අනේ අම්මපා මෙහෙමත් කටවල්…
“සෝමපාල සර්, මෙදා සැරේ තොරණට පොඩි ආධාරයක් එකතු කරන්න කියලා අපි මේ ආවේ.” තරුණයෝ හතර පස්දෙනෙක් අතරින් ඉදිරියට ආපු කෙනෙක් කිව්වා.
“අනේ පුතා මෙදා සැරේ නම් ටිකක් අමාරුයි.” සෝමපාල කියද්දී තරුණයන් මුහුණින් මුහුණට බලා ගත්තා.
“එහෙනම් සර් අපි ගිහින් එන්නම්” කියපු පිරිස එළියට ආවා.
“සර් කවදාවත් නැහැ බැහැ කියන මනුස්සයෙක් නෙවෙයිනේ. මොකද ඒ? අපරාදේ මම හිතාගෙන හිටියේ නම් දහදාහක්වත් ලැබෙයි කියලා.”
“ඒකනේ. ගිය වෙසක් එකටත් සර් දහදාහක් දුන්නනේ.”
තරුණයන් පිරිස යන අතරමඟ කතා කරමින් ගියේ සෝමපාලගේ වෙනස ගැන.
සෝමපාල කියන්නේ විශ්‍රාමලත් ගුරුවරයෙක්. ඔහුගේ බිරිඳ කාලයකට පෙර මිය ගිහින්. දරුවෙක් මල්ලෙකුත් නැති සෝමපාල විශ්‍රාම වැටුප කිසිම පැකිලීමක් නැතුව පින් අතේ වැඩ වෙනුවෙන් වෙන් කරන්න, කලින් නම් දෙපාරක් හිතුවේ නැහැ.
ඊළඟට කරළියට ආවේ ගමේ මහිලා සමිතිය සංවිධානය කරන බත් දන්සැල.
“දරුවෝ ටික සංවිධානය කරපු තොරණට දායකත්වයක් දෙන්න බැහැ කියලා සෝමපාල මහත්තයා කිව්වයි කියන්නේ?” එක කාන්තාවක් කිව්වේ සෝමපාලගේ ගෙදරට හැරෙන හංදිය ගාවදි.
“ඒක නම් ඇත්ත. අපේ පුතාත් මට කිව්වා. කෝකටත් අපිත් ගිහින් බලමුකෝ. ගිය සැරේ නම් හොඳ ගාණක් ලැබුණානේ.” තවත් අයෙක් කිව්වා.
“සෝමපාල මහත්තයා මෙදා සැරේ අපේ මහිලා සමිතියෙන් බත් දන්සලක් දෙන්න තීරණය කළා.”
“ආ ඒක හොඳ වැඩක්. මට මතක හැටියට ගිය වතාවේ නම් දුන්නේ නූඩ්ල්ස් දන්සලක් නේද?” සෝමපාල ඇහුවා.
“ඔව් මහත්තයා. ඉතින් මෙදා සැරේ ඒකට දායක වෙනවද මහත්තයා?” කාන්තාවක් අහද්දී සෝමපාල යන්තමට හිනා වුණා.
“ඇත්තටම මේ වතාවේ නම් අමාරුයි නෝනා. ඊළඟ වතාවේදී මම අනිවාර්යයෙන්ම දායක වෙන්නම්කො.” සෝමපාල කියද්දී කට්ටියගේ මුහුණු ඇඹුල් වුණා.
“ඇත්තටම මේ සෝමපාල මහත්තයාට මොනවා වෙලාද?” හැමෝම කතා වෙන්න පටන් ගත්තා.
“වෙසක් දවසට කලින් පන්සලේ පොඩි අලුත්වැඩියාවක් කරගන්න තියෙනවා කියලා හාමුදුරුවෝ කිව්වලු. සෝමපාල මහත්තයා ඒත් බැහැ කිව්වලුනේ.”
“සෝමපාල මහත්තයාට අමුතු ලෝබකමක් ඇවිත් වගේ. සමහරුන්ට කොහොමත් වයසට යද්දී ඔහොම ලෝබකම් ඇති වෙනවා.” තැන තැන කතාව පැතිරුණේ හරිම වේගයෙන්. කවුරුවත් සෝමපාලගේ මුහුණට කිසිම දෙයක් කියන්න නොගියාට ඔහු නැති තැන මේ අමුතුම වෙනස්වීම ගැන කතා වෙන්න පටන්ගත්තා.
“ඇත්තද අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ පන්සලේ අලුත්වැඩියාව ගැන කියද්දී සෝමපාල මහත්තයා මඟ ඇරියා කියන්නේ?” මේ අතරේ තමන්ගේ ඕපදූප කතාබහට පන්සලේ හාමුදුරුවන්වත් එකතු කරගන්න ඕනේ වුණු කෙනෙක් ඇහුවා.
“කවුද මහත්තයෝ ඔය වගේ ආරංචියක් කිව්වේ?” උන්වහන්සේ ඇහුවේ ඉවසිලිවන්ත හඬකින්.
“අර ඇබිත්ත කොලුවා හැමතැනම කිය කියා යන්නේ.”
“ඔය මහත්තයලා නෝනලා නොදන්නවා වුණාට ඔතන තියෙන්නේ වෙනම කතාවක් වෙන්න ඕනේ. වෙනදට කඩේ පිලේ යන්න බයික් එකේම යන සෝමපාල මහත්තයා දැන් පයින් යන්නේ ඇයි කියලා දන්නවද? සෝමපාල මහත්තයා හදිසි උවමනාවක් නිසා බයික් එකත් විකුණලා කියලයි මට නම් ආරංචි. ඉතින් හරියටම හේතුව නොදැන ඔය වගේ නිෂ්ඵල දේවල් කතා කරන එක තේරුමක් නැහැ.” ස්වාමින් වහන්සේ කියද්දී පිරිස මුහුණින් මුහුණ බලාගත්තා.
එතකොටම එතැනට ආවේ රණතුංග. ඔහු දෙදරු පියෙක්.
“අපෙ හාමුදුරුවනේ. මම මේක තවත් හැංගුවොත් ඒක සෝමපාල මහත්තයාට කරන ද්‍රෝහීකමක්. මගේ ලොකු කෙල්ල විශ්වවිද්‍යාලෙට තේරුණානේ. ඒ වියදම් කොහොම කරගන්නද කියලා හිතලා හිතලම මම අන්තිමේදී තීරණය කළා මගේ ගෙදර හිටිය එළදෙනව විකුණන්න. අනේ අන්න එතැනදී තමා සෝමපාල මහත්තයා මගේ පිහිටට ආවේ. උඹ කීයක් හරි හොයාගන්නේ ඔය සතාගේ කිරි ටික විකුණලා නේද? ඕනේ ගාණ මම දෙන්නම් කියලා සෝමපාල මහත්තයා කිව්වා. දූ තරුණ කෙල්ලෙක් නිසා, කාගෙන්වත් සල්ලි ඉල්ල ගත්තා කියන එක දුවට ලැජ්ජාවක් වෙයි කියලා, මේ ගැන කාටවත් නොකියා ඉන්න කියලා කිව්වෙත් සෝමපාල මහත්තයමයි.” රණතුංග කිව්වේ දුක්බර හඬකින්.
“එතකොට සෝමපාල මහත්තයාගේ බයිසිකලේ?”
“ඒකත් විකුණලා, ගිය මාසේ පෙන්ෂන් එකත් ඒකටම එකතු කරලා මහත්තයා මට දුන්නේ, දුවට ලැප්ටොප් එකකුත් අරන් දෙන්න කියලා. විශ්වවිද්‍යාලෙදී ලැප්ටොප් එකක් තියෙන එක ගොඩක් වටිනවා කියලයි සෝමපාල මහත්තයා කිව්වේ.” රණතුංග කියද්දී සෝමපාල ගැන එක එක දේවල් කතා කරපු හැමෝටම දැනුණේ ලොකු පසුතැවිල්ලක්.
සමාධි ඩයස්