මම ඔහු සමඟ නැටුවේ කැමැත්තෙන් වුණාට අනිත් හැමදේම වුණේ අකමැත්තෙන්
2013 වසරේ එක්තරා දිනක දහඅට වියැති ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක වන සැක්සන් මුලින්ස් මිතුරියන් කිහිපදෙනෙකු සමඟ නිවසින් පිටතට ගියේ හොඳම මිතුරියකගේ උපන්දින සාදයට යාමේ අපේක්ෂාවෙනි.
“සාදය තිබුණේ සිඩ්නිවල සමාජ ශාලාවක. පාර්ටි එක පටන් අරන් ටික වෙලාකට පස්සේ අපි හැමෝම නටන්න පටන්ගත්තා. ඊටපස්සේ එතැන හිටපු තරුණ පිරිමි ළමයෙක් මට නටන්න කතා කළා. ඔහු ඒ සමාජ ශාලාවේ හිමිකරුවගේ පුතා බවත් කිව්වා. ඇත්තටම මටත් නටන්න අකමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා මම ඔහුත් එක්ක නැටුවා. ඊටපස්සේ ඔහු මට ටිකක් කතා කරන්න එතැනින් එළියට යමු කිව්වා…”
සැක්සන් ඔහු සමඟ සමාජ ශාලාවෙන් පිටතට යාමට එකඟ වූයේ ආගන්තුකයාගේ කිළුටු සහගත අරමුණ පිළිබඳව අවබෝධයකින් නොවේ.
“ඔහු මාව සිඩ්නිවල පාළු පාරක් ගාවට එක්කරගෙන ගියා. ඊටපස්සේ ඔහු මාව අනවශ්‍ය ලෙස අතපතගාන්න පටන්ගත්තා. ඒ වෙලාවේ මම ගොඩක් බය වුණා. මට මගේ යාළුවෝ ගාවට යන්න ඕනේ කියලා මම ඔහුට කිව්වා. ඊටපස්සේ ඔහු තව තවත් ආක්‍රමණශීලී වුණා. බය වැඩිකමට ඒ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ කියලා මටත් තේරුණේ නැහැ. ඒ නිසා මම ඔහු කියපු දේවල් කළා.”
සිදුවීමෙන් මාස තුනකට පසු සැක්සන් දෙමව්පියන්ගේද සහාය ඇතිව එම තරුණයාට විරුද්ධව නඩුවක් ගොනු කළාය. එහිදී අධිකරණය විත්තිකරුට වසර පහක සිර දඬුවමක් නියම කළේය. තමාට යුක්තිය ඉටු වූ නිසා සැක්සන් සතුටු වුවත් ඇගේ ඒ සැනසිලිදායක සිතුවිල්ලට වැඩි ආයුෂ නොතිබුණේ විත්තිකරු නඩු තීන්දුවට එරෙහිව නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුවය.
“ඒ වෙලාවේ මම ඔහු කිව්ව දේවල් කරපු නිසා මම ඔහුත් එක්ක එකතු වුණේ කැමැත්තෙන් කියලා විශ්වාස කළ බව ඔහු අධිකරණයට කිව්වා. නැහැ දෙවියනේ! මම එහෙම කළේ කැමැත්තෙන් නෙමෙයි. බය වැඩිකමටයි. අතවරයකදි ගොඩක් කාන්තාවන් ඔය තත්ත්වයට පත්වෙනවා. හැම කාන්තාවක්ම තමන් ආදරේ කරන කෙනා එක්ක කරන පළමු එකතුවීම ගැන හීන මවනවා. ඒත් අඳුරන්නෙවත් නැති මනුස්සයෙක් අතින් මට එදා ඒ වුණු දේ කොහොමටත් හොඳ දෙයක් නෙමෙයි.”
ඇයට සිදුවූයේ යහපතක් නොවන බව අධිකරණය තේරුම් නොගත් නිසාදෝ නැවත නඩු විභාගය අවසන් වුණේ චූදිතයා නිදොස්කොට නිදහස් කරමිනි. චූදිතයා නිදහස් වූයේ ඔහුගේ ප්‍රකෝටිපති පියාගේ මුදල් නිසා බව එහිදි ඇතැමුන් පැවසූ අතර, චූදිතයාට ආසන කිහිපයකට දුරින් අසුන් ගෙන සිටි සැක්සන්ට මවගේ උරහිසේ හිස හොවා කඳුළු සලනවා විනා වෙනත් කරන්නට දෙයක් නොතිබිණි.
හිතේ ඇති වූ තුවාලයේ රිදුම දිනෙන් දින වැඩි වනවා විනා අඩුවක් නොවූයෙන් 2018 වර්ෂයේ එක්තරා දිනකදී සැක්සන් තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි වැඩසටහනකට හෙළි කිරීමට තීරණය කළාය. එහි ප්‍රතිඵලය ලෙස ඒබීසී ගුවන්විදුලි නාලිකාවේ ෆෝ ෆෝකස් වැඩසටහන හරහා ඇගේ කතාව ප්‍රචාරය වූ අතර, එය ඕස්ට්‍රේලියානුවන් විශාල සංඛ්‍යාවකගේ සිත් කම්පනයෙන් ඇළලී ගිය කතාන්දරයක් විය.
මෙම නඩු තීන්දුවෙහි යම් වරදක් තිබෙන බව අදහස් කළ නීතීඥයෝ නැවත වතාවක් නඩුව විභාග කිරීමට තීරණය කළෝය.
“මේක දිගින් දිගටම ඇදගෙන යන එකෙන් කාටවත් සෙතක් වෙන එකක් නැහැ කියලා මට හිතුණා. මේක අතඇරලා දාන්න හිතුණු වාරත් අනන්තයි. ඒත් මේක මම වගේම තව කාන්තාවකට නැවත නැවතත් වෙන්න පුළුවන් නිසා මම මගේ සටන අතඇරියේ නැහැ.”
මේ සිද්ධිය හරහා වසර ගණනාවක් ඇය ගෙන ගිය සටන පසුගිය සතියේ නිමා වූයේ ඕස්ට්‍රේලියානු අධිකරණය ස්ත්‍රී දූෂණය සම්බන්ධව නව නීති සංස්කරණයක් හඳුන්වාදෙමිනි. සැක්සන්ගේ සිදුවීම හේතුවෙන් ලිංගික කැමැත්ත පිළිබඳව පනතට පසුගිය නොවැම්බරයේ අවසර ලැබුණු අතර, පසුගිය දිනෙක එය සම්මත විය. අභිමත ලිංගිකත්ව නීතිය නමින් හඳුන්වන මෙම නීතියට අනුව කිසිවකු තමාගේ ලිංගික කැමැත්ත ප්‍රකාශ කළ යුතුය. ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ප්‍රකාශිකා නිතිකා වයිට් පවසන්නේ මෙවැන්නක් ය.
“මේ නීතිය ගෙනාවට පස්සේ කෙනෙක්ට ‘එයා ඒකට කැමැත්තෙන් හිටියා කියලා මට හිතුණා’ වගේ කතා කියන්න බැහැ. අදාළ කෙනා කෙළින්ම තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළේ නැත්තම් ඒක ඍජුවම ස්ත්‍රී දූෂණ වරදක් යටතට ගන්න පුළුවන්. ඉතින් මේක ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී දූෂණ වංගුවක් පහු කරලා තියෙන බව කියන්න ඕනේ.”
මේ වනවිට ජාත්‍යන්තරවද මෙම නීති සංශෝධනයට ඇගයීමක් එක්කර තිබුණද ඇතැම් විචාරකයන් පවසන්නේ මෙය ඉතා භයානක නීති සංශෝධනයක් බවයි. මේ ඒ ගැන ප්‍රවීණ නීතීඥ මාගරට් කනීන්ගේ අදහසයි.
“ලිංගික කැමත්ත ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. මේක ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිතවලට නරක විදියට බලපාන්න පුළුවන්. ඔවුන්ගෙන් ප්රතිලාභ ලබාගන්න බොහෝදෙනා බලාගෙන ඉන්නවා. හිටපු රග්බි ක්‍රීඩක ජාරිඩ් හයිනේට නිස්කාරණේ ඉදිරිපත් කළ ස්ත්‍රී දූෂණ නඩුව එයට හොඳම උදාහරණයක්.”
එහෙත් සැක්සන් මෙවැනි මතවලින් අධෛර්යට පත් වී නැත. සංශෝධනයට විරුද්ධවාදී මත දරන්නේ නීතී සංශෝධනය නිසා ඉදිරියේදී කාර්යබහුලත්වය වැඩි වේ යැයි බියෙන් පසුවන නීතීඥවරුන් බව ඇය පවසයි.
“දැනට සිදුවෙලා තියෙන අධ්‍යයනවලට අනුව ඕස්ට්‍රේලියාවේ කාන්තාවන් හය දෙනෙක්ගෙන් එක් අයෙකුත්, පිරිමින් විසිපස් දෙනෙකුගෙන් එක් අයෙකුත් ලිංගික බලහත්කාරකම්වලට ලක්වෙනවා. හැබැයි ඒ අතරින් නීතීයේ පිහිට පතන්නේ ඉතාම සුළු පිරිසක්. ඒ අතරිනුත් නඩුව අවසන් කරන්නේ 10%ක් විතරයි. ඉතින් මේ වෙනස් වීමෙන් කාගේ හරි ජීවිතයකට යහපතක් වේවී. ඒක මට ඇති.”
දැන් ඇගේ අරමුණ වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ලිංගික අඩන්තේට්ටම් වළක්වාලීම සඳහා පෙරමුණ ගැනීමය. මේ වනවිටත් සැක්සන් මුලින්ස් ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර පරීක්ෂණ රාජ්‍ය නොවන සංවිධානයේ අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරන්නීය. පනත සම්මත වූයේ මෑතකදී බැවින් චූදිත ලූක් ලාසරස් නමැත්තා වරදකරුවෙකු ලෙස ඔප්පු කිරීම සැක්සන්ට නොහැකි විය. තමා වෙනුවෙන් නැතත් අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් නොබියව සටන් කරනා සැක්සන්ලා අපේ රටෙත් පහල වනවා නම් තවදුරටත් මල් කැකුළු නොතැලෙන්නට නීතීරීතීන් ගොඩනැගෙනු ඇත.
වසන්ත විජේරත්න