විශේෂාංග

කෙල්ලොත් එක්ක බෑ බල්ලෙක් කියයි…

ගොඩක් අයට දවස් දෙක තුනක විනෝද චාරිකාවක් හෝ නෑදෑ ගෙදරක ගිහින් සතියක් හමාරක් නිදහසේ ඉඳලා එන්න බැරි ගෙදර හුරතලේට හදන සත්තු නිසා. තමන්ගේ නිදහසට ඒ විදියට යම් යම් බාධාවීම් සිද්ධ වුණත් කතා කරන්න බැරි, ඉල්ලගෙන කන්න බොන්න බැරි ඒ අහිංසක සත්තුන්ට ආදරේ, කරුණාව දක්වන එක උතුම් වැඩක්. නමුත් මේ කතාව හුරතල් සතුන් ගැනවත්, සත්තුන්ට ආදරේ කරන අය ගැනවත් නෙවෙයි. සත්ව කරුණාවට මුවාවෙලා අසාමාන්‍ය ලිංගික ක්‍රියාවල යෙදෙන පිරිසක් ගැනයි මේ කියන්න යන්නේ.

කරාපිටිය මූලික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන්ගේ වෘත්තීය අත්දැකීම් සහ දැනුම ඇසුරින් සැකසෙන මේ ලිපිය සුරතල් සතුන් ඇතිකරන හෝ සත්තුන්ට ආදරේ කරන පිරිසට නිගා කිරීමේ අරමුණින් සම්පාදනය නොවන්නක් බවත්, අප්‍රකට මනෝ රෝගයක් පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් පලකරන්නක් බවත් මුලින්ම කිව යුතුයි.

අම්මයි, තාත්තයි දෙන්නම රැකියා කරපු පවුලේ එකම දරුවා වුණ මිනෝලි එයාගේ තනිකම, පාළුව මකාගත්තේ ගෙදර හුරතලේට ඇති කරපු සත්තුන්ගෙන්. ඒ නිසා දවසේ පැය විසිහතරෙන් වැඩි හරියක් ඇය ගතකළේ ඒ අයව නාවන්න, කවන්න, පොවන්න වගේ වැඩවලට. දවසේ වැඩි හරියක් තනියම ඉන්න තමන්ගේ එකම දරුවා තනිනොතනියට හුරතල් බල්ලෙක්, පූසෙක් හදනවට ඇගේ දෙමාපියොත් විරුද්ධ වෙලා තිබුණෙ නෑ. නමුත් මේ මෑතක ඉඳලා ඔවුන් ඇය ගැන වැඩි උනන්දුවකින් හොයලා බලන්න කටයුතු කරලා තිබුණේ ඇගේ හැසිරීමේ වෙනදා නැති වෙනසක් පෙනුණ නිසා. ඒ වගේම වැඩි සෙනේ දඹරෙටයි කියනවා වගේ මේ සතුන් ඇසුරේම කල්ගෙවීම ඇයව රෝගියෙක් කරලා නතරවෙයි කියලා තිබුණ බයට. කොහොමින් කො​හොමහරි ටික දවසක් යද්දි ඇය ආදරෙන් හදපු බල්ලො පූසෝ සේරම මිනෝලිව දකිනකොට බයේ දුවන්න පටන් අරන්. ඒ විතරක් නෙවෙයි හුරතල් කරනකොට පවා බුරන්න හපාකන්න පටන් අරන්.

සමහර සත්තු​ ​ගේ අතෑරලා දාලා ගිහින් අහල පහල ගෙවල්වල නතරවෙලා තිබුණා. ඊටපස්සෙ මිනෝලිට අහල පහල මිනිස්සුන්වත් පෙන්න පටන් අරගෙන තිබුණේ තමන්ට වින කටින අය ගානට. ගෙදර අය එක්ක වුණත් ඊටපස්සෙ ඇය කතාබහ කරලා තිබුණෙ හරහටමයි. පස්සෙ තමන්ව අතෑරලා දාලා යන සත්තුන්ව බලහත්කාරයෙන් ගෙනැල්ලා කාමරයක් ඇතුළෙ ගැටගහලා තියාගන්නත් ඇය පෙළඹිලා තිබුණා. කාලෙත් එක්ක මේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණු නිසා තමයි ඇයව මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්න දෙමව්පියන් තීරණය කරලා තිබුණෙ. ඒ අනුවයි ඇයව කරාපිටිය මූලික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාට මුණගැහුණේ.

‘‘මේ තරුණිය මගේ ළඟට ඇවිල්ලත් පැය බාගයක් විතර යනකල් හරියට වචනයක්වත් කතා කළේ නෑ. ඒ වගේම බැලූ බැල්මට ඇය කියාගන්න බැරි හරි අසාමාන්‍ය රෝගී තත්ත්වයකින් පෙළෙන බව මට තේරුම් ගියා. නමුත් මා ගැන ඇයට විශ්වාසය තහවුරු වනතෙක් ඇය ඒ ගැන කියන්න අදිමදි කළා. ඊටපස්සේ මොනම හේතුවක් නිසාවත් ඇය කියන විස්තර දෙමව්පියන්ට කියන්නෙ නෑ කියන පොරොන්දුව මත තමයි ඇය මට මේ විස්තරය කිව්වේ.’’

තමාට සතුන් (බල්ලන්/පූසන්) සමඟ ලිංගිකව එක්වීමේ දැඩි කැමැත්තක් ආසාවක් ඇති බවයි ඇය වෛද්‍යවරයා සමඟ පවසා තිබුණේ. එය සූතිලියා (Zoothilia) නමැති මානසික රෝගය බව කතාබහේදී වෛද්‍යවරයා අපට පැහැදිලි කළා.

‘‘කෙනෙක් තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරගන්න විරුද්ධ ලිංගිකයෙකු හෝ සමලිංගික සහකරුවෙක් /සහකාරියක් තෝරාගන්නවා. නමුත් මේ කියන රෝගය වැළඳුණ අයගේ විශේෂත්වය තමයි ඒ අය තමන්ගේ ලිංගික කාර්යයට වැඩිපුරම සතුන් සොයා යෑම. ඒ අය සතුන් සමඟ එක්වී ලබන ලිංගික තෘප්තිය විරුද්ධ ලිංගිකයෙකු සමඟ එක්වීමෙන් ලබන්නේ නෑ. අනික මේ රෝගයට නැඹුරු වුණ කෙනෙක් තමන් ඇසුරු කරන අයවත් මේකට පොළඹවගන්න වැඩි උත්සාහයක් දරනවා.’’

මෙවැනි රෝගීන් නිසා හිංසා පීඩා විඳ මියගිය සතුන් මෙන්ම, සතුන් නිසා බෝවුණ සුවකළ නොහැකි ලිංගාශ්‍රිත රෝග හේතුවෙන් මියගිය පුද්ගලයින්ද සිටින බව ඔහු අපට කීවා. එමෙන්ම මෙම මානසික රෝගී තත්ත්වය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇතිවිය හැකි බවයි වෛද්‍යවරයා පවසා සිටියේ.

‘‘කවුරුහරි කෙනෙක් තමන්ගේ ගෙදර හුරතලේට ඇතිකරන සතාව සිපගත්ත පලියට, තුරුලු කරගෙන නිදාගත්ත පලියට ඔහු හෝ ඇය සූතිලියා (Zoothilia) රෝගියෙක් වෙන්නේ නෑ. මොකද සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ගෙවල්වල දරුවන්ට වඩා ආදරේට සැපට හැදෙන සත්තු ඉන්නවා. නමුත් කවුරුහරි කෙනෙක් අසාමාන්‍ය විදියට බිරිඳව/සැමියාව හෝ වැඩිහිටින්ව මඟ හරිමින් සතුන් සමඟ රහසින් හුදෙකලා වෙනවා නම්, ඔහු හෝ ඇයගේ ආත්මගරුත්වයට හානි නොවන විදියට විපරම් කරලා බැලුවට වරදක් නෑ. ඒ වගේම මෙවැනි ලිංගික විකෘතිතා ඇතවෙන්න හේතුවක් තාමත් ස්ථිර වශයෙන් හෙයාගෙන නෑ. නමුත් ජනාවලින්ම ලිංගික ආසාවල් වැඩි සමහර පුද්ගලයින්ට ඒ ආසාවල් වැඩිවීමත් එක්ක එය විකෘතිභාවයකට පත්වෙන්න තියෙන ඉඩ වැඩියි.’’

මෙවැනි රෝගීන්ට එම තත්ත්වය අසාමාන්‍ය බව නොදැනෙන නිසාත්, ඔවුන්ගේ සමාජයීය හැසිරීම සාමාන්‍ය එකක් වන නිසාත් ඔවුන්ව ප්‍රතිකාරවලට යොමු කරගැනීමේ අපහසුවක් පවතින බවයි වෛද්‍යවරයා අපට කීවේ. කෙසේ නමුත් ඖෂධ ප්‍රතිකාර සහ උපදේශනවලින් මේ රෝගය සුව කරන්න පුළුවන්.

‘‘මේ තත්ත්වයට ඇබ්බැහි වුණු අය ඒ ගැන වෛද්‍යවරයෙකුට හෝ වැඩිහිටියෙකුට නොකියන්නේ තමන් අපහසුතාවයට පත්වෙයි කියන බයට. ඒකෙන් වෙන්නේ ඒ අයත් දරුණු ලිංගික රෝගවලට ගොදුරු වෙලා තමන්ගේ ලිංගික සහකරුවාත් එවැනි රෝගවලට ගොදුරු කරන එක. අනික ඔවුන් නිසා සතුන්ගේ ජීවිතත් අනතුරේ වැටෙනවා. ඔවුන්ටත් ඒක හිංසාවක්. ඒ නිසා තමන් එවැනි ආසාමාන්‍ය ලිංගික රෝගයකින් පෙළෙනවා කියලා තමන්ම හොඳාකාරවම දන්නවා නම් ස්වේච්ඡාවෙන්ම වෛද්‍යවරයෙකුට යොමුවෙන්න. එයින් අනාගතේ මූණදෙන්න වෙන කායික වගේම මානසික රෝග ගණනාවකින්ම අත්මිදෙන්න හැකියාව ලැබේවි.’’

ලිහිණි මධුෂිකා