විශේෂාංග

පොඩිමැණිකෙ කට අරිනකොට කාටවත් සල්ලි ගැටගහගෙන ඉන්න බැරිලු

කාව්‍යකරණය පිළිබඳව අපේ රටේ ඉතිහාසය අවුරුදු දහසකටත් එහා අතීතයට දිව යන්නේය. එදා සීගිරිය නැරඹීමට පැමිණි ඇත්තෝ කවි ලියුවේ සීගිරි පවුරේය. ඒ ක්‍රි.ව.700ක තරම් එපිටදීය. පසුකලෙක එය සීගිරි කැටපත් පවුර විය. කෝට්ටේ යුගයේදී ශාස්ත්‍රීය අංශයට බරවූ සිංහල කවිය මාතර යුගයේදී පොදුජන හදවතට වඩාත් සමීපවිය. එදා තොරණේ විරිඳුව, හිටිවන කවි මඩුව, කවි කොළය, කවි පත්තරය හරහා සිංහල කවිය ජනප්‍රිය සාහිත්‍යාංගයක් බවට පත්විය. හිටිවන කවියට ජීවන දුන් එදා මෙදාතුර අපේ රටේ සිටි කවීන් අතර වසර පනහක්ම කවි කී කිවිඳියක් අපට හමුවුණාය.

මම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඹරගම කියන සුන්දර ගම්මානයේ තමයි ඉපදුණේ. මූලික අධ්‍යාපනය ලැබුවේ බඹරගම කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඒ කාලේ ශිෂ්‍යත්ව විභාගය බැලුවේ ලකුණු අසූවෙන්. මට ලකුණු හැත්තෑනවයයි. නමුත් මම කොහොමහරි පල්ලේබෝවිල මහා විද්‍යාලයට ඇතුළත් වුණා. වෙලෙන්, ඔයෙන්, ඇලෙන්, දොළෙන් එතෙර වෙලා හැතැම්ම දෙකක් විතර පයින් යන්න ඕනෙ. පාන්දර ගෙදරින් පිටත්වෙලා යාළුවොත් එක්ක, ගුරුවරුත් එක්ක බොහොම විනෝදයෙන් පාසල් යනවා.”

එහෙම කියන්නේ දශක පහක් තොරණේ කවි කියා පසුගියදා රාජ්‍ය කලාභූෂණ සම්මානයෙන් පුද ලද පොඩිමැණිකේ වික්‍රමසිංහ කිවිඳියයි.

කවි කියන්නට හිත ගියේ පල්ලේබෝවිල විද්‍යාලයේ බුද්ධාගම ඉගැන්වූ සිරිරත්න කැකුළන්දල ගුරුතුමා නිසා බව ඇය අදත් සිහිපත් කරන්නේ කෘතගුණ මුසුවය.

සිරිරත්න ගුරුතුමා හැමදාම පන්තියට එන්නේ කවියක් කියාගෙනය. ඒ හිටිවන කවිය කියන්නේ තමාට යැයි ඇය නිතරම සිතුවාය. එයින් කවියට තව තවත් ඇගේ හිත ගියාය. පන්තියේදී කවි පදයක් දෙකක් ලිව්වාය. හිටිවන කවියක් කොහොමහරි ගැටගහගත්තාය.

පාසල් කාලයේ කවි ගායනා තරඟවලට පාසල නියෝජනය කරමින් වැඩියෙන්ම ඉදිරිපත් වූයේ පොඩිමැණිකේය. බොහෝවිට එම තරඟ පැවැත්වෙන්නේ නුවරඑළියේය. පාසලේ ඥානසේන මානවසිංහ ගුරුතුමන් පියකු සේ තමාව තරඟ සඳහා කැඳවාගෙන යන ආකාරය පොඩිමැණිකේට තවමත් හොඳහැටි මතකය. ඒ යන හැම වාරයකම ගුරුතුමා යන්නේ නාරං පෙති සීනි බෝල ගොට්ටක් අරගෙන එය එකින් එක ඇයට කන්නට දෙමින්ය. ගිය හැම දවසකම පාසලට ජයග්‍රහණයක් රැගෙන එන්නට ඇය අතපසු නොකළාය.

දවසක් උදලුමොට පන්සලේ හාමුදුරුවන් වැඩම කරලා හිටියා අපේ ගමේ දානෙකට. එතකොටත් මම ටික ටික කවි කියනවා කියලා උන්වහන්සේ දැනගෙන ඉඳලා තියෙනවා. මට එන්න කිව්වා තොරණෙ කවි කියන්න, බඹරගම ශ්‍රී බෝධි රාජේන්ද්‍රාරාම පන්සලට. ඔය ගැට ගගහා කවියක් දෙකක් කිව්වාට තොරණක හිටිවන කවි කියන්න පුළුවනෑ. එතකොට මට අවුරුදු පහළොවක් විතර ඇති. තාත්තත් එක්ක ගියා. එදා තිබුණේ වෙස්සන්තර ජාතක තොරණ. එදා විරිඳු කියන්න ඇවිත් තිබුණේ සෝමපුර කවියා. හරි ප්‍රසිද්ධ කවියෙක්. එතුමා කවි කියනකොට මට හරියට ආසා හිතුණා. මමත් ඉතින් තොරණ ළඟට කිට්ටුවෙලා මයික් එක ඉල්ලගෙන ගැට ගගහා කවි කීපයක් කිව්වා. එදා තමයි මම පළමු වරට තොරණක කවි කිව්වේ. ඒක දැකපු ගමේ එක්කෙනෙක් කිව්වාලු මොටද ඔය ළමයාට දුන්නේ කියලා. ඒ වුණාට අදටත් මම ගමට ගිහින් කවි කියනකොට එයාට කඳුළු වැටෙනවා.”

එදා පටන් පොඩිමැණිකේ හිටිවන කවි කියන පොඩි ළමයා විය. ලැබෙන අවස්ථාවන් මගනොහැර හිටිවන කවිමඩු, තොරණ ආදියේ කවි කියන්නට ගියාය. එහෙම වුණත් පාසලේ ඉගෙනුම් වැඩ අතපසු කර නොගන්නට ඇය වගබලා ගත්තාය. ඒ හැම ගමනකම ඇයගේ පසුපසින් හිටියේ තාත්තාය. කවි කියන ළමයාව ගෙන්වා ගැනීමට එකල බොහෝ තොරණ සංවිධායකවරුන් කැමැත්තක් දැක්වූහ. ඒ කවි කියන පොඩි ළමයාව බලන්නටත්, කවි අසන්නටත් රසිකයින් වැල නොකැඩී එන නිසාය.

ඒ කාලේ මට මුලින්ම රබානක් දුන්නේ ඉස්කෝලේ ඩී.එම්.වීරසිංහ සංගීත ගුරුතුමිය. සිංහල භාෂා තරඟවලින් හැමදාම දිනන්නෙ මමනේ. දවසක් පංතියට මාව හොයාගෙන ඇවිත් මට රබානක් දුන්නා. දැන් වගේ වළලු දාපු ලොකු රබානක් නෙමෙයි. ඒත් එදා වීරසිංහ ගුරුතුමියගෙන් අතට ගත්ත රබාන තමයි අදත් අවුරුදු පනහක් පහුකරලත් මගේ කලා ජීවිතය ඉදිරියට ගෙනියන්නේ.”

පස්සෙන් පහුවෙනවිට පොඩිමැණිකේ සම්බන්ධ වෙන්නේ සුමනා මුදන්නායක කිවිඳියගේ ඇසුරටය. ඇය නුවර රෝහලේ සේවය කළ හෙදියක්ය. ඇයට ආරාධනා ලැබෙන කවි මඩුවලට පොඩිමැණිකේ නැතිවම බැරිවිය. ඇය සමඟ පොඩිමැණිකේද රට වටා කවි මඩුවලට, තොරණවලට ගියාය.

මේ අතර කඳුරට කවි සමාජයට ඇය බැඳෙන්නේද සුමනා මුදන්නායක කිවිඳියගේ මගපෙන්වීම අනුවය. නෙළුම්දණ්ඩේ විමලසාර හිමියන්, රටේමුල්ලේ මුදන්නායක, මාතාගොඩ විමලසිරි, අනුරාධ ඒකනායක, ඕවිස්සේ ප්‍රේමවර්ධන, මද්දුමබණ්ඩාර රැකව, තලතා දසනායක ආදී කිවි කිවිඳියන් සමඟ එක්ව නුවර කවි සමාජයේ නිලතල දරමින් ක්‍රියාකාරී මෙහෙවරක නිරතවන්නේ කවිය නගාසිටුවීම වෙනුවෙන්ය. නුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවට දෙමසකට පමණ වරක් කවි කිවිඳියන් පනහක් හැටක් රැස්වූ විට සභාව එකම රසගුලාවක් බවට පත්වන්නේය. ඔවුන් පාසල් දරුවන් අතර කවිය ජනප්‍රිය කරවීම සඳහා පාසල් කවි මඩු පැවැත්විමත්, කවි තරඟ මෙන්ම කවි සංවාද පැවැත්වීමත් ඒ අතරින් කිහිපයක්ය. දොරගමුව විද්‍යාලයේ මෙන්ම මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේද මෑතක කවි මඩු පැවැත්වූහ. කඳුරට සේවයේ පද්‍යාවලිය වැඩසටහනට ඇය දායකවන්නේ තවත් කවි කිවිඳියන් කිහිපදෙනෙකු සමඟය. එයට අමතරව අස්ගිරි පිරිවෙණ, නුවර කච්චේරිය, ගැටඹේ පුස්තකාලය වැනි තැන්වල වාර්ෂිකව පැවැත්වෙන කවි මඩු සඳහා සහභාගි වන්නේද බොහෝ කැමැත්තෙන්ය.

පහුගිය කාලේ පුරාම මම මාරස්සන, දෙල්තොට, දාරාව, හඟුරන්කෙත, වලපනේ, හොරණ, පිළියන්දල, සූරියවැව, ඇඹිලිපිටිය ඔය ආදී ප්‍රදේශවල කවි කියන්න ගිහින් තියෙනවා. ඔය කොරෝනා අවුරුදු දෙක හැරෙන්න කවදාවත් මට වෙසක්, පොසොන්වලට ගෙදර ඉන්න ලැබිලා නැහැ. ඒකට ටිකක් දුකයි ඉතින්. මම එනකොට දරුවෝ තනියම වෙසක් කූඩු, බකට් පත්තු කරලා ඉවරයි. මා ගැන දන්න හැමෝම කියන්නේ පොඩිමැණිකේ කට අරිනකොට කාටවත් සල්ලි ගැට ගහගෙන ඉන්න බැහැ කියලයි. පියසේන රතුවිතාන කවියා මාව දැක්කම කියන්නේ නුවරින් ආපු මැණිකේ ඇස් දෙක වාගේ කියලයි.”

පොඩිමැණිකේ කියන්නේ වර්තමානයේ ළමා පරපුර ගුණධර්මවලින් බොහෝ ඈතට ගොස් ඇති බැවින් ඔවුන් සුමගට ගැනීම සඳහා තමා කලාකාරිනියක් විදියට විරිඳු උපයෝගී කරගන්නා බවය. තොරණ විස්තරේට අමතරව වෙලාවෙන් බාගයක්ම විරිඳු කියන්නේ ළමයින් වෙනුවෙන්ය.

අවුරුදු පනහක් පුරා රට වටා ගියද කිසිඳු දවසක තොරණකින් ඉල්ලා මුලක් ලබාගෙන නැත. ඒ වගේම කිසිම දවසක මුදලක් පොරොන්දු වී තොරණක කවි කියන්නට ගොස් නැත. එකල දවස් හයක් හතක් කවි කීවාම රුපියල් දෙතුන් සියයක් රැගෙන ආපසු ආ අවස්ථා බොහෝය.

තොරණක කවි කියන්න ගියහම ගම්මුන්ගෙන් හොඳට සැලකිලි ලැබෙනවා. තවමත් අපේ ගම්වල මිනිස්සුන්ගේ ළඟ ආගන්තුක සත්කාරය හොඳට තියෙනවා. මම හැමදාම යන්නේ ඔසරිය ඇඳලා, අගස්ති මාලය දාලා නුවර මැණිකේ කෙනෙක් විදියටයි. තොරණ ළඟ ගෙදරක තමයි නවාතැන් දෙන්නේ. කෑමබීම, ඉඳුම් හිටුම් ඉහළම සත්කාර ලැබෙනවා. පොල්ගස්ඕවිට පන්සලට ගියහම ආගන්තුක කාමරයක් තියෙනවා. හැමදාම උදළුමොඩ තොරණට ගියහම පිටහවත්තේ අම්මා තමයි සතියම මාව බලාගන්නේ. කන්න කැමති කෑම හදලා දෙනවා. සමහර තොරණවලට ගියාම ගමේ ඈයෝ කෑමබීම, රසකැවිලි පවා ගෙනත් දෙනවා. කාන්තාවක් විදියට රට වටේ යනකොට බයක් නැත්තෙමත් නැහැ. ඒත් මාත් එක්ක කවි කියන්න යන අය මාව හොඳින් ආරක්ෂා කරගන්නවා. මේතාක් රට වටේ කොහේ ගියත් තවම කිසිම කරදරයක් වෙලා නැහැ.”

 

සිරි සදහම් සුවඳ ගලා බුදුරැස් විහිදෙන                           කාලය

නැමි නැමි මගෙ සිරි දළදා සමිඳුට කරනෙමි                  ආලය

සිහිකොට සරසවි කුමරිය මෙමට වරම් දෙන               තාලය

මේ තොරණට පළඳන්නෙමි මගේ විරිඳු මල්                   මාලය

 

චූටි දුවේ මේ අහන්න ඔයා හොඳට ඉගෙන ගන්න

එපා නරක වැඩ කරන්න දියණියෙ ඔබේ නම රකින්න

හිමිදිරියෙම අවදි වෙන්න දත් මැද මුව සෝද ගන්න

දෙමව්පියන් පා වඳින්න පාසල වෙත දුවල යන්න

 

බෝධිසත්ව චරිතයත්, සම්බුදු චරිතයත් එකට කැටිකොට ගත් සුචරිත සමාජයක් ගොඩනැගීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තොරණ කලාව ලාංකේය අපට දායාද වන්නට ඇත. ඇසට බුදු සිරිත පෙන්වීමත්, කණට බුදුගුණ ඇසෙන්නට සැලැස්වීමත් සිතට ශ්‍රද්ධාව, මෛත්‍රිය, කරුණාව වැනි ගුණාංග දැනෙන්නට සැලැස්වීමත් තොරණ තුළින් අපේක්ෂා කෙරේ. තොරණේ විරිඳු ගායනාවන් කෙරෙන්නේද ඒ උතුම් අරමුණු පෙරදැරිවය.

 

පොඩිමැණිකේ කවි කියන්නට අමතරව ලියන කවි එකතු කර කවිපොත් කිහිපයක්ද එළිදැක්වූවාය. ‘අඳුර නිවන සඳ’, ‘දෙව්දුව’, ‘ජාතක කාව්‍යංජලී’ ඇය ලියූ කවිපොත් කිහිපයක්ය.

සම්බුලා ජාතකය නිරූපිත තොරණට ඇය කියූ කවියක් තවමත් මතකය.

 

පතිවත ගැන ගුණදම් ගැන තොරණේ විස්තර වන්නේ

සම්බුලා ජාතකය තමයි මේ තොරණෙන් පෙන්වන්නේ

 

දරුවෝ කියනවා දැන් අම්මා නිදි මරන්න යන්න එපා කියලා. තොරණවලට යන්න එපා කියලා. ඒත් මට තවමත් විරිඳු කවි නොකියා බැහැ. මේ වතාවෙත් මම යනවා. විරිඳු කියන්නත්, කවි කියන්නත් අද අලුත් පරම්පරාවක් හැදෙන්නේ නෑ. එහෙම ආශාවක් තියෙන අයත් ඇත්තේ නැහැ. ඒකට පෙර පින් කරලා තියෙන්න ඕනෙ. බොරු, කේළම්, හිස් වචන, මිනිස්සු රවට්ටන දේවල් කටින්න කියන්න හොඳ නැහැ. කවදාවත් මම කවියක හිස් වචන කියන්නේ නැහැ. මගේ කටින් වචනයක් පිටවුණොත් ඒකෙ මොකක්හරි අර්ථයක් තියෙනවාමයි. නැත්නම් කවි මඩුවල ඕනෙතරම් හරුප කියාගන්නේ. මම දැකලා තියෙනවා සමහර තොරණවල විරිඳු ශිල්පීන් අවකැපෙන කතා, විහිළු තහලු, නොවැදගත් වචන කියන අවස්ථා තියෙනවා. අපි කලාකාරයොනේ. එහෙම කරන්න හොඳ නැහැ. ඒකෙන් වෙන්නේ තොරණ බලන්න ආව මිනිස්සු බැණ බැණ ආපහු යන එක. සමහරු මත්වෙලත් කවි කියනවා. එතකොටයි එහෙම වෙන්නේ.”

පොඩිමැණිකේ කිවිඳිය පැමිණි ගමන්මග තුළ ඇය ලබාගත් ඇගයුම්, පැසසුම් සම්මාන රැසකි. කාව්‍ය කෝකිල, කාව්‍ය ශ්‍රී සම්මාන මෙන්ම රාජ්‍ය කලාභූෂණ සම්මානයෙන්ද පිදුම් ලබා ඇත්තේය.

ඉන්දික සංජීව විතාන