එක්කො ගෑස් ගෙනත් දීපං නැත්නම් ඩිවෝස් එක දීපං
ඉස්සර නම් ගොඩක් අයට ගෝල්ෆේස් පැත්ත මතක් වුණේ හැන්දෑවක කටට රහට ඉස්සෝ වඩයක්, නාන් රොටියක් එහෙම කන්න හිතුණම. ඒත් දැන් මාසෙක එක හමාරක වගේ කාලෙක ඉඳන් ඒක වෙනස් වෙලා ගෝල්ෆේස් කියනකොට ගොඩදෙනෙකුට මතක් වෙන්නේ අරගලය.
ඇත්තම කිව්වොත් වැඩි හරියක් දෙනා එදිනෙදා කුලියක් මලියක් කරගෙන තමන්ගේ දරු පවුල් රැකගන්න කරන්නෙත් එක්තරා විදියක අරගලයක්. හැබැයි මේ කතා කරන්න යන්නේ කාලයක් තිස්සේ එවැනි අරගලකාමී ජීවන රටාවක් ගෙන යන මිනිසුන්ට ඊළඟට ඇතිවිය හැකි මානසික ව්‍යාකූල තත්ත්වයක් ගැන.
කරාපිටිය මූලික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ අද වනවිට රටේ ජනතාවගෙන් වැඩිහරියක් දෙනා එදිනෙදා ජීවිත ගත කරන්නේ එවැනි ව්‍යාකූල මානසික තත්ත්වයක් මත බවයි.
“ මම උදාහරණයක් එක්කම මේ කතාව පටන්ගන්නම්. මේ ඊයේ පෙරේදා දවසක මගේ සායනයට ආවා අවුරුද්දක විතර පුංචි දරුවෙකුත් ඉන්න අවුරුදු තිස් ගණන්වල පසුවෙන තරුණ යුවළක්. ඒ අයට පවුලේම ව්‍යාපාරයක් තිබුණ නිසා සල්ලි බාගේ, දේපළ අතින් කිසි අඩුපාඩුවක් තිබුණෙ නෑ. හැබැයි ඉතින් දෙන්නම කිව්වෙ ඒ දෙන්නටම පවුල් ජීවිතේ තිත්ත වෙලා කියලා. අන්තිමට කොහොම හරි මං ළඟට එනකොට දෙන්නම දික්කසාද වෙන්නත් තීරණය කරලයි තිබුණෙ. හැබැයි ඉතින් මේ දෙන්නා දෙමහල්ලො වෙන් වුණොත් අර දරු පැටියට යන කලදසාවක් නැති නිසා ඒ අයගේ වැඩිහිටියොම තමයි මෙයාලව මගේ ළඟට එවල තිබුණේ.
මේ දෙන්නා එක්ක කතාබහ කරලා ටිකක් විස්තර දැනගත්තට පස්සෙ දික්කසාදෙකට යන්න තීරණය කරපු හේතුව මොකක්ද කියලා මම ඇහුවා. ඒ වෙලාවෙ මේ පිරිමි කෙනා කියනවා, උදේ ඉඳලා රෑ වෙනකන් බිස්නස් එක්ක ඔට්ටු වෙලා රෑට ටිකක් නිදහසේ නිදාගන්න ගිහාම ඒකටවත් නිදහසක් නෑලු. රෑට කරන්ට් එක නැතුව, ෆෑන්, වායු සමීකරණ වැඩ නැති වුණහම රස්නෙට එළිවෙනකන් ළමයා අඬනවලු. උදේට නැගිටලා තේ ටිකක් බොන්න කියලා ආවහම ගෑස් එක නැතුව දර ලිපේ දුම් කකා වැඩ කරන්න බෑ කියලා නෝනා ගේ දෙකක් වෙන්න කෑ ගහනවලු. ඊටපස්සෙ බිස්නස්වලට ගත්ත ණය, වාහන ලීස් ගෙවාගන්න කීයක් හරි ඉතුරු කරගන්න හදනකොටම නෝනා හැම මාසෙම මොනවාට හරි ලොකු බිලක් දානවලු. ඉතින් ඒවා ඉවසගන්න බැරිම වුණහාම දෙන්නා දෙමහල්ලො ගේ දෙකක් වෙන්න ගහා මරා ගන්නවලු. ඉතින් මේ විදිහට දිගින් දිගටම ජීවත් වෙන්න බෑ කියලා තමයි දෙන්නම දික්කසාද වෙන්න තීරණය කරලා තියෙන්නෙ.
ඉතින් බලන්න හරියට හිතුවොත් මේ දේවල් දෙන්නෙකුට දික්කසාද වෙන්න තරම් ලොකුවට බලපාන හේතුද? එතකොට අර දරුවෙකුට මුළු ජීවිත කාලෙම අම්මා තාත්තා නැතුව ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ රෑට කරන්ට් නැති නිසාවත්, ගෙදරට ගෑස් නැති නිසාවත්ද?”
දිගින් දිගටම අරගලකාමී වාතාවරණයක සහ වටපිටාවක ජීවත්වීමේදී මෙය ඕනෑම පුද්ගලයෙකුට ඇතිවිය හැකි ‘ලර්න් හෙල්ප්ලස්නස්’ (c) නමැති මානසික ව්‍යාකූලත්වය බවයි වෛද්‍යවරයා කියා සිටියේ.
“ගොඩක් අය හිතන්නෙ ලර්න් හෙල්ප්ලස්නස් කියන්නෙත් මානසික රෝගී තත්ත්වයක් කියලා. ඇත්තටම එහෙම නෑ. මේක මානසික තත්ත්වයක් විතරයි. යම්කිසි කෙනෙක් මේ තත්ත්වයට පත්වෙන්න හේතුවෙන ප්‍රධානම කාරණය තමයි දැඩි අපේක්ෂාභංගත්වය. එතැන ඉඳන් මේ අය කරන්නේ දැඩි උද්වේගකාරී ලෙස සහ හිංසාකාරී ලෙස හැසිරෙන එක. ඔන්න එතැන ඉඳන් තමයි එයාලගේ මානසික තත්ත්වයේ හොඳම හරිය එළියට එන්න පටන්ගන්නේ. පළවෙනියට ඒ අය කරන්නේ තමන්ගේ පුද්ගලික ඕනෑ එපාකම්, තරහවල්, ක්‍රෝධසහගත අදහස් පොදු මතයක් කරලා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්න පටන්ගන්න එක. පිරිස එක්රැස් කරගෙන ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්න පටන්ගන්න එක. තමන්ගේ නොහැකියාවන් නිසා තමන්ට කරන්න බැරිවුණ දේවල් සමාජයේ පොදු වැරදි කියලා ප්‍රසිද්ධ කරන්න පටන් ගන්න එක.
ඊටපස්සෙ සමහරවිට මෙවැනි ගැටලුවලට විසඳුම් සෙවීමට සාමකාමී ලෙස එකතු වෙන පිරිස් පවා මේ අය විවිධ කල්ලිවල මුදලට පාවලා දෙන්න පුළුවන්. ඊටපස්සෙ ඒ අයගේ අභ්‍යන්තරයේ ගැටලු ඇති කරවලා සාමකාමී එකතුවීම් හීන්සීරුවට වෙනත් පැත්තකට යොමු කරලා වාසි ගන්න බලන්නත් පුළුවන්.”
මෙම මානසික තත්ත්වය පසුව දැඩි මානසික රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත්, ඉන්පසුව ඔවුන් තම ජීවිත අතහැර සියදිවි හානි කරගැනීමට හෝ සමාජයට නෑවිදින් හුදෙකලා වීමට උත්සාහ කරන බවත් වෛද්‍යවරයා පැහැදිලි කළේය.
“ඇත්තටම අපි මේ වෙලාවෙ රටක් විදිහට කඩන් වැටිලා තමයි. ඒත් එහෙමයි කියලා අපි ඒ තරමටම පුද්ගලයෝ වශයෙන් කඩා වැටෙන්න උවමනා නෑ. අනික ඔය වාගේ තත්ත්වයන් ඇති වෙන්නෙ නිතරම ක්‍රෝධය, වෛරය වපුරලා හැමදෙයක් දිහාම අසුබවාදී විදිහට බලන පුද්ගලයෝ ඉන්න තැන්වලට ගියාම. ඉතින් හැමදේටම නැහැයි බැහැයි කියන පුද්ගලයන්ට ඔලුව වනලා අවසානයේ තමන් මානසික අසහනකාරීත්වයෙන් පෙළෙනවට වඩා හොඳ නැද්ද තමන්ගේ අතට තව කීයක් හරි වැඩිපුර ලැබෙන අලුත් අදායම් මාර්ගයක් හදාගන්න එක? දැන් ඉදිරියට රටේ උග්‍ර ආහාර හිඟයක් ඇතිවෙන්නත් ඉඩ තියෙන එකේ වත්තක් පිටියක් උදලු ගාලා, අඩුතරමින් කීර කොළයක් හරි වවාගන්න එක?”
මෙවැනි තත්ත්වයන් තේරුම් නොගෙන කටයුතු කරන්නේ නම් ඉදිරියේදි දික්කසාද වීම් වැඩිවීමටත්, ගෙදරදොරේ ඇතිවන පීඩාකාරී තත්ත්වයන් නිසා මානසිකව පීඩා විඳින දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමටත්, සොර මැරකම් වැඩිවීම මෙන්ම මානසික ගැටලු සහිත දරුවන් බිහිවීමටත් ඉඩ ඇති බව වෛද්‍යවරයාගේ අදහසයි. එම නිසා නිරන්තර අපේක්ෂාභංගත්වයකින් යුතු පුවත් සහ වෛරීසහගත අදහස් ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ ගන්නා ලෙස ඔහු සියලු මාධ්‍යවලින්ද ඉල්ලා සිටියි. එමෙන්ම රටේ ප්‍රශ්න පමණක් හුවා දක්වන්නේ නැතිව නව අදහස්, නව ව්‍යාපාරික අවස්ථා සහ විකල්ප ආදායම් මාර්ග පිළිබඳව මාධ්‍ය මඟින් දැනුවත් කිරීමට හැකිනම් මිනිස්සුන් කල්ලි ගැසී කෑසීමට වඩා ඔවුන්ගේ වටිනා කාලය එවැනි දේකට යොමු කිරීමට උනන්දු වනු ඇතැයිද ඔහු අවසාන වශයෙන් සඳහන් කළේය.
ලිහිණි මධුෂිකා