විශේෂාංග

උඹ අයියව මගෙන් උදුරගත්තා

පීල්ලවත්තෙ නැන්දා, නුවන්තලාගේ ගමට නුවර පැත්තෙන් දීග ඇවිදින් හිටිය කෙනෙක්. හැඩරුව, කතාබහ, වචන අපෙ අම්මලාගෙ වගේමයි කියලා පළවෙනියට දැකලා කතා කරපු දවසෙම මට හිතුණා.

නුවන්තලාගෙ පැත්තෙ සමහර වචන, අපේ පැත්තට වඩා වෙනස්. මම ගියපු අලුතම කියන වචනවලට යාළුවො විහිළුකෙරුවෙ හිනාවෙවී. ඒත් පීල්ලෙවත්තෙ නැන්දටයි මටයි හැමදේකම ගැලපුමක් තිබුණ කියල මට දැනුණා.

බුදුන්ගෙ දෙවියන්ගෙ පිහිටෙන් දුවට වැඩි කරදරයක් නොවී දරුවා ලැබෙයි. බය වෙන්න එපා.

මම දකින හැමදාකම උන්දැගෙ කටින් ඔය වචන ටික පිටවෙන එක පුරුද්දක් වගේ වුණා. නුවන්තගෙ නංගිගෙන් හා අම්මගෙන් වුණ හිත් රිදවීම් හැම එකක්ම දැනගෙන හිටියත්, කවදාවත් ඒ ගැන මගෙන් ඇහුවෙ නෑ. සමහර විට හිතන්න ඇති ඔය දේවල් තව සැරයක් මතක් කරල මගෙ හිතට ළතැවිල්ල ගේන්න ඕන නෑ කියලා. මං වෙලාවකට මොනවහරි කියන්න ගියත් හෙමිහිට ඒ කතාව වෙන පැත්තකට හරවලා,

දුව හිත කලබල කරගන්න එපා. ඒ මිනිස්සු ඔන්නෙහේ ඕන එකක් කියාගත්ත දෙන්. ඉස්සරවෙලා සීරුවට අපි ඔය බරෙන් නිදහස් වෙලා ඉමුකො. ඔය කියන කරන දේවල් දුව බාරගත්තෙ නැතුවම එයාලටම තමයි බාරගන්න වෙන්නේ. දුව දැන් දරුවා ගැන විතරක් හිතන්න.

ඉස්සර අපෙ අම්මලා කියන්නේ ළමයි හම්බවෙන්න ඉන්නකොට තරහෙන්, ක්‍රෝධයෙන් ඉන්න එපා කියලා. එතකොට ළමය කැත වෙනවලු. ඉපදුණාම ළමයත් අම්මට වද කරනවලු.

ඇත්තටම මගෙ හිතේ එහෙම වෛරයක්, ක්‍රෝධයක් කවදාවත් තිබුණෙ නැහැ. තිබුණෙ වික්ෂිප්ත බවක් විතරයි.

තක්ෂලා රණ්ඩුවට ආව හැම වාරෙම කිව්වෙ,

මං තනිවුණා. උඹ මගෙන් අයියව උදුරගත්තා කියලමයි.

අයියෙකුයි, නංගියෙකුයි විතරක් පවුලෙ ඉන්නකොට ලොකු සහෝදර බැඳීමක් තියෙන්න පුළුවන් තමයි. යාළුවො වගේ ඉන්න අයියලා නංගිලා දැකලත් තියෙනවා. තාත්තෙක් වගේ නංගි බලාගන්න අයියලත් දැකල තියෙනවා. ඒත් සහෝදරයෙක්ගෙ විවාහය සහෝදරියෙකුට මේ තරම් දරුණු මානසික පීඩාවක් වුණේ කොහොමද?  මේක මට මහ හතරබීරි කතාවක් වුණා. හිත ඇතුළෙ අප්‍රසන්න හිතුවිලි ඉපදෙන්න වුණා. නුවන්ත කියන්නේ මේ කතාවලට රණ්ඩුවලට හේතුවක් නෑ කියලා. නැන්දම්මා කියන්නෙ තක්ෂලා හිතේ වේදනාවට කෑ ගහනවා කියලා. මාමණ්ඩි කියන්නෙ ඕකිට පිස්සු දුවේ කියලා.

මම කොච්චර සන්සුන් වෙන්න හැදුවත් මේ වෙන දේවල් හින්ද මගෙ හිත හැමවෙලේම තිබ්බෙ තිගැස්සිච්ච ගතියකින්. කුස තුළ ඉන්නෙ පුංචි ප්‍රාණියෙක් කියල මතක් කරන්න වගේ එයාත් වේගෙන් උස් පහත් වෙන්න ගන්න වෙලාවලුත් වැඩි වුණා. එහෙම අතපය උස් පහත් කරන වෙලාවට කුසේ වම් පැත්තෙ හම මැදෙනවා වගේ වැඩිපුර රිදෙන්න ගත්තා.

දවස් ගාණක් අතු නොගෑව මිදුල පුරාම අඹ කොළයි, කහ පාට ඇඹරැල්ල කොළයි විසිරිලා ගිහින් තිබුණා. ඒ වුණත් ඉදල අරන් ගිහින් අතුගාන්න තරම් හිතක් තිබුණේ නෑ.

නැන්දම්මා හිටියෙත් නංගිට යටත්වෙලා වගේ. එයා මොන දේ කිව්වත් නැන්දම්මා ඒක කරන්න බලාගෙන හිටියා. මාවත් ඒ විදිහට නටවන්න මුල්ම දවස්වල එයා මහ ගොඩක් උත්සාහ කෙරුවා.

ඔයා මං කියන දේ කරන්න. මේක කරන්න. මෙහෙම කරන්න. අල හොදි එපා, පරිප්පු හදන්න. අරහෙ යන්න එපා. උන් එක්ක හිනාවෙන්න එපා.

ඉවසගෙන ඉඳලා බැරිම තැන මම ඇහුවෙ,

ඇයි මං ඔයා කියන දේ කරන්නෙ? කියලා විතරයි, ඒ වචන ටික එයාට නිකන් ගැරඬියාට භූමිතෙල් ගැහුව වගේ වුණා.

හා එහෙමද මැණිකෙලාගෙ තියෙන මහන්තත්වෙ තාම එහෙමයි නේද? හොයි බලමුකො ඕව කොච්චරකල් මෙහෙ තියාගෙන ඉීද කියලා.

මටනම් කිසිම මහන්තත්තකමක් තිබුණෙ නෑ. ඒත් එයාගෙ චර්යාවට මගෙ වචන ටිකෙන් හොඳටම රිදුණ බවනම් මට දැනුණා. එදා තමයි මම මුලින්ම හිතුවෙ එයාලත් එක්ක පෑහෙන්න නොයා මගෙ පාඩුවෙ ඉන්නවා කියලා.

ඉඩම් අයිතියක් ගැන නංගි කියපු කතාව නුවන්තගෙ හිත හොඳටම පාරවල තිබුණා. පවුලෙ එකම පිරිමි දරුවා වෙච්ච නුවන්ත ඉඩකඩම් ගැන ගේ දොර ගැන අයිතිවාසිකම් කියන්න කොයි වෙලාවකවත් උත්සාහ කෙරුවෙ නැහැ. මහගෙදර අම්මටයි, තාත්තටයි, නංගිටයි ඉන්න ඉඩ ඇරලා මහගේ ළඟින්ම වෙනම ගෙයක් හදන්න හිතලා තිබුණෙ නුවන්ත තමන්ගෙ පාඩුවේ ඉන්න කැමති වුණ කෙනෙක් හින්දා. එදා හැන්දෑවෙ නුවන්ත ඉඩමෙන් කොටසක් එයාට ලියල දෙන්න කියලා තාත්තට කිව්ව කියලත්, තාත්ත ඒකට කැමතිවුණා කියලත් කිව්වෙ නිදාගන්න ගියාට පස්සෙ.

පහුවදා නුවන්තටයි මටයි ඇහැරුණේ අපෙ ගෙදර ඉස්සරහ ජනෙලේ වීදුරු ස්ලාං ස්ලාං ගාලා එක දිගට බිම වැටෙන සද්දෙ ඇහිලා.

 

ප්‍රියංකා නානායක්කාර