විශේෂාංග

හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා

අලි රේස් ගැන අපි අසා ඇත්තෙමු. දැක ඇත්තෙමු. මිනිසුන්ගේ ධාවන තරඟ ඕනෑතරම්ය. එහෙත් අලින් සහ මිනිසුන් එකට දිවීමක් ගැන ඔබ අසා තිබේද? මේ එවැන්නකි.

මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ නිවසක ඇති කළ තරුණ අලියෙකි. හේ අධික භීතියට පත්වන කරුණක් තිබේ. එනම් ධාවනය වන දුම්රියයි. එවැන්නක් මෙම අලියාට උන්හිටි තැන් අමතක කරවීමටද සමත්ය.

දිනක් මෙම අලියා මහනුවර සිට සිය හිමිකරුගේ නිවස වෙත පැමිණෙමින් සිටියේය. කිසිඳු කලබලයක් නැත.  ඇත්ගොව්වාට අවනතය. ගැටඹේ ප්‍රදේශයේ දුම්රිය හරස් පාර මතින්ද ඔවුන්ට ගමන් කිරීමට නියමිතව තිබිණ. එවිට වේලාව දහවල් 11 පමණ විය. දුම්රිය හරස් මාර්ගයට ආසන්නවත්ම දුම්රියක නලාවක් නාද කෙරිණ. සද්දන්තයාගේ හැසිරීම උඩු යටිකුරු කිරීමට එය ප්‍රමාණවත්ය. අලියා භය බිරාන්ත වූයේය. යන්නෙ කොහෙද,  කා සමඟින්ද සියල්ල අමතක විය. නලා හඬින් කලබලයට පත් අලියා දුම්රිය ගේට්ටුවෙන් පැන ගත්තේය. ගන්නෝරුව මාර්ගයට පිවිසියේය. අනතුරුව පේරාදෙණිය දෙසට දුවන්නට පටන් ගත්තේය. මේ අනපේක්ෂිත සිදුවීමෙන් වැඩිම පීඩාවට පත් වූයේ ඇත්ගොව්වාය. ඔහුද අලියා පසුපස දුවන්නට විය. එහෙත් එය පහසු නැත. වැඩි වේලාවක් යාමට මත්තෙන් ඇත්ගොව්වාට අලියා මගහැරිණ.  පෙනෙන්නටවත් නැති අලියකු පසුපස හඹා යාම ඉඳිකටු තුඩේ තපස් රැකීමක් යැයි ඇත්ගොව්වාට සිතෙන්නට ඇත. එනිසා නැවතී හති අරින්නට විය.

මේ අතර කිලෝමීටර තුනක් පමණ දිව ගිය අලියා නැවත හැරුණේය. යළි ගැටඹ දෙසට දුවන්නට ගත්තේය. අලියා ඇත්ගොව්වාද පසු කරමින් දුවන්නට විය. එය දුටු ඇත්ගොව්වාද නැවත ධාවනය ඇරඹීය. දැන් අලියා සමඟ ඇත්ගොව්වාද ගැටඹ දෙසට දුවමිනි.

මේ අමුතු දිවිල්ලට පොලිසියටද මැදිහත් වීමට සිදුවිය. එකල එම ප්‍රදේශය අද තරම් ජනාකීර්ණ නොවීම වාසනාවකි.  ගැටඹේ හන්දියෙන් සහ පේරාදෙණියෙන් මාර්ගය වසා දැමිණ. ඒ අතර කිලෝමීටර තුනක පමණ දුරෙහි වන දේ පාලනය පහසු කිරීම එහි අරමුණ විය.

පාර වසා දැමූවද දිවිල්ල අවසන් නොවේ. අලියා දුවයි.  ඇත්ගොව්වාද දුවයි. එනිසා මහාචාර්ය අශෝක දංගොල්ල වෙත දුරකතන ඇමතුමක් ලැබිණ. ඒ අලි ධාවකයා සිහිසුන් කර හෝ දම්වැල් දැමීමට උදව් වන ලෙස දැනුම් දෙමිනි. ඒ අනුව හැකි ඉක්මනින් මහාචාර්යවරයා ඖෂධ සහ තුවක්කුව රැගෙන එම ස්ථානයට ළඟාවිය. ඔහුට එහිදී දැකගත හැකි වූයේ දම්වැල් රහිතව එහා මෙහා දුවන ජවසම්පන්න තරුණ අලියෙකු සහ ඒ පසුපස ලුහුබඳින ඇත්ගොව්වෙකුය. හෙතෙම වහාම ක්‍රියාත්මක විය. තුවක්කුවට සිහි නැති කිරීමට අවැසි බෙහෙත් දැමීය. සියල්ල සූදානම්ය. ඉතිරිව ඇත්තේ අලියා සිහි නැති කිරීම පමණි. මහාචාර්ය අශෝක දංගොල්ල ඊට උත්සාහ ගත්තේය. දුවන අලියාට ඉලක්කය ගැනීම පහසු නැත. දැන් කුමක් කරන්නද? මහාචාර්යවරයාද අලියා පසුපස දුවන්නට ගත්තේය. දැන් ධාවකයින් තුන්දෙනෙකි. සද්දන්ත අලියා ඉදිරියෙන් දුවයි. ඇත්ගොව්වා සහ මහාචාර්යවරයා පිටුපසිනි. සවස් වනතුරුම දිවිල්ල අවසන් නොවීය. තරඟ තීරකයා තරුණ අලියායි. එතෙක් අනෙක් දෙදෙනා දිව යා යුතුය. ගැටඹේ සහ පේරාදෙණිය අතර වට කිහිපයක්ම දිව යාමෙන් හති වැටුණු අලියා තරඟය අත්හිටුවීමට තීරණය කළේය. අනෙක් ක්‍රීඩකයින්ටද විරාමයක් ලැබිණ. හොඳින් ක්‍රීඩා කළ අලියා ඉතා සන්සුන්ය. ඇත්ගොව්වාට සහ මහාචාර්ය අශෝක දංගොල්ලට දින ගණනාවක ව්‍යායාමය පැය කිහිපයක් ඇතුළත හිමිවිය. අලි – මිනිස් මහා ධාවන තරඟය කිසිඳු ජීවිත හෝ දේපල හානියක් නොමැතිව සමාප්ත වීම වාසනාවට කරුණකි.

තොරතුරු – මහාචාර්ය අශෝක දංගොල්ල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

රෂ්නිකා ලියනගේ