විශේෂාංග

සියුමැලි දෑතින් බුදු රූ නිමවන්නී…

බුද්ධ ප්‍රතිමාවක් කරවීම සැලකෙන්නේ අට මහ කුසල්වලින් එකක් ලෙසයි. කෝසල බිම්බ වර්ණනාවේ සඳහන් වන පරිදි බුද්ධ ප්‍රතිමා කරවීමේ ආනිසංස මෙපමණකැයි කියා නිමකළ නොහැකිය.

මම ගොඩක් දේවල් අතහැරලා බුද්ධ ප්‍රතිමා නෙළන්න හිතුවේ මගේ යම් කුසලයක් නිසා වෙන්න ඇති. ඒ වගේම මේ කරන බුද්ධ ප්‍රතිමාවලට දහසක් දෙනා වැුම් පිදුම් කරද්දී ඒ කරලා තියෙන කුසලය තවත් වැඩිදියුණු වෙනවා. ඒ කුසලයම තමයි අපේ කුසලතාවන් තවත් වැඩිදියුණු කරන්න හේතු වෙන්නෙත්.

ඒ ගම්පහ, කිරිඳිවැල පදිංචි ජානකී නදීශානි ජයසිංහයි. පින්බර වෙසක් සතියේ ඇය ගැන විශේෂයෙන් සටහනක් තබන්නට අපේක්ෂා කළේ, දෑතේ නිර්මාණ ශක්තියෙන් විස්මිත රූ මවන්නට තරම් ඈ සතුව මූර්ති ශිල්පයේ නිපුණතා ඇති නිසාය. හුස්ම පොද හැරුණුකොට බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා මෙන්ම අනෙකුත් පිළිරූ ආදියට ජීවමාන බවක් ගෙනදීමට ඇය සතු කුසලතාවන් විශ්මයජනකය.

මම පරකඩුව නාරද මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ. ඉන්පසුව ශිෂ්‍යත්වය සමත්වෙලා ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනගනිද්දි තමයි, මම කුඩුගල් කෑල්ලක නියනකින් මුහුණක් කපන්නේ. ඒ වෙනකොට මට මූර්ති ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. ඉන්පසුව මම උසස් පෙළ සහා චිත්‍ර කලා විෂය හදාරන්න යන්නේ ගම්පහ යශෝධරා බාලිකා විද්‍යාලයට. මම උසස් පෙළ චිත්‍ර විෂයයේ ව්‍යාපෘතියට අඩි පහක් උස, අඩි දහයක් දිග මුවෝ දෙන්නෙක් ඉන්න බිතු කැටයමක් කළා. ඒක තමයි මම මුලින්ම කළ මූර්ති නිර්මාණය.

එසේ තම හැකියාවන් කෙමෙන් කෙමෙන් හඳුනාගන්නා ඇය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී තෝරාගන්නේද මූර්ති විෂයයි. ඒ බොහෝදෙනෙක් චිත්‍ර විෂයට මුල් තැනක් දෙද්දියි.

ඒ වෙලාවේ මට ගොඩදෙනෙක් කිව්වා, ගෑනු ළමයෙකුට මූර්ති විෂය බර වැඩියි, ගල් කැටයම් කරන්න තියෙනවා ඒවා අමාරුයි කියලා. ඒත් මගෙ හිත කිව්වෙම චිත්‍ර අඳිනවට වඩා මූර්ති ඇඹීමේ හැකියාව මට තියෙනවා කියලයි. කොහොමහරි මගේ හිත කිව්ව දේ මම තෝරාගත්තා. විශ්වවිද්‍යාලයේ සිව්වන වසර අවසන් වෙද්දි හොම නිර්මාණයට තේරුණෙත් මගෙ මූර්තිය.

ඇය කියන්නේ සතුටිනි. එම වසරේම පළමු පංති සාමාර්ථයක් සමඟින් ඇය උපාධිය ලබාගත්තාය. ඒ ඉතිහාසයේ පළමු වරටයි. අනතුරුව එහිම තාවකාලික ගුරු උපදේශකවරියක ලෙස සේවයටද එක්වුණාය.

සරසවියේ ඇයට ගල් කැටයම් පිළිබඳ උපදේශකවරුන් වූයේ දයානන්ද, උපාලි ආනන්ද, රංජිත් ලියනගේ, මනෝරංජන් හේරත්, සරත් ඥානසිරි ප්‍රමුඛ ගුරුවරුන්ය. ඇයට සිය හැකියාවන් මනාව ඔපමට්ටම් කරගන්නට ඔවුනගේ ගුරුහරුකම්ද මනාපිටිවහලක් විනි. ඇය සරසවියෙන් පිටවනවිටම රස්සාව ලැබිණි. පරස්තාවක්ද හරිගියාය. ඇය විවාහ වෙන්නේ, නිලංග මුතුගල රූපසිංහ සමඟය. ගුරු වෘත්තියට වඩා ස්වාධීනව තමන්ගේ හැකියාවෙන් වැඩක් ගන්නට සිතූ ඇය මූර්ති කලාව වෘත්තියක් ලෙස තෝරාගත්තාය. ඒ සැමියාද ඊට එක්කර ගනිමිනි. ඒ වෙනුවෙන් මුලදී බරපැන දරමින් උදව් කළේ ළඟම ඥාතිවරයෙක් බවද ඇය කීවාය. ඒ අනුව වසර තුනක පමණ කාලයක් ඇය සිය මූර්ති කලාගාරය පවත්වාගෙන ගියේ දෙල්ගොඩ ප්‍රදේශයේයි. දැන් කිරිඳිවැල, තිඹිරිගම ගම්මානයේ එම කලාගාරය ස්ථිරව පවත්වාගෙන යන්නීය.

මේ  අතර මම යශෝධරා තෙරණියගේ පිළිම ඇඹීමේ කටයුතු කරනවා. මට ඒ සහා පළමු ආරාධනාව ලැබුණේ දෙල්ගොඩ උඩුපිල අනගාරිකා අසපුවෙන්. එය අඩි හයක් උස පිළිමයක්. මගේ කාර්යබහුලකම එක්ක මම ඒ පින්බර කටයුත්තට දායක වෙන්න බැරිවුණා. ඒකට සමබන්ධ වෙන්න නොලැබුණු නිසා ලංකාවේ පළමු යශෝධරා පිළිමය ඇඹීමේ කටයුත්ත මගෙන් ගිලිහුණා.

එය වෙනත් ශිල්පියෙකු අතින් නිමව තිබුණි. එහෙත් යශෝධරා පිළිමය ගැන තිබුණු කැමැත්ත නිසාම, සීනිගම දේවාලයේ අඩි හයක යශෝධරා පිළිමයක් පසුව නිමවන්නේ ඈ අතිනි.

ඊටපස්සේ මම ස්ථාන කිහිපයකම යශෝධරා පිළිම කිහිපයක් නිර්මාණය කළා. ඒ වගේම මම බුද්ධ ප්‍රතිමා නිර්මාණයට වැඩි කාලයක් යොදවනවා. මේ වෙනකොට නිර්මාණය කරපු විශාලතම පිළිමය අඩි විස්සක් පමණ උසින් යුත් ආශිර්වාද හිඳි පිළිමයක්. එය නිමකළේ අහුන්ගල්ල යෝගාශ්‍රම විහාරයේදීයි. ඊට මගේ සැමියාත් මා සම එකලෙස දායක වුණා.

ජානකී දෙදරු මවක් වුව, තම රැකියාවට මුල්තැන දෙන්නේ වුව, සැමියා ඇතුළු දරුවන්ගේ යුතුකම් වගකීම් ඉටුවන්නේද ඇය අතිනි. ඊට කාලය නැතැයි ඇය කියන්නේ නැත. අලුයම පිබිද මධ්‍යම රාත්‍රිය වනතුරු වුව වැඩ කරන්නට ඇයට තම වෘත්තියට දක්වන ආදරයද මනා පිටිවහලකි.

ඇත්තටම පිළිමයක් අඹනවා කියන්නේ පහසු කාර්යයක් නෙවෙයි. බොහොම විවේක බුද්ධියෙන් නිවී සැනසිල්ලේ එය කරන්න ඕන. සමහරු නැකැත් හදාගෙන දින දීලා ඉක්මනින් කර දෙන්න කියලා ඉල්ලීම් කරනවා. සතියෙන් දෙකෙන් එහෙම වැඩක් හරියට කරන්න බැහැ. නිසා එහෙම ඇණවුම් ආවම මම බාරගන්නේ නැහැ.

බුද්ධ ප්‍රතිමාවලට අමතරව දේව රූප, මානව රූප, උද්‍යාන මූර්ති මෙන්ම ආලේඛ්‍ය මූර්තිද ඇය අතින් නිර්මාණය වන්නීය. මැදවච්චිය නගරයේ දක්නට ලැබෙන මෛත්‍රීපාල සේනානායක පිළිරුව නිර්මාණයකොට ඇත්තේද ඇයයි. කඩුවෙල මහමෙව්නා අසපුවේ හංස කණු නිර්මාණය, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ කළ නිර්මාණ මෙන්ම තංගල්ල රණවිරු ස්මාරකයේ ඇති රජවරුන්ගේ හා වීරවරයින්ගේ පිළිරූ නෙළා ඇත්තේද ඇයයි. දැනට අරලියගහ මන්දිරයේ තිබෙන අඩි දෙකහමාරක් උස දුටුගැමුණු පිළිරුවද ඇය අතින් නිමවූවකි.

ජානකී මේ වනවිට පිළිම ඇඹීමට අමතරව ප්‍රදර්ශන සඳහා ද නිර්මාණ ඉදිරිපත් කරන්නිය. ඒ සඳහා වෙනස්ම මූර්ති සම්ප්‍රදායක නිර්මාණ ඇය අතින් නිමවේ. කලා පොළවල් ඇතුළු විවිධ ප්‍රදර්ශන අවස්ථා සඳහා ද ඒ අනුව ඇය ඉදිරිපත් වේ. මෙට්ල් ආර්ට්, කොපර් ආර්ට් නිර්මාණ කටයුතු ද ඇය අතින් සිදුවන අනෙකුත් දේය. ඇය අතින් කළ ඇතැම් නිර්මාණ විදෙස් රටවලටද ගෙනගොස් තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් අසපුවේද ඇත්තේ ඇය අතින් නිමවූ බුද්ධ ප්‍රතිමාවකි.

කෙනෙකුට ඕනකම තියෙනවානම් තමන්ගේ කුසලතාව හඳුනගන්නවා නම් ඒ ඔස්සේ දිගු දුරක් යා හැකියි. කැම්පස් කාලේ ඉලම මම මගේ වියදම් ගොඩක් පියවගත්තේ මෙවැනි නිර්මාණ කරලයි. ඒ අතරේ ගෙදරටත් උදව් කළා. ඒක ලොකු සතුටක්. ඒ වගේම අපේ ජීවිත ඒ ඔස්සේ ගොඩනගාගන්න මට ලොකු අධිෂ්ඨානයක් තිබුණා. මං මේ ටික කියන්නේ, සමහරුන්ට මොනතරම් හැකියාව තිබුණත්, උපාධි උගත්කම්, සහතික මිටි ගණන් තිබුණත් කුස්සියට කොටුවුණු කාන්තාවන් ඉන්නවා. අම්මා කෙනෙකුට මෙවැනි වෘත්තියක කටයුතු කරන්න දරුවෝ හිටියා කියලා බාධාවක් නැහැ. එතැනදී තමන්ට කළ හැකි කාර්යය මොකක්ද කියලා, තමන්ගේ හැකියාව මොකක් වුණත් ඉන් පලප්‍රයෝජන ගන්න ශක්තිමත් හිතක් තිබිය යුතුයි.

ඇය ජීවිතය ඇරඹුවේ බින්දුවේ සිට වුවද දැන් ඇයටම කියා කලාගාරයක් තිබේ. ඒ ‘දියනෙත’ නමිනි. ඇය තවත් නිර්මාණ ශිල්පීන් විසිදෙනෙකුට පමණ එහි රැකියා සපයා දී ඇති අතර, ඒ ගැනද ඇයට ඇත්තේ සතුටකි. තම සැමියා දරු දෙදෙනා මෙන්ම ඒ සියල්ලන්ගේම කැපවීම හා සහයෝගයද ඇය අගයන්නීය.

ඇය කියන්නා වාගේම කුසලයන් මත කරන්නට හිත්දෙන මෙවැනි කාර්යයකදී තම හැකියාවන් තවත් වැඩිදියුණු කරගන්නට වාගේම, ඒ මගින් මූර්ති කලාව නව මානයකට ගෙනයාමට ලබන හැකියාවද අනර්ඝය.

ඉන්දික සංජීව විතාන