තොපි වගේ උන් නිසයි අරගලේ අල වුණේ
ඒ රටම කලබල වුණු මොහොතක්. ගාලු මුවදොර ඇතිවුණු ගැටුම නිසා මිනිස්සු ආවේගයට පත්වුණා.
ඒ අතරේ ගමක තරුණයන් පිරිසක් එළියට බැහැලා බර කතාවක.
“අර රමින්දයා, ඕකට නම් ගේමක් දෙන්නම ඕනේ” එක් අයෙක් හෙමිහිට කිව්වා.
“අනිවාර්යයෙන්. මතකනේ ඉස්කෝලේ කාලේදී. ඕකා හිටියේ හෙන ඔළුවෙන්. තාත්තා රට නිසා නාන්න සල්ලි තිබ්බනේ. හෙන ලොකුකම.”
“අනිවා මචන්. ඌට නාන්න තරම් සල්ලි තිබ්බ නිසා ගෙදරට ගෙනල්ලා ටියුෂන් කරගත්තා. ඒ නිසානේ ඌ කැම්පස් තේරුණේ. අපිට එහෙමද? අපි මේ අම්මලා එක්ක පොළේ ගිහින්, ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා හවසට කොහුබත් තල තල දුක් වින්දා මිසක් ටියුෂන් යන්න පුළුවන්කමක් තිබ්බද? මට නම් තරහ ඒකමයි” තවත් අයෙක් කිව්වා.
“ඒකනේ මචන්. මහ ලොකු ඉංජිනේරුවා. මහා විසාලෙට ගෙයක් හදාගෙන උජාරුවෙන්නේ ඉන්නේ. දෙමු වැඩක්. තැටිය රත්වුණු වෙලාවේ රොටිය පුච්චගන්න ඕනේ.” එහෙම කියන ගමන් තවත් කෙනෙක් ඉස්සර වුණා.
පාරේ තිබුණු ගඩොලක් අරගෙන රමින්දගේ ගෙදර ඉස්සරහ ලස්සනට කැටයම් දාලා හදලා තිබුණු වීදුරු ජනේලයකට එල්ල කළා.
ඇතුළතින් ඇහුනේ කාන්තාවකගේ විලාප හඬක්.
“ඔය අරකි නේද?”
“ඔව් ඔව්. ඕකි මට කැමැත්ත නොදී රමින්දයට කැමැත්ත දුන්නේ උගේ සල්ලි නිසානේ. දැන් බලමුකෝ මොකද වෙන්නේ කියලා.” පිරිස අතරින් නැඟුනේ ද්වේශසහගත හඬක්.
“ඔව් මතකයි අපිටත්. ඒකි උඹේ මූණටම කිව්වා නේද තමුසෙව කසාද බැඳලා මටත් කුඹුරු හාන්නද කියන්නේ කියලා?” තව කෙනෙක් ඒ කතාවට පොහොර දැම්මා.
“ඔව් උන්ගේ ලොකුකම් බස්සමු” කියන ගමන් තව කෙනෙක් තව ගලක් අතට ගත්තා.
“ඒයි නවත්තපල්ලා. මොකද්ද උඹලා ඔය කරන්නේ?” එකපාරටම ඇහුනේ රළු කටහඬක්.
“ආ අජිත් අයියා” කෙනෙක් කිව්වේ යටහත් පහත්ව.
“කියපල්ලා උඹලා මොනවද මේ කරන්නේ කියලා?”
“නැහැ අයියා. දන්නවනේ රමින්දයගේ ලොකුකම්.”
“යකෝ. උඹලට පිස්සුද? උගේ ලොකුකම් ඌ ගාව තිබිච්චදෙන්. ඌ දේශපාලනය කරනවද? නැහැ. උගේ ඥාතියෙක්වත් දේශපාලනය කරනවද? නැහැ. ඌ මොකක් හරි ගිය ආත්මෙක කරපු පිනක් නිසා ඌට මේ ආත්මෙදි හරි ගියා. ඌ පොහොසත් වුණේ අපේ දේවල් උදුරාගෙන නෙවේ. ඒ උගේ පෙර පින. ඌ ඒකෙන් උදම් වුණු බව ඇත්ත. ඌ අපිව ගණන් නොගත්ත බවත් ඇත්ත. රෝද හතරේ වාහනේ ආඩම්බරෙන් යන ගමන් පාරේ පයින් යන අපි දිහා නිකමටවත් නොබලන බවත් ඇත්ත. ඒත් මේක පෞද්ගලික තරහ මරහ පිරිමහගන්න ඕනේ වෙලාවක් නෙවේ. ඌ උගේ ගමන ගියාවේ. අපි අපේ ගමන යමු මල්ලිලා.” අජිත් අයියා කිව්වේ තරහෙන්.
“ඒත් අජිත් අයියා.”
“තේරුම් ගනිල්ලා මල්ලිලා. අපේ කොල්ලෝ කෙල්ලෝ කරන්නේ ආදරයේ අරගලයක් කියලා එකක්. උඹලා අඩුමතරමේ කොළඹ ගියේ නැහැ උන් කරන්නේ මොනවද බලන්නවත්. හැබැයි එහෙ කලබලයක් වුණු ගමන් මෙහෙ පෞද්ගලික කෝන්තර පිරිමහ ගන්න හදනවා. දන්නවද අන්තිමට මේ කළු පැල්ලම එකතු වෙන්නේ උන්ට කියලා? උඹලා ගෙවල්වලට ගහලා හැංගිලා ඉඳියි. හෙට පත්තර ටීවීවල යයි අරගලය කරන මිනිස්සු ගෙවල්වලට ගහලා මංකොල්ල කෑවා කියලා. උඹලා උඹලගේ වැඩක් බලාගනිල්ලා. පලයල්ලා මෙතන වණ කරන්නේ නැතුව.” අජිත්ගේ කෝපවත් වචනවලට මෙල්ල වුණු පිරිස හැරිලා තම තමන්ගේ ගෙවල්වලට යන්න ගියා.
සමාධි ඩයස්