නැන්දම්මගේ වරු පිරිත හිතට ඇල්ලුවේ නැති නිසා මං ගමේ ගෙදර ගියා
වෛද්‍යවරයෙකුට ප්‍රසන්න පෙනුමක් උරුමවෙන එක කොයිතරම් දෙයක්ද… එහෙම නැත්නම් රැකියාව හින්දම ඔවුන් ප්‍රසන්න විදිහට හැසිරෙනවා ඇති. කෙනෙකුගෙ කය වගේම හිත සුවපත් කිරිල්ලත් වැදගත් හින්දා කතාවෙන්, හිනාවෙන්, බැල්මෙන් රෝගියෙකුගේ හිත නිවන්නත් ඔවුන් දන්නවා ඇති.
ඒ තප්පර ගාණක බැල්ම මගෙ ඇස් මත රැඳුණා. ආයෙම පරිගණකය දිහාට හැරුණු ඒ ඇස් එහි නලියන, ඇකිළෙන, දිගෑරෙන කළු සුදු රූප දිහා බැලුවා.
‘‘කවුරු වුණහම මොකද… අම්මට ලස්සන දරුවෙක් ඉන්නවා. මේ බලන්න.’’
ඔහු පෙන්වූ නලියන, දිගඇරෙන කේතු ආකරයෙන් පෙනුණ, රූප මට වැටහුණේ නෑ. ඒත් වෛද්‍යවරයාගේ මූණේ තිබූ පැහැදිලි පෙනුම මගෙ හිතට සැනසුමක් ගෙනාවා. ඇත්ත තමා මට ඕන වුණේ දරුවෙක්. එයා දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නෑ. අර අල්මාරියේ දොරේ අලවලා තියෙන පුංචි බබා වගේ. එයා එහෙම දුවෙක් පුතෙක් කියලා හොයන්නත් බෑ.
ඇඟ වෙනස්වීම, දරුවා කුස තුළ අතපය ගැසීම, සායන පරීක්ෂාව, වෙද හෙද උපදෙස් ලැබීම මේවා මට අලුත්ම අත්දැකීම් වුණා. කාසල් එකේ නෝනයි මහත්තයයි එකට ඉන්දවලත් සායනික දේශන පැවැත්වුවා. බස්වල යනවා එනවා කියන්නෙ ඒ දවස්වල එපාම කරපු දෙයක් වුණා. ඔක්කාරෙට එන එක නවත්ත ගත්තෙත් බෙහෙත් පෙත්තක් බීලා. මට ඕන වුණේ කිසිම දෙයක් නොකර ඇඳක් උඩ දිගාවෙලා ඉන්න. ඒත් එහෙම වාතාවරණයක් ගේ ඇතුළෙ තිබුණෙ නෑ. ඒ වෙලාවට තමා හිතෙන්නෙ තමන්ගෙ අම්මා ළඟ ඉන්නවා නම් කොච්චර හොඳද කියලා.
මට ජීවිතේ මේ වෙනකන් කලන්තයක් කියලා එකක් හැදිල තියෙන්නෙ දෙසැරයයි. එක සැරයක් හැදුනෙ ඉස්කෝලෙ යන වයසෙ. පොඩි අක්කයි මායි ඉදුණු රට දෙල් ගෙඩියක් පුච්චලා කාපු දවසෙ. වමනෙ ගිහින් ගිහින් මම නැගිටලා එන්න හදනකොට කලන්තේ හැදිලා මාව වැටිල තිබුණා. එදා නම් තාත්තගෙන් අපි දෙන්නා නොසෑහෙන්න බැනුම් ඇහුවා.
දෙවැනි සැරේ හැදුනේ දරුවා ලැබෙන්න මාස පහෙන් විතර කාලෙ අපි දෙන්නා රෙදි වගයක් ගන්න ගම්පහට යන්න ගිය දවසෙ. ඒ ගමන යන්න මගක් දුරට බස් එකේ එනකොට මට හිතුණෙම ආපහු ගෙදර යන්න ඕන කියලා. කියන්න බැරි අපහසුවක් ඇඟට දැනෙන්න ගත්තා.
‘‘අපි ආපහු ගෙදර යමු.’’
දෙල්ගොඩින් බැහැලා ගම්පහ බස් එකක් එනකන් ඉන්න ටිකට මම හතර පස් සැරයක්ම කිව්වා. ඒත් මහත්තයා කිව්වෙ ටිකක් ඉන්නකොට ඔය ගතිය මගඇරෙයි කියලා. ඒත් එකපාරටම මට දැනුණෙ හැමදෙයක්ම කළුවර වෙනවා විතරයි. මං කලන්තෙ හැදිලා මහපාරේ වැටිලා තිබුණා. එදා ඇඳන් හිටපු ගවුම ආයෙ මම බබා ලැබෙනකන්ම ඇන්දෙ නෑ. ඒක දකිනකොට මට නිකන් ඔලුව බරවෙන ගතියක් එනව වගේ දැනුණ නිසා. ඒක ඒ අවස්ථාව එපාවෙච්ච නිසා හිතට දැනුණ දෙයක් වෙන්නැති කියලා පස්සෙ මට හිතුණා.
‘‘දුවට නම් ඉන්නෙ පුතෙක්. මම ටක්කෙටම කියන්නම්.’’ පීල්ලවත්තෙ නැන්දා දවසක් දෙණියෙ ළිඳ ළඟදි කිව්වෙ මගෙ ඇඟ දිහා බලලා. ඇයි ඇහුවම කිව්වෙ,
‘‘දුවෙකුටනම් ලොකු බඩක් තියෙනවා. දුවට තියෙන්නෙ පුංචි බඩක්නෙ. ඒක හින්දා පුතෙක්ම තමා ඉන්නේ.’’
එයා ඒක හරි විශ්වාසෙන් කිව්වෙ. ඒක නම් ඇත්ත තමා. අම්මා පහුකාලෙක කිව්වෙ මම බබා ලැබෙන්න ඉන්නකොට හිටියෙ පුවක් ගහේ කලගෙඩිය බැන්ද ගානට කියලා. කුස ඉදිරියට ආවත් ඇඟ මහත් නොවුණ එක මට කණගාටුවක් නොවුණේ සායනික දැනුවත් කිරීම් හින්දම තමයි. මොකද පළවෙනි සායනික දැනුවත් කිරීමෙදීම කිව්වෙ අපේ තියෙන බරට වඩා අමතර කිලෝ එකොළහක් නැත්නම් දොළහක් වැඩිවුණාම ඇති කියලා.
ගෙදරක සියලු වැඩ මගෙම අතින්ම වුණේ ස්වාමියා වැඩට ගියාම ගෙදර කිසි කෙනෙක් හිටියෙ නැති හින්දා. මාස හත පිරුණුම මට ඕන වුණා අපේ පැත්තෙ වගේ ආශිර්වාද වරු පිරිතක් කියවගන්න. ඒ වෙනකොට නැන්දම්මා ටිකක් ගෙදරට යන්න එන්න පටන්ගෙන තිබ්බා.
‘‘මෙහෙ තුන්වරු පිරිත් කියන්නෙ නෑ. තුනටම එක වරුවයි කියන්නේ. ඒකට හාමුදුරුවෝ ගෙදරට එන්නෙත් නෑ. අපි හාමුදුරුවෝ කියන දවසකට වෙලාවකට ඕන දේවල් අරන් පන්සලට යන්න ඕන.’’
වරු පිරිත ගැන කිව්වම නැන්දම්මා කිව්වෙ එහෙම. ඒ ක්‍රමේ මගෙ හිතට ඇල්ලුවේ නැති හින්දා මම ගමේ ඇවිත් අපිට පුරුදු විදිහට වරු පිරිතක් කියාගෙන ආවා.
ඒ වෙනකොට නිතර නිතර ආපු අමුතු රිදුම් මගෙ ඇඟේ තිබුණා. යටිබඩ තුළින් එන වේදනාව ටිකක් වැඩියෙන් දැනුණා. සායනයට යනකන් මේව ගැන අහන්න හිටියෙ මිඩ්වයිෆ් නෝනා විතරයි. එයා මාව බලන්න මාසෙකට දෙපාරක් විතර ආවා.
‘‘බය වෙන්න එපා අම්මෙ. ඔයාට තව මාස දෙකක්ම තියෙනවානේ. අනික බබා ලැබෙන්න යනකොට ඉස්සරවෙලාම කැක්කුම් ගන්නෙ කොන්දෙන්. කොන්දෙ ඉඳන් ඉහළට යන කැක්කුමක් ආවොත් බලා නොඉඳ ඉස්පිරිතාලෙට යන්න ඕන. අනික දැන් ඉතිං ඔය දීලා තියෙන ලිස්ට් එකේ හැටියට බබාට ඕන දේවල් අරගෙන බෑග් එකක් හදල තියාගන්න. ඒක කොයි එකටත් හොඳයිනෙ.’’
හිතේ බය ටිකක් අඩුවුණේ යටිබඩ තුළින් ආ කැක්කුමට බබා ලැබෙන්නේ නැති බව දැනගත්ත හින්දා. දවස් ගෙවෙන්න පටන්ගත්තෙ මම නිකම්ම ඉඳලා නෙවෙයි. හැමදාම එකම වැඩ ටික වුණත් දවස ගෙවෙනකන්ම කරන්න මට වැඩ තිබුණා. උදේම ලොකු මිදුලක් අතුගාන්නත්, හැමදාම පල්ලමක් බැහැලා දෙණියෙ ළිඳේ නාන්න යන්නත් පුරුදුවෙලා හිටියෙ. ටැප් ලයින් නොතිබිච්ච හින්දා වත්ත පහල තිබ්බ බොලොක්ක ළිඳෙන් උදේට වතුර ඇදල පුරවලා තියන එක මහත්තයාගෙ කරපිට වැටුණා. මට ඒක කරන්න අමාරුයි කියල දැනුණ හින්දා. පුළුවන් හැමවෙලාවකම රෙදි ටිකත් හෝදගෙන ආවා මට බර උස්සගෙන එන්න අපහසු හින්දා.
පුරුදු විදිහට කාසල් එකේ සායනයෙදි මාව බලපු වෛද්‍යතුමා ටිකක් බැරෑරුම් මූණකින් මගෙ දිහා බැලුවා.
‘‘අම්මෙ ටිකක් වැඩිපුර පරිස්සම් වෙන්න වෙයි. ඇවිදින එක අඩු කරලා බෙඩ් රෙස්ට් කරන්න ටිකක් වැඩිපුර. ඔයාගෙ බබාගෙ ඔළුව දැන්මම පහලට හැරිලනෙ. තවම මාස හතයි සති දෙකයි නේද…? පරිස්සම් නූනොත් එයා ඉක්මනට එළියට එයි.’’
ඒ කියමන නම් මම කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැතිම හින්දා හීන් හිරියකින් පපුව වෙව්ලලා ගියා වගේ මට දැනුණා.
ප්‍රියංකා නානායක්කාර