බිරිඳගේ හිත රිද්දන්න බැරිකමට වට්ස්ඇප් පාවිච්චිය නතර කර දැමූ රටම ආදරේ පොලිස් රාළහාමි
“ගොඩාක් අය කියනවා මගේ දේශන නම් දවසක් හරි අහගෙන ඉන්න පුළුවන් කියලා. ඒ තරම් රහයිලු. ඒ තරම් ආකර්ෂනීයයිලු. එහෙම ඇති. මොකද මං දේශන කරන්නේ මගේම ජීවිත කතාව අස්සෙන්. ගොඩාක් වෙලාවට කාන්තාවන්ගෙන් වැඩිපුර ගොඩාක් ප්‍රතිචාර ලැබෙන්නේ. ඒක හින්දා වයිෆ්ගෙන් නම් පොඩ්ඩක් විතර බර බරේ.”
කට පුරා සිනාසෙමින් එහෙම කියන්නේ මේ දිනවල රටම ආදරේ කරන පොලිස් නිලධාරියෙක් වන පොලිස් කොස්තාපල් පී.ජී.පී.සම්පත් උඩුදුම්බරය. අනුරාධපුර නොච්චියාගම පදිංචි සම්පත්, මේ වනවිට පොලිස් මූලස්ථානයට අනුයුක්තව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ රාජකාරී කරයි.
“මම පුංචි කාලේ ඉඳන් හීන දැක්කේ නළුවෙක් වෙන්න. කථිකත්වයටත් පොඩි දක්ෂකමක් තිබුණා. හැබැයි ඒ දවස්වල අපිට සෑහෙන්න ආර්ථික ප්‍රශ්න ආවා. මොකද තාත්තා කළේ ගොවිතැන්. ඒ නිසා මට රැකියාවක් ඕන වුණා. අන්තිමට මං තීරණය කළා පොලිසියට බැඳෙන්න. 2007 වසරේ තමයි පොලිස් සේවයට එකතුවුණේ. දැන් මං පොලිස් සේවයට එකතුවෙලා අවුරුදු 15ක් වෙනවා.”
ඔහු මත්ද්‍රව්‍ය සහ අපයෝජනවලින් දරුවන් මෙන්ම කාන්තාවන් බේරාගැනීම උදෙසා දරුවන් සහ තරුණ පරම්පරාව දැනුවත් කරමින් රට වටා දේශන මාලාවක් සිදුකරමින් සිටියි. ඒ නිසාම ඔහු මෙරට පොලිස් දෙපාර්තමේන්තුව තුළද ඉතාමත් ප්‍රසිද්ධ නිලධාරියෙකි.
“මේ වෙනකොට දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් ගණනාවක වගේම සමිති, සමාගම් සහ ආයතන ගණනාවක මං දේශන පවත්වලා තියෙනවා. දාහට වැඩි මිසක් අඩු නම් නෑ. ඉතින් කඳුළුත් එක්ක ඒ දේශනවලට ඇවිත් හිනාවත් එක්ක ගෙදර ගිය මිනිස්සු ඕනතරම් මං දැකලා තියෙනවා. ඒ වගේමයි මගේ දේශන නිසා ජීවිතය යහමගට හරවගත්ත පිරිස් ඕනතරම් ඉන්නවා. ඒ ගැන පුදුම සතුටක් තියෙන්නේ.”
කබඩ් එකක් පිරෙන්නට සම්මාන ලබාගෙන ඇති සම්පත්ට ඒ සියල්ල ලැබුණේ ඔහුටම ආවේණික වූ දේශන රටාව නිසාය. එහෙත් ඔහුට ඒ නිසා ලැබුණේ සම්මාන පමණක්ම නොවේ. පිරිමියෙකුට ලේසියකට නොලැබෙන කාන්තා ආකර්ෂණයක්ද ඔහුට ලැබී තිබේ. සම්පත් සතු පෙනුමටදෝ එසේ නැත්නම් ඔහුගේ වචනවල රහටදෝ ඔහුගේ අතගන්නට මීට ටික කලකට උඩදී තරුණියන් සෑහෙන්න උත්සුක වූ බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් ඒ වාසනාවන්ත දෑත හිමිවූයේ ඔහුගේ ගමේම සිටි තරුණියකටය.
“මං සැරයක් ලොකුවටම ආදරෙන් පරාද වුණා. ඉතින් දවස් ගාණක් දුකෙන් හිටියා. ආයෙත් ආදරේ කරන්නේ නෑ කියලයි හිතුවේ. ඔය අතරේ දවසක් ගමේ කඩේ ගාවදි නිශානිගේ අම්මා මුණගැහුනා. මං නිකමට වගේ එයාගෙන් ‘නංගි එහෙම ගෙදරද?’ ඇහුවා. අන්තිමේ ඒ නංගි මගේ වයිෆ් වෙලයි නැවතුණේ. එයා නිශානි දිනේෂා තිලකරත්න. උපාධිදාරී ගුරුවරියක්. මට වඩා අවුරුදු අටක් බාලයි. 2019 තමයි අපි විවාහවුණේ. මගේ හැමදේම එයා. දැන් අපිට පුංචි දුවෙකුත් ඉන්නවා.”
ඔහුගේ හැමදේම ඇය නම් ඔහු පිටුපස සිටින යෝධ ශක්තිය ඇය බව රහසක් නොවේ. එනිසා සම්පත් මොනවා කිව්වත් ඔහු ගැන වචනයක් දෙකක් අහන්නට නිශානිටත් කතා නොකරම බැරිය.
“කෙටියෙන්ම කිව්වොත් මේ ලෝකේ හොඳම සැමියා ඉන්නේ මට කියලා කට පුරා කියන්න පුළුවන්. එයා පොලිස් නිලධාරියෙක් වුණාට සැරපරුෂ නෑ. ගෙදරදි වුණත් පිරිමි වැඩ ගෑනු වැඩ කියලා නැතුව හැමදේම කරනවා. කොටින්ම කිව්වොත් ගේ මිදුල් අතුගාලා, වළං පිඟන් පවා හෝදනවා.”
පොලිස් නිලධාරියෙක් කී සැනින්ම අපේ හිතේ එක්වරම ඇඳෙන්නේ සැරපරුෂ ගති ඇති රෞද්‍ර පෙනුමැති රුවකි. එහෙත් සම්පත් නම් එසේ නැත. ඔහු කවදත් සිනාමුසු මුහුණින් සිටින්නෙකි. රාජකාරී නිලඇඳුම ඇඟලා සිටියද ඒ කතාවේ නම් කිසිඳු වෙනසක් නැත.
“ඔහුගේ දේශන මමත් අහනවා. ඒ හැමතැනදිම එයා කියන්නේ එයාගේ ජීවිත කතාවමයි. දේශනය ලස්සන කරන්න කියලා බොරු කියන්නේ නෑ. එයා ගොඩාක් මත්පැන් මත්ද්‍රව්‍ය ගැන දේශනවලදි කියනවා. එහෙම කියන එයා කවදාවත් මත්පැන් උගුරක්වත් බීලා නෑ. මට මතකයි මේ ඊයේ පෙරේදා අපේ ගොයම් කැපුවා. මං මහත්තයා එක්ක කඩේට ගියා උයන්න දේවල් ගේන්න. ඔය අතරේ කුඹුරේ හිටපු කෙනෙක් කෝල් එකක් දීලා කිව්වා සිගරට් දෙකක් ගේන්න කියලා. ඒ වෙලාවේ මහත්තයා ඒක මට ගන්න කිව්වා. ඒ වෙලාවේ තමයි මං දන්නේ මහත්තයා සිගරට් එකක් අතින්වත් අල්ලන්නේ නෑ කියලා.”
ඒ තම සැමියාගේ දේශන ගැන බිරිඳගේ සහතිකයයි. අප දන්නා කාලයේ සිට අපේ සමාජයේ කොතැනත් මහ කකුළුවන් පැටවුන්ට කෙළින් යන්නට ඉගැන්නුවේ ඌ ඇදේට යන ගමන් මිස කෙළින් යන ගමන් නොවේ. එහෙත් ඒ කතාව පුස්සක් කරමින් සම්පත් කෙළින් යන ගමන්ම ඔහු පිටුපස එන්නන්නටද කෙළින් යන්නට උගන්වන්නේ ඔවුන්ට තමා පැහැදිලිවම ආදර්ශයක් වෙමිනි.
“සම්පත්ට කාන්තාවන්ගේ ප්‍රතිචාර වැඩියි. ඉතින් එයාල ගොඩාක් වෙලාවට එයාට වට්ස්ඇප් කෝල්, මැසේජ් කරනවා උපදෙස් ගන්න. මාත් කාන්තාවක් නිසා ඉතින් ඒ දිහා බලාගෙන ඉන්න බෑ. ඒක නිසා මං කිව්වා ඔය වැඩේට මං වැඩිය ආස නෑ කියලා. එදාම එයා වට්ස්ඇප් ඇප් එක ෆෝන් එකෙන් අයින් කළා.”
නිශානි එසේ කියා සම්පත් දෙස බලා සිනාසෙද්දී ඔහුගේ ඇස් දිළිසෙන්නේය. ඒ ඇය ගැන ඔහුගේ හිතේ ඇති ආදරයට විය යුතුය. ඔය අතරවාරයේ ඇය නැවතුණු තැනින් ඔහු ඒ කතාවටම යමක් එකතු කළේ පුදුමාකාර සෙනෙහසකිනි.
“එයාට දුක හිතෙන දෙයක් මගේ ලෝකේ තියෙන්න ඕන නෑ කියලා වට්ස්ඇප් අයින් කරලා දැම්මා.”
සම්පත් බිරිඳ දෙස ඇස් කොණකින් බලා කට පුරා සිනාසෙද්දී අපට සිතුනේ මෙවැන්නකි. මේ දිනවල පොලිසිය ගැන සමාජයේ ඇත්තේ එතරම් හොඳ චිත්‍රයක් නොවේ. එහෙත් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම ඒ චිත්‍රය මකන්නට සම්පත් වැනි නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ. කවුරුන් කෙසේ කිව්වද පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිය යුත්තේ මෙවැනි නිලධාරීන්ය. හේතුව බැටන් පොල්ලට කරන්න බැරි ගොඩාක් දේවල් එක වචනයකට කළ හැකි වීමය. ඊට හොඳම උදාහරණය සම්පත් රාළහාමිය. ඔහුගේ හදවත හිරිවට්ටන එක දේශනයකින් යුදබිමක් පවා පන්සලක් කළ හැකිය.
රුවන් එස්.සෙනවිරත්න