විභාගය ලියූ සිසුවියකගේ හෘද ස්පන්දනය බලන්න ගිය විභාග පරීක්ෂකට වැඩ වැරදිලා
ඒ පසුගිය 25 වෙනිදාය. කොවිඩ් නිසාවෙන් මාස පහක් තිස්සේ වරින් වර කල්ගිය සාමාන්‍ය පෙළ විභාගයේ එදින තිබුණේ ඉතිහාසය විෂයයි. කාංචනා උසස් පෙළ හදාරන සිසුවියක වුවද ඇයද මෙවර ඉතිහාසය විෂයට ඉල්ලුම් කර තිබුණි. ඒ පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී ඇය බලාපොරොත්තු වූ අන්දමේ සාමර්ථයක් එම විෂය වෙනුවෙන් ලබාගැනීමට නොහැකි වූ නිසාය. ඒ අනුව ඇය එදින තමන්ට විභාගය ලිවීමට තිබූ නාච්චදූව හිදෝගම තලුවිල සේන මහා විදුහලේ වූ විභාග ශාලාවට ගියේ ඉතිහාස ප්‍රශ්න පත්තරයට පිළිතුරු ලිවීමටය.
“මේ සැරේ නම් ඉතිහාසය කොහොම හරි ගොඩදා ගන්නවා. හොඳට පොත් ටිකත් බලාගත්ත නිසා කලින් සැරේ වගේ අමාරුවෙන එකක් නම් නෑ.”
ඒ විභාග ශාලාවට එන අතරවාරයේ ඇගේ හිත කියපු කතාවය. සති කීපයක පටන් ඉතිහාසය විෂය වෙනුවෙන් හොඳින්ම සූදානම් වී සිටි නිසා කාංචනාට මෙවර විභාගය ගැන කිසිඳු බයක් තිබුණේ නැත.
එහෙත් ඇය විභාග ශාලාවට පැමිණි මොහොතේ පටන්ම හිතට දැනුණේ යම් අමුත්තකි. ඒ විභාග ශාලාවේ සිටි විභාග පරීක්ෂකවරයාගේ හැසිරීම නිසාය. ඔහුගේ ඇස් යොමුව තිබුණේම කාංචනා දෙසටය. ඔහු කීපවරක්ම තමා දෙස අමුතු බැල්මක් හෙලන අයුරු ඇය පැහැදිලිවම දුටුවාය. නමුත් විභාග ශාලාවේ තමා තනිවී නැති බව වටගාගත් ඇය ඒ බිය එවලේම හිතින් පන්නා දැමුවාය. මන්ද අනවශ්‍ය දෑ හිතේ තබාගැනීමේ අවාසියද යන්නේ විභාගය පිටින් බව ඇයට වැටහී තිබුණි.
විභාගය ආරම්භ වී පැයකට කිට්ටු වෙන්නට ඇත. කාංචනා එක්වරම ගැස්සී ගියේ කිසිවෙකු තමා අසළ සිටින බව ඉවෙන් මෙන් දැනුණු නිසාය. ඇය සිතුවා හරියටම හරිය. ඒ සිටියේ වෙන කිසිවෙක් නොව මීට ටික වෙලාවකට පෙර තමා දෙස අමුතු අන්දමින් බලා සිටි විභාග පරීක්ෂකවරයාය.
“මේ සර් මොකද මෙහෙම මං වටේම කැරකෙන්නේ….?”
ඒ කාංචනාට එක්වරම හිතට ආ සිතුවිල්ලය. රූපයෙන් පොහොසත් තරුණියක වූ කාංචනා එවර කෙළින්ම විභාග පරීක්ෂකතුමාගේ මුහුණ දෙස බැලුවද ඔහු එය ගණනකට ගත්තේ නැත. ඒ මොහොතේද කාංචනා දෙස අමුතු බැල්මක් හෙලූ විභාග පරීක්ෂකවරයා තවත් මොහොතකින් ඇය අසළටම පැමිණියේ මොකක්ම හෝ අඩව්වක් ඇල්ලීමට බව ඇයට සිතුණි. කාංචනා විභාග ශාලාවේ පිටුපසට වෙන්නට සිටීමේ වාසියද තිබුණේ මේ නන්නාඳුනන මිනිසාටය.
ඒ ගෙවී යමින් තිබුණේ විභාගය ලියන්නට තිබූ කාලවේලවයි. නමුත් විභාග පරීක්ෂකවරයාගේ හැසිරීම නිසා ඇයට එය නිදහසේ ලියන්නට හැකියාවක් තිබුණේ නැත. තවත් මොහොතකින් ඇයට ප්‍රශ්න පත්‍රය ලිවීමට උපකාර කරන බව පවසා ඔහු ඇගේ මුහුණ අතගෑවේ කාටත් හොරෙන්ය. ඒ සිදුවීමද දරාගෙන ඇය දැඩි අසරණකමකින් නැවතත් ප්‍රශ්න පත්‍රය දෙසට හිත යොමු කළාය. මේ අතර විභාග පරීක්ෂකවරයාගේ සෙල්ලමේ ඉතිරි ටික එලියට එන්නේ විවේක කාලය තුළය. එහිදී කාංචනා අසළට යන ඔහු ඇයගේ පපු ප්‍රදේශය අතගාන්නට උත්සාහ දැරූ බව සඳහන්ය.
“මං දැන් මොකද කරන්නේ… මං කාටද මේක කියන්නේ…?”
කාංචනාට දැන් දහසකුත් ප්රශ්නය. එහෙත් මෙය ඉවසා සිටීමද කළ නොහැකිය. ඒ නිසා ඇය තීරණයක් ගත්තාය. ඒ විභාගය අවස්ථාවේ සහ විවේක කාලය තුළදී තමාට සිදුවූ අතවරයන් ගැන පාසල් ගුරුවරියක දැනුවත් කිරීමටය.
“මිස්, අර විභාග පරීක්ෂකතුමා මට මෙහෙම දෙයක් කළා. මං මොකක්ද කරන්න ඕනේ? මට මුකුත් තේරෙන්නේ නෑ.”
හැඬූ කඳුළින් එසේ කී කාංචනාගේ කතාව අසා සිටි ගුරුවරිය ඇයට පවසන්නේ විභාගය අවසන් වූ සැනින් වැඩිහිටියෙක් සමඟ ගොස් පොලිසියට පැමිණිලි කරන ලෙසයි. ඒ අනුව එදිනම ඇය නිවැසියන් සමඟ හිදෝගම පොලිසියට ගියාය.
“වුණේ මොකක්ද කියලා පැහැදිලිව මුල ඉඳන් කියන්න. කිසිම දේකට බයවෙන්න එපා.”
පොලිසිය එසේ කියද්දී ඇයට තවත් සඟවා සිටින්නට තරම් දෙයක් තිබුණේ නැත. සිදුවූ සියල්ල අකුරක් නෑරම ඇය පොලිසිය ඉදිරියේ කීවාය. සිද්ධිය බරපතළ බව පොලිසියට හැඟී යද්දී ඔවුන් කළේ විභාග අපේක්ෂිකාවකට අතවර කීරීමේ වරදට අදාළ විභාග පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමයි. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පොලිසිය කටයුතු කළේ.
“මෙම සිසුවිය උසස් පෙළ අධ්‍යාපනය ලබන සාමාන්‍ය පෙළ අසමත් විෂයන් සඳහා මෙවර විභාගයට පෙනී සිට ඇති සිසුවියක්. ඇයට අතවර කිරීමේ සිදුවීම මත අපි අදාළ විභාග පරීක්ෂවරයා දැනට අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඔහු නාච්චදූව නව නගරයේ පදිංචි ගුරුවරයෙක්.”
‘ධරණී’ වෙත එසේ පවසා සිටියේ මෙම පරීක්ෂණය මෙහෙය වූ හිදෝගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති සුනිල් ශාන්ත මහතාය. ඔහු පවසන ආකාරයට අත්අඩංගුවට පත් ගුරුවරයාගේ පාර්ශවයෙන් මෙම සිදුවීම මුදල් දී යට ගැසීමටද උත්සාහයක් දරා ඇති බව සඳහන්ය.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරන්නට විය. එහි සඳහන් වූයේ අදාළ සිදුවීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදුකර ඒ සම්බන්ධව වාර්තාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වෙත ලබාදෙන ලෙස විභාග කොමසාරිස්වරයාට දුන් දැනුම්දීමකි. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත සිසුවියගෙන්, විභාග ශාලාධිපතිගෙන්, සහකාර ශාලාධිපතිගෙන්, චූදිත නිරීක්ෂකවරයාගෙන් මෙන්ම එදින විභාග ශාලාවේ සිටි සිසු සිසුවියන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට තීරණය කෙරිණි. මේ අතර විභාග කොමසාරිස් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසා සිටියේ අදාළ විභාග පරීක්ෂකවරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත්, මෙම සිදුවීම වසන් කිරීම සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිට එරෙහිවද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.
“ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් තියෙනවා නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දෙන්න. ඒක ඔබේ යුතුකමක්.”
අවසාන වශයෙන් ඒ පණිවිඩය ලබාදුන්නේ මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ හිදෝගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති සුනිල් ශාන්ත මහතාය. ඒ යළිත් වරක් මෙවැනි කණගාටුදායක සිදුවීමක් අපේ සමාජය තුළින් අහන්නට දකින්නට නොලැබේවි යන දැඩි විශ්වාසයෙනි.
(සිසුවියගේ නාමය මනඃකල්පිතය)
භාතිය වෙඩිවර්ධන