විශේෂාංග

යාළු වෙන්න ෂෝක් කෙල්ල කියලා හැමෝම කියපු නිසා මං මාත් එක්කම විවාහ වුණා

ගෙවීගිය එකොළොස්වැනි සෙනසුරාදා ෂාමා බින්දු සම්ප්‍රදායානූකූල ඉන්දීය මනාලියක ලෙස පතිකුලයට පිවිසුණාය. ඉන්දීය විවාහ චාරිත්‍රවල අනිවාර්ය අංග වන හල්දි (කහ සමඟ තෙල් මිශ්‍රකොට මනාලියගේ සිරුරේ තවරනු ලබන චාරිත්‍රය), සන්ගීත් (සංගීතය හා නර්තනය) වැනි සම්ප්‍රදායන් සියල්ල අඩුවක් නැතිව ඉටුකෙරුණු මෙම විවාහ මංගල්‍යයට ෂාමා සැරසී සිටියේ දෑත්වල මෙහෙන්දිද, හිසේ සාදිලිංගම්ද තවරා සම්ප්‍රදායානූකූල හින්දු මනාලියක ලෙසය.

බටහිර ඉන්දීය ගුජරාත් ප්‍රාන්තයේ වදෝදරා නගරයේ පිහිටි දෙවොලකදී ඇය හින්දු සම්ප්‍රදායට අනුව පූජනීය ගිනි මැලය සත්වරක් පැදකුණු කොට විවාහ චාරිත්‍ර අකුරටම ඉටුකළාය. විවාහ මංගල්‍යයෙන් පසු දෙසතියක මධුසමය ගතකිරීමට ඇය තෝරාගෙන තිබුණේ සුන්දර ගෝවා පුරවරයයි. හැමතින්ම සම්ප්‍රදායික හින්දු විවාහ මංගල්‍යයක් වූ ෂාමාගේ විවාහයේ එක් කැපී පෙනෙන අඩුවක් තිබිණි. ඒ මනාලයෙකු නොමැති වීමය. ඇත්තවශයෙන්ම ෂාමා පතිකුලයට පිවිසුණේ මනාලයෙකු සමඟ නොව තමා සමඟමය. ඉන්දියාවට තවමත් අලුත් දෙයක් වුවද, බටහිර රටවලට නම් මෙවැනි ‘තනිකඩ විවාහ’ හෙවත් ‘ඒකල විවාහ’ තවදුරටත් අමුත්තක් වන්නේ නැත.

තමා තමා සමඟම විවාහ දිවියට එළැඹීමේ අසාමාන්‍ය සංකල්පය මුල්වරට ලොව හමුවේ ගෙනහැර පෑවේ මීට විසි වසරකට පමණ පෙරදී ‘සෙක්ස් ඇන්ඩ් සිටි’ නමැති ප්‍රකට ඇමරිකානු රූපවාහිනි නාට්‍ය මාලාවේ එන කැරී බ්‍රැඩ්ෂෝගේ චරිතය විසිනි. ප්‍රහසන නාට්‍ය මාලාවක් වුවද එතැන් සිට මෙම ඒකල විවාහ සංකල්පය ලොව පුරා කෙතරම් ශීඝ්‍රයෙන් පැතිර ගියාද යත් තනිකඩ කාන්තාවන් සිදුකරගත් එවැනි විවාහ සියගණනක් ගැන ලොව පුරා මාධ්‍ය වාර්තා කොට තිබිණි. වරක් එසේ තමා සමඟම විවාහයට එළැඹි එක් තිස්තුන් හැවිරිදි බ්‍රසිලීයානු නිරූපණ ශිල්පිණියක් විවාහයෙන් තෙමසකට පසු තමාගෙන්ම දික්කසාද වූයේ උණුසුම් පුවත් මවමිනි.

ලොව පුරා ව්‍යාප්ත වූ මෙම ප්‍රවණතාවට ඔබින පරිදි වෙළඳපොළක් නිර්මාණය කිරීමට ව්‍යාපාරික ප්‍රජාව පවා උත්සුක වුණේ තනිකඩ මනාලියන්ට විශේෂිත වූ මංගල ඇඳුම්, මුදු, මංගල ඇරයුම්පත් හා මංගල ප්‍රතිඥා පවා නිර්මාණය කරමිනි. බටහිරට මෙබඳු ඒකල විවාහ අරුමයක් නොවුණත් ඉන්දියාවට, ලංකාවට තවමත් මේවා අරුමැසි සිදුවීම්ය. ෂාමා බින්දු සිය තනිකඩ විවාහය ගැන නිවේදනය කළ සැණින් රට පුරා ඒ ගැන පිල් බෙදුණු මතවාද මතුවෙන්නට පටන්ගත්තේ එබැවිනි. ඉන්දියාවේ සිදුවන්නට නියමිත පළමු තනිකඩ විවාහය ලෙස සැලකෙන ෂාමා බින්දුගේ විවාහය, ඉන්දියාවේ සේම ආසියාකරයේත් මෙබඳු තනිකඩ විවාහ ප්‍රවණතාවක් ඇතිවීමට හේතුකාරක වනු ඇති බව බොහෝ විද්වත්හු පෙන්වා දෙති.

බ්ලොග් රචිකාවියක සේම සමාජ විද්‍යාව පිළිබඳ උපාධි අපේක්ෂිකාවකද වන බින්දු පවසන්නේ තමාගේ තනිකඩ විවාහ තීරණයට සිය දෙමව්පියන්ගේ මෙන්ම සමීපතමයන්ගේද ආශිර්වාදය හිමිවූ බවයි. සමාජයේ මති මතාන්තර කවරක් වුවද තමාගේ මෙම තීරණයේදී තම දෙමව්පියන් තමන් සමඟ හිඳීම විශාල ශක්තියක් වූ බවද විසිහතර හැවිරිදි ෂාමා බින්දු පවසන්නීය.

මගේ අම්මා නම් කිව්වා ඔයා කවදත් අලුත් දේවල් කරන්නනේ පුරුදු වෙලා හිටියේ. මේකත් ඒ වගේම දෙයක් වේවි කියලා. කොහොමටත් මගේ දෙමව්පියෝ හරිම විවෘත මනසක් තියෙන අය. එයාලා කිව්වේ ඔයාට හොඳයි කියලා හිතෙන දේ කරන්න කියලයි.

ඉකුත් සෙනසුරාදා වදෝදරා නගරයේ පැවැති ෂාමා බින්දුගේ තනිකඩ විවාහ මංගල්‍යයට ඇගේ දෙමව්පියන්, පවුලේ සාමාජිකයින් සේම යහළු මිත්‍රාදීන්ද සහභාගිව සිටියහ.

මගේ යාළුවෝ ඒ කාලේ කියන්න පුරුදුවෙලා හිටියා ඔයා නම් යාළුවෙන්න කියාපු ගැහැනු ළමයෙක් කියලා. මම එයාලට කිව්වා ඒ නිසා තමයි මම මාත් එක්කම යාළු වෙන්න තීරණය කළේ කියලා’’ ෂාමා කියන්නේ සිනාසෙමිනි. තමා තමා සමඟම මෙලෙස විවාහ වීම මගින් තම ජීවිතය ‘ස්ව ආලය’ වෙනුවෙන් කැපකිරීමට බලාපොරොත්තු වන බව ඇය පවසන්නීය. තමා හා විවාහ වීම මගින් තම ජීවිතයේ ඉතිරි කාලයම තමාගේ පෞද්ගලික සතුට වෙනුවෙන් කැපකරමින්, වඩාත් ජීවයෙන් පිරුණු, ඇතුළාන්තයෙන්ම උද්යෝගිමත් පෞද්ගලිකත්වයක් වර්ධනය කරගැනීමට හැකි බවයි ෂාමාගේ විශ්වාසය වන්නේ. තමා එතෙක් කල් පිළිගැනීමට මැලිවූ තමාගේ කායික, මානසික හා භාවාත්මක දුර්වලතා පවා තමා පිළිගන්නා බවත්, තමාගේ සුන්දරත්වය සේම අසුන්දර ලක්ෂණ පවා තම අනන්‍යතාවයේ කොටසක් ලෙස පිළිගැනීමට එකඟ වන බවත් මෙම විවාහය මගින් ඇඟවෙන බව ෂාමා පවසන්නීය.

කෙසේවුවද ඇගේ මෙම තනිකඩ විවාහ සංකල්පය සම්බන්ධයෙන් සමාජයේ විවිධ ස්ථරවල පුද්ගලයන් දරන්නේ විවිධ අදහස්ය. නිදසුනක් ලෙස චන්දිගාර් නුවර PGIMER රෝහලේ හිටපු පීඨාධිපතිනිය සේම මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියකද වන වෛද්‍ය සවීතා මල්හෝත්‍රා නම් පවසන්නේ ඇත්තෙන්ම ඉතාම අසාමාන්‍ය සංකල්පයක්වූ මෙම තනිකඩ විවාහ සම්ප්‍රදාය තමාව විස්මයට පත්කළ බවයි.

ඉන්දීය සමාජ මාධ්‍ය ඔස්සේද මේ වනවිට ෂාමාගේ ඒකල විවාහය සම්බන්ධයෙන් කතාබහක් ඇරඹී තිබේ. ඇගේ මෙම ක්‍රියාව සෙස්සන්ටද ආදර්ශයක් වී ඇති බවට ඇතමුන් ප්‍රශංසා කරත්දි, තවත් අයට ෂාමාගේ මෙම තීරණය තේරුම්ගැනීමට අසීරු සංකල්පයක් බවට පත්ව තිබේ. තනිව ජීවත්වීමට තීරණය කරන්නේ නම් විවාහයක් සිදුකරන්නේ කුමටද යන්න ඒ බොහෝදෙනෙකු පෙළෙන ගැටලුවයි. ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ එවන් එක් කාන්තාවක් ඒකල විවාහ ගැන ප්‍රසිද්ධියේ විස්මය පළකර තිබුණේ දෙදෙනෙකුගේ එක්වීමකින් තොර විවාහයක් කුමටදැයි විමසමිනි. තවත් අයෙකු ෂාමාට චෝදනාවක් එල්ලකර තිබුණේ ඇය පවුල් බර කරට ගැනීමේ වගකීම පැහැර හැරීමට උත්සාහ දරන්නියක ලෙස හංවඩු ගසමිනි. මේ අතර ඒකල විවාහ යනු අසාමාන්‍ය, ඛේදාන්තයක් බවත්, එය අසීමාන්තික ආත්ම රාගය නිරූපණය කරන්නක් බවටත් චෝදනා කළ අයද නැතුවාම නොවේ. කෙසේවුවද මෙලෙස තමාව විවේචනය කරන්නන්ට ෂාමාට කියන්නට ඇත්තේ එකම දෙයක් බවයි ඇය පවසන්නේ.

‘‘මම විවාහ වෙන්නේ කාත් එක්කද කියන එක තීරණය කරන්නේ මමයි. ඒ පිරිමියෙක්ද නැතිනම් මාවමද කියන එක සම්පූර්ණයෙන්ම මගේ තීරණයක්. මම මා හා ම විවාහ වීම මගින් උත්සාහ කරන්නේ ඒකල විවාහ කියන සංකල්පය හැකිතාක් සාමාන්‍යකරණය කරන්නයි. මම ලෝකෙට කියන්න උත්සාහ කරන්නේ මේකයි. අපි මේ ලෝකෙට එන්නේ තනිවම. යන්නෙත් තනිවමයි. ඉතින් තමාට තමන්ට වඩා ආදරය කරන්න පුළුවන් කාටද?

රුක්ලන්ති පෙරේරා