විශේෂාංග

ඒවානම් හූරගෙන කාලා ඉතිරි ටික හත්පොළේම ගාගත්තත් පාඩු නෑ අපේ හාමුදුරුවනේ

ඈන් ඇස්බෝර්න් කියන්නේ ඇමරිකාවේ සුප්‍රකට ලේඛිකාවක්. වයස අවුරුදු පනහත් පැන්නට මොකද  ඈන්ට තියෙන්නේ තරුණ කෙල්ලෙක්ගේ පෙනුමක්. ඈන්ගේ සම රත්තරන් පාටට ලස්සනට දිලිසෙනවා. ඒ විතරක්යෑ බොහොම හැඩැති සිහින් සිරුරකුත් ඇයට තියෙනවා.

අස්ප ගණන් වියදම් කරලා රූපලාවණ්‍ය සත්කාර ටිකක් කරගන්න පුළුවන් නම් ඔය වයසෙදි ඕන කෙනෙක්ට එහෙම  ඉන්න පුළුවන්නේ කියලා දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නෑ… ඈන්ගේ කතාව ඊට වෙනස්. ඇය කියන විදිහට ඇය රූපලාවණ්‍ය සත්කාර සහ ආලේපන භාවිතා කරන්නේම නෑ. නමුත් පහුගිය අවුරුදු 27ක් පුරාවට ඇය ආහාරයට අරන් තියෙන්නේ පලතුරු විතරයි. උදේ, දවල්, රෑ තුන්වේලටම ඇය කන්නේ පලතුරු විතරයිලු. තේ, කෝපි නැත්තම් වෙනත් කෘත්‍රිම බීම වර්ග වෙනුවට පානය කරන්නේත් පලතුරු යුෂ විතරයිලු.

පලතුරුවල අරුම පුදුම බලය ගැන මම තේරුම්ගත්තේ අවුරුදු 25දී. ඉතින් මම අනිත් හැම කෑම ජාතියක්ම කන එක නැවැත්තුවා. පලතුරු විතරක් කන්න පටන්ගත්තු මුල් කාලෙදි බඩ පිරෙන්නේ නැති ගතියක් තේරුණා. හැබැයි පස්සේ ඒකත් හරි ගියා. ඒ වගේම පලතුරු කනකොට මගේ සම පැහැපත් වෙන බව මට පැහැදිලිවම තේරුණා.

ඈන් එහෙම කිව්වට පලතුරු විතරක් ආහාරයට ගත්තොත් අපේ ශරීරයට අවශ්‍ය කරන මේදය, ප්‍රෝටීන, කැල්සියම්, විටමින් B සහ අයඩීන් නොලැබෙන්න පුළුවන් කියන එක තමයි වෛද්‍යවරුන්ගේ මතය වෙන්නේ. ඒ නිසා මේ කියන්න හදන්නේ පලතුරු විතරක් කන්න කියලා එහෙම නෙමෙයි. පලතුරු ටිකක් වැඩිපුර කන්න කියලයි.

ස්වාභාවිකවම සම පැහැපත් කරගන්න තියෙන හොඳම විදිහ තමයි පලතුරු ආහාරයට ගැනීම. මොකද සමට අවශ්‍ය නිසි පෝෂණය ශරීරය ඇතුළාන්තයෙන්ම ලැබෙනවා නම් ලස්සනට ඉන්න ඔය කෘත්‍රිම දේවල් මොකුත්ම ඕන වෙන්නේ නැහැ. ඒ වගේම පලතුරු යුෂ විදිහට පානය කරන එකත්, බාහිරින් ආලේප කරන එකත් සමට ගුණදායකයි. අනික ඔය දවසෙන් දෙකෙන් සම පැහැපත් කරනවය කියන බහුතරයක් ආලේපනවලත් සටහන් වෙන්නේ පලතුරු සාරය අඩංගුයි කියලනේ. ඉතින් එහෙව් එකේ ඇත්තටම පලතුරු ටිකක් මූණේ ගාගත්තම මොකෝ?

හැම පලතුරකම ඒ පලතුරට ආවේණික විටමින්, පොටෑසියම්, තන්තු, මිනරල්, ප්‍රතිඔක්සිකාරක සහ ෆොලේට් කියන පෝෂණ සංඝටක අඩංගුයි. මේ කිව් දේවල්වලට අමතරව ඒ ඒ පලතුරුවල විතරක් අඩංගු පෝෂණ සංඝටකත් තියෙනවා. මේ හැම සංඝටකයක්ම අපේ සිරුරට වගේම හමේ ලස්සනටත් බොහොම වැදගත්.

පලතුරුවලින් අපේ සමට ලැබෙන වැදගත්ම පෝෂණ සංඝටකය තමයි විටමින් C. අපේ සමේ පැහැපත්කම, තදබව එයින් ගියාම ඇදෙනසුළුබව පවත්වාගන්නේ කොලැජන් ප්‍රෝටීනය කියලා මීට පෙරත් අපි කිව්වනේ. අවුරුදු 27 වෙච්චි හැටියේ අපේ සමේ තියෙන ස්වභාවික කොලැජන් නිෂ්පාදනය අඩු වෙනවා. එහෙම වුණාට කොලැජන් නිෂ්පාදනය වැඩි කරන්න විටමින් C වලට පුළුවන්. දොඩම්, ලෙමන්, ටැංජරීන්, පැණි දොඩම්, ඇඹුල් දොඩම්, ජම්බෝල, ජමනාරං ඔය පැඟිරි කුලේ එකී නොකී මෙකී හැම පලතුරකම විටමින් C අඩංගුයි. ඊට අමතරව ගස්ලබු, පේර, අන්නාසි, අඹ, රඹුටන්, මැංගුස්, දූරියන්, ඇඹරැල්ලා වගේ බොහොමයක් පලතුරුවලත් විටමින් C යම් ප්‍රමාණයකින් අන්තර්ගත වෙනවා.

විටමින් C බහුල පලතුරු වැඩිපුර ආහාරයට ගන්නවා නම් සමේ සියුම් රැළි ඇති වීම ප්‍රමාද කරගන්න අපිට පුළුවන්. ඊට අමතරව කුරුලෑ සහ ලප කැළැල් ඉක්මනටම සුවපත් කරන්නත්, සමේ විෂ ඉවත් කරන්නත් මේ පලතුරුවලට පුළුවන්.

සම වියැ‍ළෙන එකත් ගොඩක් බවලතියන්ට තියෙන ගැටලුවක්නේ. ඒ ප්‍රශ්නෙටත් විසඳුම් දෙන්න මේ පලතුරුවලට පුළුවන්. හැබැයි සමේ තෙතමනය වැඩි කරගන්න නම් වැඩිපුරම කන්න ඕනේ ජලය අධික පලතුරු. කොච්චර කිව්වත් වතුර බොන්න හොර සමහර අය ඉන්නවනේ. අන්න ඒ අයට මේක හොඳ විසඳුමක්.

ගොඩක් අය එළවලුවක් කියලා හිතුවට පිපිඤ්ඤා කියන්නේත් අන්න එහෙම ජලය අධික පලතුරක්. පිපිඤ්ඤාවල 96%ක්ම තියෙන්නේ වතුර. ඒ වගේම කොමඩු (92%), දොඩම් (87%), ස්ට්‍රෝබරී (92%), අන්නාසි (95%), තක්කාලි (93%), ඇපල් (84%) වතුර වැඩි පලතුරු.

අඹ, අන්නාසි, පීච්, දොඩම් වගේ තැඹිලි පැහැති පලතුරුවල සම පැහැපත් කරන විශේෂ පෝෂකයක් වෙන කැරොටිනොයිඩ්ස් අඩංගු වෙනවා. සමට ලස්සන කහ පැහැයකට හුරු පැහැයක් දෙන්න මේ පලතුරුවලට පුළුවන්.

සම පෝෂණය කරන්න විතරක්ම නෙමේ නිරෝගීමත් කෙස් කළඹක් ලබාගන්නත් පලතුරු ආහාරයට ගන්න එක වැදගත්. මේදය බහුල කෘත්‍රිම ආහාර ගන්න එක අවම කරලා පලතුරු කන එක වැඩි කරනවා නම් ශරීර උසට සරිලන බරක් පවත්වාගන්නත් ලේසියි.

පලතුරු කෑවම ලැබෙන තව විශේෂ වාසියක් තියෙනවා. පලතුරුවල මිහිරි රසය නිසා පලතුරු කනකොට සතුටු හෝර්මෝනයක් වෙන ඩොපමින් හොඳින් ශ්‍රාවය වෙනවා. ඒක මානසික සුවතාවයට බොහොම හොඳයි. මානසික සුවයෙන්, සතුටෙන් ඉන්නකොට ඉතින් ඕනම කෙනෙක් ඉබේටම ලස්සන වෙනවලුනේ.

සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් දවසකට පලතුරු 400g ආහාරයට ගන්න ඕනේ කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. හැබැයි ඔය ග්‍රෑම් 400g ම ගන්න ඕනේ එකම පලතුරකින් නෙමෙයි. හැම දවසකම විවිධත්වයෙන් යුතු පලතුරු වර්ග තුනක්වත් කන්න ඕනෙ.

පලතුරු කිව්වම ගොඩක් අය හිතන්නේ ඇපල්, දොඩම්, මිදි ගැන විතරයි. හැබැයි උගුරැස්ස, හිඹුටු, මාදං, වෙරළු, මොර, අනෝදා වගේ දේශිය පලතුරුවල පෝෂණයත් ඉතා ඉහළ බව අමතක කරන්න එපා.

කනවට අමතරව පලතුරු ආලේපයත් බොහොම ප්‍රතිඵලදායී කියලා කිව්වනේ.

කෙසෙල්, අඹ, ගස්ලබු වගේ පලතුරුවල මදය ආහාරයට අරගෙන ඒවගේ ලෙල්ල මූණේ අතුල්ලන්න පුළුවන්. ඒවා ඉස්සර ඉඳලා අපේ අම්මලා, අත්තම්මලා කරලා තියෙන රූපලාවණ්‍ය සත්කාර.

ලෙමන්, දොඩම්, අන්නාසි වගේ ටිකක් ආම්ලික ගතියෙන් වැඩි පලතුරු ඍජුවම සමට ගාන්න යන්න එපා. ඒවට එකකට එකක් වතුර මිශ්‍ර කරලා ආලේප කරන එකයි වඩා හොඳ. ඊට අමතරව පිටි කළ නෙල්ලි, කොමඩු, අලිගැටපේර, කෙසෙල්, අඹ වගේ පලතුරුත් සමේ බාහිර ආලේපනයට හරි කදිමයි.

පලතුරුවලින් ඉක්මනින්ම සම  පැහැපත් කරන පාන වර්ග කිහිපයක් හදාගන්න හැටි දැන් බලමු. මේ කිසිම දේකට ලුණු සහ සීනි එකතු කරන්න එපා කියලා මුලින්ම කියන්න ඕනේ. මොකද ඒ දෙකම කොලැජන්වලට හානිකරයි. ඉතින් ඒ දේවල් එකතු කරලා පලතුරු කනවට වඩා පලතුරු නොකාම ඉන්න එක තමා වැඩිය හොඳ.

අනෝදා කැබලි කෝප්පයකට පැණි දොඩම් ගෙඩියක් සහ මී පැණි මේස හැන්දක් එකතු කරලා බ්ලෙන්ඩ් කරලා පානය කරන්න.

කොළ පාට පිපිඤ්ඤා ගෙඩියකට සැල්දිරි දඬු දෙකක් සහ දොඩම් ගෙඩි බාගයක් එකතු කරලා බ්ලෙන්ඩ් කරලා පානය කරන්න.

ඇපල් ගෙඩි බාගයක්, අන්නාසි කැබැල්ලක් සහ ලෙමන් යුෂ හොඳින් බ්ලෙන්ඩ් කරලා පානය කරන්නත් පුළුවන්.

අයිස් කැට කෝප්පයකට ස්ට්‍රෝබරී ගෙඩි පහක්, බැසිල් කොළ අහුරක් සහ කෙසෙල් ගෙඩි බාගයක් මිශ්‍ර කරලා බ්ලෙන්ඩ් කරලා පානය කරන්න.

ඇඹරැල්ලා ගෙඩි තුන හතරක ඇට ඉවත් කරලා ඒකට මී පැණි, දෙහි යුෂ එකතු කරලා බ්ලෙන්ඩ් කරලා බොන්න.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි