එකටම රට වටේ ගිහින් එකටම අවසන් ගමන් ගිය රටම ආදරේ කළ බල්ලයි කොල්ලයි
බ්‍රසීලියානු ජාතික විසිනව හැවිරිදි ‘ජෙසී කෝස්’ (Jesse Koz) සහ ඔහුගේ ආදරණීය සුරතලා වන ‘ශුරස්ති’ (Shurastey) කියන සුරතල් බල්ලා ගැන කවුද නොදන්නේ. සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය මේ අපූරු මිතුරන් දෙදෙනා ගැන ලොකු කුඩා හැමෝම වගේ ඕනෑවටත් වඩා දන්නවා. ඒ ඔවුන් ලෝකය වටේ සංචාරයේ යෙදෙන ඉතාම ප්‍රසිද්ධ සංචාරකයින් දෙදෙනෙක් නිසා. ඒ නිසාම මේ බල්ලටයි කොල්ලටයි මුළු ලෝකයෙන්ම හිමිවෙලා තිබුණේ අසීමිත ආදරයක් කියන එක රහසක් නෙවෙයි.
ඇත්තටම කිව්වොත් ජෙසී තමන්ගේ සුරතලා එක්ක නොගිය තැනක් නෑ. තමන් සංචාරය වෙනුවෙන්ම නිර්මාණය කරගත්ත 1978 VW Beetle වර්ගයට අයත් පැරණි මෝටර් රථයට නැගිලා දෙදෙනා බොහෝ රටවල සංචාරය කළා. ඒ වෙනුවෙන්ම ඔවුන් ඒ මෝටර් රථයත් හරි අපූරුවට නිර්මාණය කරගෙනයි තිබුණේ. කොහොම හරි ජෙසී නම් කිව්වේ රට වටේම කරක් ගහන එක දෙදෙනාගේම ලොකුම විනෝදාංශය කියලයි. ඔහු කියන විදිහට තමන්ගේ ගමන් සගයා වෙන ශුරස්ති Golden Retriever වර්ගයට අයත් බල්ලෙක්. මිනිහෙක් එක්ක සංචාරය කරනවට වඩා බල්ලෙක් එක්ක සංචාරය කරන එක වෙනස්ම අත්දැකීමක් කියලයි ඔහු නිතර නිතරම කිව්වේ.
මේ අපූරු මිතුරන් දෙදෙනා 2017 වර්ෂයේ පටන් තමයි රට රටවල සංචාරය කරන්න පටන්ගන්නේ. 2022 මැයි මාසය වෙනකොට ඔවුන් රටවල් දාහතක සැතපුම් 52,000 කට එහා ගිහින් ඇති බව ජෙසී විදෙස් මාධ්‍යයක් වෙත පසුගිය මාසයේ සඳහන් කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඔවුන් දෙදෙනා සංචාරය කරන හැමතැනක්ම ඡායාරූපගත කරලා සමාජ මාධ්‍ය වෙත දාන්නත් ඔහු අමතක නම් කළේ නෑ. ඒ නිසාම ඔහුගේ සමාජ මාධ්‍ය තුළ ඔහුව Follow කරන විශාල අනුගාමිකයින් පිරිසක් සිටි බවත් රහසක් නෙවෙයි. ඔය අතර වැඩිපුරම හිටියේ සුන්දර තරුණියන් බවත් අපිට ආරංචියි.
ඉතින් පසුගිය මැයි මස අවසන් සතියේ ජෙසී තම බලු යාළුවත් එක්ක ඇලස්කාවේ සංචාරයකයි නිරත වෙලා හිටියේ. එහි ඡායාරූප පවා ඔහු සමාජ මාධ්‍ය වෙත මුදාහැරලා තිබුණා. ඒත් කොවිඩ් නිසා ඒ ගමනට විටින් විට බාධා ඇතිවුණු බවත් සඳහන්. කොහොමින් හරි එක්වරම සමාජ මාධ්‍ය කළඹමින් අපිට ආරංචි වුණේ ජෙසීගේ මෝටර් රථය ඇලස්කා සංචාරය අතරතුරදී දරුණු රිය අනතුරකට ලක්වුණු පුවතක්. ඒ දෙදෙනාම මෝටර් රථය තුළ සිටියදී. ඒ කතාව අහපු හැමෝම ප්‍රාර්ථනා කළේ අනතුරින් ජෙසීටත් ශුරස්තිටත් සීරීමක්වත් වෙන්න එපා කියලයි. ඒත් ඒ මිලියන ගණනක ප්‍රාර්ථනාවන් එක තත්පරේකින් බොඳව ගිය පුවතකුයි අපිට එක්වරම අහන්න ලැබුණේ. ඒ අනතුරෙන් දෙදෙනාම මියගිය බව. එය ඔවුන් දෙදෙනාට ආදරේ කළ අයට කොහෙත්ම දරාගන්න පුළුවන් වුණේ නෑ. ඒ වගේමයි එකටම රට වටේ ගිය මේ අපූරු මිතුරෝ දෙන්නව ඔබට මට ආයෙමත් මුණගැහෙන එකකුත් නෑ.
රුවන් එස්.සෙනවිරත්න