විශේෂාංග

එකොළහේ විභාගෙට ඉඳගත් හැට පැනපු ඇත්තෝ…

පසුගිය 28 වෙනිදා නෙළුව ජාතික පාසල් විභාග මධ්‍යස්ථානයේ සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය වී තිබුණේ විද්‍යාව ප්‍රශ්න පත්තරයයි. ඊට පිළිතුරු ලියන්නට සුදු ඇඳුම්වලින් සැරසී ආ දරු දැරියන් අතර සුදු සරමක් සහ කමිසයක් ඇඳගෙන පැමිණ සිටි වයස්ගත පුද්ගලයෙක් ද විය. හෙතෙම නෙළුව කළුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රදාස ගොඩගේ මහතාය.

මං මෙදා සැරේ සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාවයි, ගණිතයයි පේපර් දෙකට පෙනී හිටියා. 28 වෙනිදා විද්‍යාව පේපර් එක ලිව්වා. 30 වෙනිදා ගණිතය පේපර් එක ලිව්වා. දැන් මට වයස අවුරුදු 74 ක්. මං ගිය අවුරුද්දෙත් විද්‍යා විෂයට පෙනී හිටියා. ඒ සැරේ මං විද්‍යාවට සාමාන්‍ය (S) සාමර්ථයක් ගත්තා.”

කාලයෙන් කාලයට වෙනස්වෙන විෂය නිර්දේශය නිසා විෂය ඉගෙන නොගන්නා කෙනෙකුට විද්‍යාව, ගණිතය වැනි ප්‍රශ්න පත්‍රයක් ලිවීම අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් චන්ද්‍රදාස මහතා ඒ අභියෝගයට මුහුණ දුන්නේ එතරම්ම විශ්වාසයකිනි.

මං මුලින්ම සාමාන්‍ය පෙළ විභාගයක් ලිව්වේ 1970 අවුරුද්දේ. විභාග ලියන්න වයස ප්‍රශ්නයක් කියලා මං හිතන්නේ නෑ. ඇත්තටම මං මෙහෙම විභාගයට පෙනී ඉන්නේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. විභාගයක් තියෙනවා නම් ඉල්ලුම් කරන්න කියලම හිත කියනවා.”

දිගින් දිගටම විභාගවලට මුහුණ දෙන බොහෝ දරු දැරියන් ඒ පීඩනයෙන් ගැළවීමටදෝ කරන එක් ප්‍රාර්ථනයක් තිබේ. ඒ විභාග නැති රටක මා යළි ඉපදේවා යන්නයි. එහෙත් චන්ද්‍රදාස මහතාට නම් විභාග ගැන තියෙන්නේ වෙනස්ම ආකල්පයකි.

අධ්‍යාපනය කියන දේ කාලයකට සීමා කරන්න බෑ. මැරෙනකල්ම ඉගෙනගන්න ඕනේ. දැන් විභාගවල විෂය නිර්දේශ වෙනස්වෙලා. නවීකරණය වූ අධ්‍යාපනය ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ. හැබැයි ඒ කාලේ වගේ නෙවෙයි දැන් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පාසල් දරුවන්ට උපකාරක පන්ති, අන්තර්ජාලය, ජනමාධ්‍ය වගේ සෑහෙන්න පහසුකම් තියෙනවා. අපේ කාලේ ඔය කිසිම දෙයක් තිබුණේ නෑ.”

මේ අතර මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැනත්, ඒ වෙනුවෙන් චන්ද්‍රදාස මහතා සූදානම් වූ ආකාරය ගැනත් ඔහු පවසා සිටියේ මෙවැන්නකි.

ගිය සැරේට වඩා මේ පාර විද්‍යාව පේපර් එක ටිකක් අමාරුයි. මං විද්‍යාව සම්බන්ධ පොත්පත් නිතරම බලනවා. කොහොමත් මට විද්‍යාව විෂය ගැන සාමාන්‍ය දැනුමක් තියෙනවා. ඒක නිසා පේපර් එකට උත්තර ලියන එක ලොකු ගැටලුවක් වුණේ නෑ.”

එවකට අලපලාදෙණිය මහා විද්‍යාලයෙන් ඉගෙනගත් චන්ද්‍රදාස මහතා පවසන්නේ දේශපාලන බලපෑම් නිසා තමාට සුදුසු රැකියාවක් ලබාගැනීමට නොහැකි වූ බවයි. ඔහු මේ වනවිට සිය බිරිඳ සමඟ තම නිවස සමීපයේ පිහිටි තේ වගාවෙන් ලැබෙන සුළු ආදායමෙන් ජීවිතය ගැටගහ ගනියි.

මේ අතර මැයි 30 වෙනිදාද මෙවැනිම සිදුවීමක්  පානදුර ප්‍රදේශයෙන් දැකගත හැකිවිය. එදින තිබුණේ සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයයි. ඊට පෙනී සිටීමට පානදුර බාලිකා මහා විද්‍යලයට පැමිණියේ වයස අවුරුදු 78ක් වයස පුද්ගලයකි. ඒ පානදුර පදිංචි නිමල් මහතාය.

මං විභාග ලියන්නේ විනෝදාංශයක් හැටියට. හැටේ දශකයේ තමයි මුලින්ම සාමාන්‍ය පෙළ විභාගයකට පෙනී හිටියේ. 1961 ඉඳන් 1964 දක්වාම මට ඒ කාලේ හැටියට ගණිතයට විශිෂ්ඨ සාමාර්ථ තුනක් ලැබුණා. 2016 වගේම 2019 වසරවලත් මං ගණිතය පේපරේ ලිව්වා. ඒ අවුරුදුවල මට ගණිතයට සාමාර්ථ තියෙනවා.”

ඒ කතාවෙන් නම් පෙනී ගියේ නිමල් මහතා ගණන් හදන්නට උපන් හපනෙක් බවයි. ඒ නිසාමදෝ ඔහුගේ හැටි දන්නා ගම් ප්‍රදේශයේ දරු දැරියන් ගණිතය ඉගෙනීමට නිමල් මහතාව සොයා එන බවයි අපිට දැනගන්නට ලැබුණේ.

මං නිකන් ඉන්න වෙලාවට ළමයින්ට ගණිතය උගන්වනවා. ඒ කිසිම දරුවෙක් විභාගය ෆේල් වෙලා නෑ. මං හිතනවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය හදද්දි අංක ගණිතයට විශේෂ තැනක් ලැබෙන්න ඕනේ කියලා. මොකද දැන් දැන් ගොඩාක් රැකියාවලට ඒක උවමනා වෙනවා.”

චන්ද්‍රදාස මහතාත් නිමල් මහතාත් මේ කලක සිට ඔප්පු කර පෙන්වන්නේ ඉගෙනීමට තම වයස බාධාවක් නොවන බවයි. එය සැබෑවකි. මන්ද ඉගෙනගත් දෙයක් කිසිදා අපතේ යන්නේ නැත. එය මැරෙන්නට මොහොතක් තියා හෝ උවමනා වෙන්නට ඉඩ ඇති බව ඔවුන් දෙදෙනාගේම විශ්වාසයයි. එකොළහේ විභාගේ ලියපු හැත්තෑ ගණන්වල සීයලා දෙපළ රටට කියාදෙන්නේ ඒ පාඩමයි.

රුවන් එස්.සෙනවිරත්න