විශේෂාංග

අලි ලෙඩකට උත්තර හොයන්න ගිහින් කම්බි වැටක් උඩ නතර වුණු දොස්තර

වන අලින්ට ප්‍රතිකාර කිරීම අප හිතනා තරම් පහසු නැත. වනජීවී දෙපාර්තමේන්තුවට සිටින පශු වෛද්‍ය කාර්ය මණ්‌ඩලය ඉතා සීමිත වීමත් ඊට එක හේතුවකි. එක් වෛද්‍යවරයකුට පැවරෙන වපසරිය බොහෝ විශාලය. ඇතැම්විට රෝගියා වෙත යාමට පැය කිහිපයක් ගතවේ. ගෘහාශ්‍රිත සතුන් මෙන් කැලෑ සතුන් එක තැනක රඳවා තබාද නැත. එනිසා රෝගියා සොයා ප්‍රතිකාර ලබාදීමේදී අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ දීමට වන අවස්ථා එමටය.

පශු වෛද්‍ය අකලංක පිනිදිය වරක් අරන්තලාවේ අලි ලෙඩෙකු බැලීමට ගියේය. ඒ හක්ක පටස්වලට ගොදුරු වීමෙන් තුවාල ලැබූවෙකි. හක්ක පටස්වලට හසුවීමෙන් වන තුවාල අතිශය වේදනාකාරීය. බොහෝවිට එලෙස තුවාල ලද සතුන් මියයන්නේ දින ගණනාවක් දුක් විඳීමෙනි. ප්‍රතිකාර දී බේරා ගැනීමට හැකි වන්නේද හානි අඩු අවස්ථාවල පමණි. වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීමේ ක්‍රමයක් ලෙස හක්ක පටස් භාවිත කෙරේ. එහෙත් සැලකිය යුතු අලි ඇතුන් ගණනක්ද ඒවාට ගොදුරු වේ. දරාගත නොහැකි වේදනාව නිසාමදෝ තුවාල ලැබීමෙන් පසු ඇතැම් සතුන් ප්‍රචණ්ඩකාරී වීම සාමාන්‍ය දෙයකි.

පශු වෛද්‍ය අකලංක ඇතුළු කණ්ඩායම සොයා ගිය ලෙඩා ද එලෙස කෝප ගෙන සිටි අයෙකි. තමාට මේ සා දරුණු වේදනාවක් ලබාදුන් මිනිසා කෙරෙහි මෙත් වැඩීමට තරම් ඒ අලියා දියුණු නැත. එසේ කියා රෝගියා නොසලකා හැරීමටද හිත් පිත් ඇති වෛද්‍යවරයකුට කළ නොහැකිය. පශු වෛද්‍ය අකලංක පිනිදියට තවත් නිලධාරීහු දෙදෙනෙකු එක් වූහ.

කැලෑ අලින්ට ප්‍රතිකාර කරන්නට සිදුවන්නේම අවදානම දරා ගනිමිනි. එනිසා පෙර සූදානම වැදගත්ය. රෝගියා වෙත යාමට පෙර කණ්ඩායම ඒ ගැනද විමසීය. අසල තණකොළවලින් වැසුණු අගාධයකි. අලියා තමා පසුපස පැන්නුවොත් විකල්පයක් නොමැතිනම් වළට පැනීම පිරිසේ තීරණය විය.

සියල්ලට සූදානම්ව කණ්ඩායම රාජකාරි ඇරඹීය. පශු වෛද්‍ය අකලංක ඉදිරියෙනි. අනෙක් දෙදෙනා ඊට මදක් පිටුපසින් පැමිණෙති. හක්ක පටස් නිසා ලද තුවාලයෙන් වේදනා විඳින රෝගියා ඉදිරියෙන් දිස්වේ. සියල්ල ලෑස්තිය. පශු වෛද්‍ය අකලංක එල්ලය ගත්තේය. එය රෝගියාගේ සිරුරට ඇතුළු වූවා පමණි.

බෙහෙත විද්දා විතරයි අලියා එලවන්න ගත්තා එක දිගටම. අනික ඒක ඕපන් ඒරියා එකක්. මාත් එක්ක හිටපු එක මහත්තයෙක් කිව්වා සර්, දුවන්නකියලා. දුවනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ. මං දිව්වා. මං ඒ නිලධාරියාවත් පසු කරගෙන දිව්වා. උඩට වෙඩිල්ලක් තියලා එයත් දුවන්න ගත්තා. ඒත් අලියා නවතින්නෙ නෑ. පන්නනවා. ඒ නිසා මම අර වළට පැන්නා. ඒක පිටතට පේන්නෙ තණකොළ ගාලක් වගේ. පැන්නට පස්සෙ තමා වළේ තරම තේරුණේඒකෙ මැදින් කටු කම්බි වැටක් ගහලා තිබුණා. මං පැනලා තියෙන්නෙ ඒක උඩට. මාව සම්පූර්ණයෙන්ම කටු කම්බි වැටේ පැටලුණා. ගන්න දෙයක් නෑ. ඇඟේ තුවාල ඒ තරම්. ඒ අතරේ අර අනිත් නිලධාරී මහත්තයත් තව වෙඩි දෙකක් විතර තිබ්බා අලියගෙන් බේරෙන්න. ඒත් අලියා නැවතිලා නෑ. ඒ නිසා එයත් වළට පැන්නා. එයා වැටුණෙ කටු කම්බි වැටේ ඇමිණිලා ඉන්න මගෙ ඇඟ උඩට. එදා මට මරණය පෙනුණු දවසක්.”

පශු වෛද්‍ය අකලංක පිනිදියට වූයේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැන්නකි. අලියා එලවන විට දිව ගොස් වළට පැන්නේය. එහි වූ කටු කම්බි වැටක පැටලුණේය. ඒ මදිවාට අනෙක් සගයා පතිත වූයේ තුවාල ලැබූ වෛද්‍යවරයාගේ සිරුර මතටය. තමාට බෙහෙත් කිරීමට පැමිණි කණ්‌ඩායමට කෘතගුණ සැලකූ අලියා ඒ වනවිටද මාරු වී ගොසිනි. අවසානයේ වෛද්‍යවරයාට රෝහල්ගත වීමට සිදුවිය. ඒ තමාට සිදු වූ දරුණු තුවාලවලට ප්‍රතිකාර ලබා ගැනීමටයි. එහෙත් තුවාල වෙලුම් සහිතවම පශු වෛද්‍ය අකලංක පිනිදිය පසු දින ද තමාගේ රෝගියා බැලීමට ගියේය. එතෙකින් නොනැවතී ප්‍රතිකාරද කළේය.

තොරතුරු – පශු වෛද්‍ය අකලංක පිනිදිය

 

රෂ්නිකා ලියනගේ