විශේෂාංග

පිළිකාවක් අරන් අහසට යන්න හදන හේලී

හෙලෝ මේ හේලි ආර්සෙනෝව්ද කතා කරන්නේ?

ඔව් මං හේලි තමයි.

අපිට ඔබේ කතාව දැනගන්න ලැබුණා. ඔබේ කතාව අහද්දි අපට තේරුණේ එකම දෙයයි. ඒ ඔබ කොතරම් ධෛර්යසම්පන්න තරුණියක්ද කියන එක. ඒක නිසා ඔබට වටිනා අවස්ථාවක් ලබාදෙන්නයි අපි කතා කළේ.

ඇමෙරිකාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙන් විසිනව හැවිරිදි හේලි ආර්සෙනෝව්ට ඒ දුරකතන ඇමතුම පැමිණියේ මීට ටික දිනකට කලිනි. එහිදී ඔහු ඇයට අපූරු යෝජනාවක් කළේය. ඒ මේ වසර අවසනදී ඇයට අභ්‍යවකාශගත වීමේ දුර්ලභ අවස්ථාවක් ලබාදීමට ඔහුගේ සමාගම තීරණය කර ඇති බවත්, ඇගේ කැමැත්ත ලැබේනම් ගමන සුදානම් කළ හැකි බවත්ය.

ඇත්තටම ඒ කතාව අහලා මට පුදුම හිතුණා. ඒක කොයිතරම් නම් දුර්ලභ අවස්ථාවක්ද? ඉතින් මට වැඩිය හිතන්න ඕන වුණේ නෑ. ඒක නිසා මං ඔහුගේ යෝජනාවට එකපයින්ම කැමතිවුණා.

ඇමෙරිකාවේ සාමාන්‍ය පවුලක ඉපදුණු හේලි සාමාන්‍ය තරුණියක් නම් නොවේ. ඇය කුඩා කල පටන්ම ඉතා දරුණු පිළිකාවක් එක්ක ඔට්ටු වෙමින් සිටින තරුණියකි. ඇයට වැළඳී තිබුණේ දරුණු අස්ථි පිළිකාවකි. ඒ පිළිකාව කොතරම් දරුණුද කිවහොත් ඇගේ පාදවල තිබූ අස්ථි ඉවත්කර කෘතිම අස්ථි යොදන්නට පවා වෛද්‍යවරුන්ට සිදුවී තිබුණි. මේ හේතු කාරණා නිසාම ඇයට ජීවිතයේ වැඩි කාලයක් ගතකරන්නට සිදුවුයේ එරට ශාන්ත ජූඩ් නමැති රෝහලේය.

මට වයස අවුරුදු දහයේ ඉඳන් මං ඉන්නේ රෝහලේ. පිළිකාව වෙනුවෙන් දිගටම බෙහෙත් කළා. අන්තිමේ මං ඒ රෝහලේම සේවයේ යෙදෙන්න තීරණය කළා. දැන් මං එහි වෛද්‍ය සහායිකාවක් විදිහට සේවය කරනවා.

ඒත් තමන් පිළිකා රෝගියෙක් බව සිතමින් ඇය කොයිම මොහොතකවත් හඬාවැටුණේ නැත. හඬන්නට ඕනා තැන්වල පවා ඇය කළේ කඳුළු සඟවාගෙන සිනාසීමයි.

මේ දිරිය වීරිය ඇති කෙල්ලට අභ්‍යාවකාශයට යන්නට වරමක් ලැබෙන්නේ මේ අතරය. ඒ දුලභ අවස්ථාව ඇයට හිමිවූයේ ඊලොන් මක්ස් නම් ව්‍යාපාරිකයා විසින් බිහිකළ ‘ස්පේස් එක්ස්’ (Space X) සමාගම හරහාය. ඔවුන් නිෂ්පාදනය කර ඇති ‘Falcon 9’ නම් රොකට්ටුව 2022 වසර අවසානයේදී අභ්‍යවකාශයට යැවීමට සූදානම්ය. ඉතින් එහි ඇති ආසන හතරෙන් එකක් හේලිට දෙන්නටයි ඔවුන් කටයුතු කර ඇත්තේ. මේ අතර ‘Falcon 9’ රොකට්ටුවේ ප්‍රධාන අණදෙන නිලධාරීයා වන 38 හැවිරිදි ප්‍රකෝටිපති ව්‍යාපාරික ජාඩ් අයිසාන්මන් පවසා සිටියේ මෙවන් දුර්ලභ අවස්ථාවක් හිමිවූ හේලි සැබෑම වාසනාවන්තියක් බවයි.

පිළිකා රෝගියෙක් වුණත් මං ජීවිතය දිහා අලුත් ඇහැකින් බලපු නිසා මට මේ අනගි අවස්ථාව ලැබුණා කියලයි මං හිතන්නේ. ඒ වගේම මං දන්නවා පිළිකා රෝගයට සාර්ථකව මුහුණදුන් මට අභ්‍යවකාශ ගමන එතරම් අමාරු වෙන එකක් නෑ කියලා.

ලෝක ඉතිහාසය තුළ කිසිඳු දිනෙක පිළිකා රෝගියෙක් අභ්‍යාවකාශයට ගොස් නැත. ඇතැම්විට ඒ නාසා ආයතනය එවැනි අවදානමක් ගන්නට සුදානම් නොවූ නිසා විය හැකිය. නමුත් ‘ස්පේස් එක්ස්’ (Space X) නම් සමාගම පෞද්ගලික එකක් නිසා ඒ දුර්ලභ අවස්ථාව හේලිට ලැබී ඇත.

දැන් දැන් පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම් ප්‍රසිද්ධ වීම නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. කොහොමත් මං මේ ගමනට එකපයින්ම කැමතියි.

සිනාමුසු මුහුණින් එහෙම කියන්නේ හේලිය. මේ දිනවල ඇය අභ්‍යවකාශයට යාම සඳහා දිගින් දිගටම පුහුණුවීම් සිදුකරයි. ඒ අතරවාරයේ ඡායාරූප සඳහා පෙනී සිටින්නටද ඇය දක්වන්නේ මහත් උනන්දුවකි.

මේ වසර අවසානයේදී මං අභ්‍යාවකාශගත වෙනවා. එදාට මං ගැන රටම කතා කරයි.

ඇය කියන කතාව නිවැරදිය. මන්ද ඇය අභ්‍යාවකාශගත වෙද්දී එය ඇය උපන් ඇමෙරිකාවට පමණක් නොව මුළු මහත් ලෝකයටම කතා කරන්නට සිදුවෙන මාතෘකාවක් වෙනු ඇත. ඒ ඇය එම ගමන යන්නේ දරුණු පිළිකාවක්ද සමඟින් වෙන නිසාය. එපමණක්ද නොව හේලි එම ගමන ගියොත් ඇය පිටුපස තවත් වාර්තාවක් ලියැවෙන්නට සූදානම්ය. ඒ අභ්‍යවකාශය තරණය කළ ළාබාලතම ඇමෙරිකානු ජාතික කාන්තාව ලෙසිනි. ඉතින් මේ අතිදුර්ලභ වාර්තා දෙකම හේලිගේ නම ඉදිරියේ ලියැවෙන්නට තවත් ඇත්තේ මාස කීපයක් පමණි.

රුවන් එස්.සෙනවිරත්න