විශේෂාංග

අලින්ට කරන්ට් වැදුනම ඇතින්නියන්ට දුවන්න හිතෙනවද?

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය දෙස් විදෙස් සියල්ලන්ගේ ගෞරවයට ආදරයට පාත්‍ර වූ සංස්කෘතික අංගයකි. එහි ගමන් ගන්නා අලි ඇත්තුද කාගේත් විශේෂ අවධානයක් දිනාගනිති. ඔවුන් පෙරහරේ රැගෙන යාම වෙනුවෙන් කැපවන අය එමටය. පෙනෙන්නට සිටින්නේ ඇත්ගොව්වා පමණක් වුණාට මේ අලි ඇතුන් වෙනුවෙන්ම සේවයේ යෙදුණු තවත් බොහෝදෙනෙක් ඇත. පශු වෛද්‍ය සේවයද ඉන් ප්‍රධාන තැනක් ගනී. මහාචාර්ය අශෝක දංගොල්ලටද ඇසළ පෙරහර අලුත් අත්දැකීමක් නොවේ. ඒ ඔහු නිරන්තරයෙන් ඊට දායක වන බැවිනි. මෙම කතාවට පාදක වූ සිදුවීමද ඔහුගේ අත්දැකීමකි.

පෙරහර ආරම්භ වන්නේ ශ්‍රී දළදා මාලිගාවෙනි. ඒ සඳහා වෛවර්ණ ඇඳුමෙන් සහ විදුලි බුබුලින් සැරසුණු අලි ඇතුන් වාරය එළැඹෙන තුරු වලාකුළු බැම්ම ආසන්නයේ පෙළට රඳවා තැබීම සාමාන්‍ය සිරිතය. එක්තරා පෙරහර සමයක දිනක් පෙරහර ආරම්භ වී වැඩි වේලාවක් ගත නොවීය. අඩ පැයකට පමණ පසු මහා කලබලයකි. තරුණ අලියෙකු ක්ෂණිකව ඉතා වේගයෙන් මහමළුව දෙසට දිවීමට පටන්ගෙන ඇත. මහාචාර්ය දංගොල්ල එය නිරීක්ෂණය කළේය. ඒ අනුව ඔහුද ඒ දෙසට දිව්වේය.

මහමළුව බැතිමතුන්ගෙන් පිරී ගොසිනි. මහාචාර්යවරයාට කළ යුත්තක් සිතා ගැනීමට නොහැකි විය. සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇතැයි යන්න සිහිපත් කරන දෙයක් මහාචාර්ය දංගොල්ල දුටුවේ එම අවස්ථාවේදීය. වෙලාවේ හැටියට එය මහත් වාසනාවකි. වේගයෙන් දුවන අලියාගේ වල්ගයේ ඇත්ගොව්වා එල්ලී සිටී. අලියා නොනවත්වා දුවයි. මහමළුවේ සිටි කිසිවකුට හෝ කිසිඳු බඩු භාණ්ඩයකට හානි නැත. අලියා දිව්වා පමණි. දිවීම මහමළුවට පිවිසෙන දොරටුව තෙක්ය. එතැනදී අලියා යළි හැරුණේය. නැවත දිවීම ඇරඹීය. චිත්‍රපටයක් මෙන් එය නරඹනවා හැර වෙනත් කිසිවක් කිරීමට තරම් කාලයක් මහාචාර්ය දංගොල්ලට නැත. ඇත්ගොව්වා දක්ෂයෙකි. අලියා ගසක් යටින් දුවන විට හෙතෙම ක්‍රියාත්මක විය. වහාම දම්වැලෙන් ගසට තද කර අලියා බැඳ ගැනීමට ඔහුට හැකි විය. කලබලය එතැනින් නිමය.

සිද්ධියට හේතු වූ කරුණු සොයා බැලීමට මහාචාර්ය දංගොල්ල කටයුතු කළේ තත්ත්වය සමනය වීමෙන් පසුවයි.

කලබලය ඇති කර තිබෙන්නේ ඇතින්නකි. විචිත්‍රවත් ලෙස සැරසුණු ඇය සන්සුන්ව සිට ඇත. වලාකුළු බැම්ම අසලට වී සිය අවස්ථාව එළැඹෙන තෙක් ඈ රැඳී සිට ඇත්තේ ඉවසීමෙනි. ඈ පූර්ණ අන්ධභාවයෙන් පෙළෙන්නියක වේ.

නමුත් ඇයට ඉදිරියෙන් සිටියේ තරුණ අලියෙකි. තරුණකමට නිකන්ම ඉන්නට බැරිවුණු එම අලියා වලාකුළු බැම්මේ ඇද තිබූ විදුලි රැහැන් හොඬින් ස්පර්ශ කර තිබේ. එහිදී ඔහුට විදුලි සැරයක් වැදී ඇත. ඉන් එම අලියා තිගැස්සී ගියේය. ඉන් කලබලයට පත් අන්ධ ඇතින්න දුවන්නට වූවාය. කෙසේ වෙතත් පෙරහරටනම් ඉන් කිසිඳු බාධාවක් නොවීය. එය නොනැවතී ඉදිරියට ගියේය. කිසිවකුට හානි නොවීමද වාසනාවකි.

රෂ්නිකා ලියනගේ