිසා දෙදෙනාම ගලෙන් බිඳුණුවැව නිකවැව පිහිටි ගෙදරට ආවේ බොහෝ රෑ බෝ වීය. ඒ ද ආයතනයේ ප්‍රවාහන සේවයෙනි. ඔවුන්ගේ මහ ගේ තිබුණේ කිලෝමීටර් කීපයක් දුරින් ගම ඇතුළේය. ඒ නිසා බොහෝ කාලයක සිට හිතමින් සිටි පරිදි පසුගිය අප්‍රේල් මාසයේ රැකියා ස්ථානයේ ප්‍රවාහන සේවයට පහසුවන පරිද්දෙන් ඔවුන් පාරට ආසන්නයේ නිවසක් කුලියට ගෙන පදිංචියට ගියහ. ඒ නිවස වූයේ ඔවුන් එතෙක් කලක් විසූ නිමේෂාගේ මහගෙදරට කිලෝමීටර් දෙකක් පමණ දුරකිනි. ඒ එනවිට එහි දමා එන්නට අමාරුම එක් දෙයක් ලසන්තටත් නිමේෂාටත් තිබුණි. ඒ ඔවුන් ඉහේ මූණේ තබාගෙන හැදූ සූකිරි, ටුටූ, කිටී හා කළුච්චි ඇතුළත් පූස් පවුලයි. එතැනින්ද ලසන්ත හා නිමේෂා වැඩිපුර බැඳී සිටියේ ‘සූකිරි’ට හා ‘ටුටූ’ටය.

‘‘සූකිරිට රෑට අපි නැතුව නින්ද යන්නෙ නෑ වගේම අපි දෙන්නටත් සූකිරි නැතුව රෑට නින්ද යන්නෙ නෑ. එයා ඇස් අරින්නත් කලින් ඉඳලා තමයි අපේ නෝනා එයාව ඇඳට පුරුදු කළේ. එදා ඉඳලා මගේ මූණෙ රැවුල ගෑවි ගෑවි හරි කකුල් දෙක මැදින් සරමෙ තොටිල්ලට වගේ බැහැලා නිදා නොගත්ත එකම දවසක්වත් තිබ්බෙ නෑ.’’

සූකිරියා ජීවිතයට බද්ධ වූ හැටි ලසන්ත කීවේ එහෙමය. ඒ හැම වචනයකම වූයේ සූකිරිට සැබෑවටම හදවතේ බැඳි ස්නේහයයි.

‘‘අපේ නෝනා එයාගෙ කිරි නොපෙව්වා විතරයි. එයා ඒ තරමට අපෙන් සැළකුම් ගන්න මේ අත්වල හුරතල් වුණා. වැඩ ඇරිලා ආවම දුවව හුරතල් කරන්න ළඟට ගන්නෙ අත, පය, මූණ හෝදගෙන. ඒත් එතකම් සූකිරිට ඉවසන්න බෑ. වඩාගන්නම ඕන. වඩාගත්තම නැළවෙන්නම ඕන. එහෙම කළාම දුවගෙන් නෝක්කාඩු මහ ගොඩයි. තාත්තිට මාව තමයි ආව ගමන් ළඟට ගන්න බැරි කියලා. ඉතින් එහෙම හිටපු එයාලව මහගෙදර දාලා එන්න පුදුම විදිහට හිතලා හිතලයි හිත හදාගත්තේ.’’

එසේ පසුගිය අප්‍රේල් 15 වැනිදා ඔවුන් හිත හදාගෙන නව නිවසක පදිංචියට ගියද සූකිරිට මෙන්ම ටුටූටත් එසේ හිත හදාගෙන නිමේෂාගේ මහගෙදර සිටින්නට බැරිවිය. ඒ දෙදෙනා නොකා නොබී, දිනක් දෙකක් අඬමින් ලසන්ත හා නිමේෂා සොයා හර්තාල් කරන්නට වූහ.

‘‘ඇත්තටම එයාලා නොගෙනාවෙ ඒ දෙන්නගෙ ආරක්ෂාව ගැන හිතලා. මොකද අපි උදේ වැඩට ගිහින් පැය අට වැඩ කරලා හවස එන අය නෙවෙයි. අපේ වැඩ මුර රෑත් තියෙනවා. එතකොට වැඩ ඇරිලා එනකොට රෑ නවය දහයත් වෙනවා. දුවත් අපි මහගෙදර තියන්නෙ ඒකයි. ඒත් අපි නැතුව දුකෙන් සාංකාවෙන් හිටපු හින්දා අප්‍රේල් 17 වැනිදා අපි මේ ගෙදරට ඒ දෙන්නව ගෙනාවා.’’

සූකිරිගේ වයස මාස දහයකි. ටුටූට තවමත් මාස දෙකකි. සූකිරි, සූකිරි කැටයක් තරම් සුදු ලස්සනම ලස්සන පූසෙකි. දකින ඕනෑම කෙනෙකුට වඩාගන්නට හිතෙන සූකිරි ඕනම කෙනෙකුට වඩාගෙන හුරතල් කරන්නට පුළුවන් හීලෑ කෙනෙකි. ලසන්තලාගේ අලුත් ගෙදර අවට අයත් ඉතා ඉක්මනින් දැන හඳුනාගත් සූකිරි එහි පැමිණ දිනක් දෙකක් යද්දී ගෙදරට යාව ඇති පන්සල් තාප්පයට වී වටපිට බලමින් ඉන්නට හුරුවුණේය. ඒ නිසා දහම් පාසලේ ළමයින් සේම පන්සලේ හාමුදුරුවන්ද සූකිරිගේ යාළුවෝ වූහ. සමහර විටෙක දහම්පාසලේ දරුවන්ගේ අතට වී හුරතල්ද වුණේය.

දින දින ගෙවුණි. සූකිරිලා ලසන්තලාගේ අලුත් ගෙදරට පැමිණ දින අටක් ගෙවී ගියේය. එදා අප්‍රේල් 28 වැනිදාය. එදා දවල් කාලයේ නිමේෂා ගෙදර සිටියාය. ඇය ඒ ළඟ කඩයට යද්දී සූකිරි සිටියේ පන්සලේ තාප්පෙ උඩය. ඇය කඩයේ සිට එද්දී වෙනදා නොදුටු පිරිමි ළමුන් කීපදෙනෙක් අතේ සූකිරි හුරතල්වෙනුත්, ඔවුන් සූකිරි වඩාගෙන ෆොටෝ ගන්නා අයුරුත් දුටුවාය. කිසිවක්ම නොකියා ඇය එතැනින් ආවේ සූකිරි දකින ඕනම කෙනෙක් වඩාගන්නා නිසාය. ඒ ළමයින් ගිය පසුත් එදා සූකිරි ගෙදර සිටියේය. එදා රෑද පාන්දර දෙක තුන වනතුරුත් සූකිරි සිටියේ ලසන්තගේ ඇඳේ නිදාගෙනයි. ඒත් ඊට පසුදා උදේ ඔවුන් දෙදෙනා වැඩට යන්නට සූදානම් වී සූකිරිට කතා කළත් ආවේ නැත.

‘‘කොහෙට හරි වෙලා නිදි ඇති කියලා හිතලා අපි වැඩට ගියා. හවස අපි හිතාගෙන ආවේ සූකිරි ඇවිත් ඇති කියලා. ඒත් එයා ඇවිත් හිටියෙ නෑ. ඒ වෙලේ ඉඳලා තාම අපි සූකිරි හොයනවා…’’

පැත්ත පළාතටම ඇසෙන්න සූකිරිගේ නම අඬ ගැසූවත් ලසන්තගේ ඒ හඬ සුළඟේ පාව ගියා පමණි. එතෙකින් නොනැවතුණ ඔවුන් දෙදෙනා ඊට පසුදා ඒ අවට ළිංවල, වළවල් ඇතුළු අනතුරුදායක තැන්වල සූකිරියා සොයා ඇවිද්දහ. ඒත් කෙනෙක් දැක්ක බවටවත් කිසිඳු හෝඩුවාවක් නොවීය. ලසන්තගේත් නිමේෂාගේත් හිත විතරක් නොව ගෙදරද ඔවුන් නිදන ඇඳද පාළු විය.

‘‘අර ළමයි පිට ගමකින් ආව කට්ටියක් කියලයි තොරතුරු ලැබුණේ. එක්කෝ ඒ අය උදේ පාන්දර එළියෙ ඉන්නැද්දී සූකිරි අරන් ගියා වෙන්න පුළුවන්. එයා මේ ගමේ ඉන්නවනම් මේ වෙනකොට ඇවිල්ලා. මට දැනෙනවා, මම දන්නවා එයා ජීවතුන් අතර ඉන්නවා කියලා. එයා මගෙ ඇඟේම කොටසක් වගේ. අපිට එයා නැතුව පපුව කකියනවා වගේ එයාටත් එහෙම ඇති. සූකිරිට කන්න බොන්න දුන්නට, සැපට ජීවත්වෙන්න ලැබුණට ආදරෙන් සැළකුවට වැඩක් නෑ. මං නැතුව නින්ද යන්නෙ නෑ. ටුටූත් එහෙම හුරතලේට හැදුනට මේ තරම්ම එයා බැඳිලා නෑ. අනික ටුටූ පුංචි වුණාට ඕන තැනකින් බේරෙන්න දන්නවා. එත් සූකිරි හරි මෝඩයා. පොඩ්ඩ ඇත්තන් බයවෙනවා.’’

මේ සා සත්තුන්ට මිනිස්සු ආදරය කරනවාදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. පුදුම විය යුතු නැත. එය ඇත්තය. මේ ලසන්ත සූකිරි වෙනුවෙන් මුහුණුපොතට එක්කළ සටහනයි.

‘‘මං වෙස්සන්තර නෙවෙයි මචං.

ඉපදුණ දවසෙ ඉඳලා දරුවෙක් වගේ හැදුවෙ ලොකු වුණාම දන් දෙන්න නෙවේ. පෙනුමට හැඩට ඉන්න නිසා ආසාවට උස්සන් ගියාට කමක් නෑ. එයා සාංකාවෙන් නොකා නොබී ඉන්නවනම් ආයෙත් ගෙනත් දාපන් මචං. නෝනා තාමත් උදේ හවා සූකිරි කියලා කතා කර කර හොයනවා.’’

බියංකා නානායක්කාර