මං හරිම දුක් මහන්සියෙන් තැනකට ආපු කොල්ලෙක්
“මට ඕන මම උගන්වන දරුවන්ගේ හදවතේ ජීවත්වෙන ගුරුවරයා වෙන්නයි. ඒ වගේම ගුරුවරයෙක් දරුවෙකුට විෂය කරුණු විතරක් කියාදීලා මදි. ජීවිතය ගැන උගන්වන්නත් ඕන.”
ඒ හඬ නර්තන ගුරු දමිත් නිලංගගේය. එසේ කීවාට මේ ගුරුතුමා කවුදැයි කියන්නට කවුරුත් මීට පෙර දැනසිටියේ නැත. එහෙත් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සැරිසැරූ අපූරු වීඩියෝව මේ වනවිට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා ඇති හෙයින්, මේ කියන ගුරුතුමා ගැන මතකයට නගාගැනීම අසීරු නොවේ.
මේ කියන දමිත් නිලංග ගුරුතුමා නර්තනය උගන්වන පාසල් දෙකකි. මාතර සිරි රතනජෝති විද්‍යාලයත්, ගාල්ල පරගොඩ ශ්‍රී ගුණරතන ප්‍රාථමික විද්‍යාලයත් එම පාසල්ය. ඉකුත් පොසොන් පොහොය නිමිත්තෙන් ගුණරතන ප්‍රාථමික විද්‍යාලය මගින් පොසොන් කලාපයට නාට්‍යයක් සංවිධානය කළේය. ඒ බටේමුල්ල ජාතික පාසල කේන්ද්‍ර කරගනිමින් පිහිට වූ ‘රංග පොකුර’ නාට්‍ය කණ්ඩායමේ සහයෝගයෙනි. එහිදී වේදිකාගත කෙරුණේ තිලමුට්ඨි ජාතකයයි. එය සම්පත් රූපසිංහ ගුරුතුමාගේ අධ්‍යක්ෂණයකි. ඊට නර්තන අංග හතරක් ඇතුළත් විය. ඊට සහාය දුන්නේ නර්තන ගුරු දමිත් නිලංග ය. කෙතරම් හොඳට තම පුංචි පැටවුන්ට පුහුණුවීම් කළද, ඔවුන් වේදිකාවට ගොඩවන මොහොතේ, ගුරුවරයාගේ හිතේ තිගැස්මක් ඇතිවීම නොවැළැක්විය හැකිය. එහෙත් එම හෘද ස්පන්දනය ඉහළ යාම හමුවේ වුව ඔහු අපේක්ෂා කරන්නේ දරුවන්ගේ සාර්ථක නර්තනයයි. ඉතින් ඔහුට වේදිකාව අභියස නිශ්චලව සිටින්නට නොහැකිය. දරුවන්ගේ අත් ඉහළට එසැවෙද්දී ගුරුවරයාගේ අත්ද ඉහළට එසැවෙන්නේ නර්තනානුකූලවය. ඊළඟට ඔහු වටයක් කැරකැවෙයි. සිනහවෙන්, අංගචලනයෙන් ඔහුගේ ප්‍රාර්ථනාව දරුවන්ගේ සාර්ථක ඉදිරිපත් කිරීමය.
සමාජ මාධ්‍ය තුළ වේගයෙන් එහා මෙහා ගියේ මෙම වීඩියෝවය. සොඳුරු හිතක් ඇති ආදරණීය ගුරුවරයෙකුට තම ගෝල බාලයින් වෙනුවෙන් බොහෝ සාර්ථක වූත් සුන්දර වූත් මතක ඉතිරි කළ හැකිය. මාතර සිරි රතනජෝති විද්‍යාලයේ නර්තන ආචාර්යවරයා වන ඔහු පරගොඩ ශ්‍රී ගුණරතන විද්‍යාලයට තම සේවාව ලබාදෙන්නේ අමතර වැටුපකට නොවේ. ඒ හිත හොඳකමටම දෝ, එක් රැයකින් දෙස් විදෙස් ලාංකිකයින්ගේ නොමද ප්‍රසංශා ලබන්නට තරම් ඔහු භාග්‍යමත් විය.
මේ වීඩියෝ පටය නැරඹූ බොහෝදෙනෙකුට අපූරු ද්‍රවිඩ චිත්‍රපටයක් සිහියට නැගිණ. ඒ 2008 වසරේදී තිරගත කෙරුණු ඒ.එල්. විජේ අධ්‍යක්ෂණය කළ ‘ලක්ෂ්මි’ චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතය වන ‘ලක්ෂ්මි’ ලෙස පෙනී සිටියේ දිත්යා නම් දියණියයි. ඇයගේ චරිතයට අනුව නර්තන තරඟයක අවසන් වටයට ඉදිරිපත් වන්නේ හදිසි අනතුරකින් ශ්‍රවණාබාධිතව සිටියදීය. ඇගේ නර්තන ආචාර්යවරයා ලෙස පෙනී සිටින්නේ විශිෂ්ට නර්තන ශිල්පියකු වන ප්‍රභූ දේවා ය. එය සැබෑම ආදරණීය ගුරුවරයකුගේ චරිත නිරූපණයකි. හඬ නොඇසෙන කුඩා නර්තන ශිල්පිනියට තාල තැබිය නොහැකිය. එනිසා ප්‍රේක්ෂකාගාරයේ සිටින ගුරුවරයා ඇයට ඊට සහාය දක්වයි. ඔහුගේ චලනයන් අනුව තරඟ වදින ලක්ෂ්මි තරඟය ජයගන්නේ සංවේදී, ආදරණීය ගුරු-ගෝල සබඳතාව මෙන්ම කලාවේ සැබෑ ගුණය හදවතේ රඳවමිනි. දමිත් නිලංග ගුරුවරයාගේ චලනයන් සහිත වීඩියෝවද හදවතට එක් කරනුයේ එම හැඟීමයි.
දරුවන්ගේ ඉදිරිපත් කිරීම ගැන දමිත් නිලංග ගුරුවරයාගේ හිතේ ඇදෙන සතුට එම මොහොතේ ඔහුගේ ඉරියව්වලින්, මුහුණින් අපූරුවට පිළිබිඹු වෙමින් තිබුණි. එය තවත් තරුණයෙකුගේ ජංගම දුරකතනයේ පටිගත වන බව ඔහු දැන සිටියේ නැත. නිපුල් විකසිත තම ජංගම දුරකතනයෙන් ගත් වීඩියෝව මුහුණුපොතට එක්කළේ ගුරු සෙනෙහස ගැන කියන්නටමය.
“ඒ වීඩියෝව දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ. අපි ගම්වල සාමාන්‍ය කලාකාරයෝ. ඉතින් මේකෙ වීව්ස් ලක්ෂය, දෙක, තුන විදියට වැඩිවෙද්දි හිතාගන්න බැරි වුණා. තිබුණු කමෙන්ට්ස් ඔක්කොම වගේ කියෙව්වා. එතකොට ගුරුවරයකු වීම පිළිබඳ ආඩම්බරය හිතට දැනුණා. අද කාලේ දකින සමහර දේවල් එක්ක මිනිස්සුන්ට තව කෙනෙකුව මේ විදියට අගයන්න පුළුවන්ද කියලා පුදුම හිතුණා. තව කෙනෙකුගේ වටිනාකම මතු කරන්න තරම් ලස්සන හදවත් තියෙන අය ඉන්නවා. ඒවා කියවලා මට ඇඬුණා. මොනවා හරි අයිටම් එකක් කළාට පස්සෙ කෙනෙක් අගය කළාමත් අපි සතුටු වෙනවනේ. මෙතනදිත් ඒ වගේම සතුටක් දැනුණා.”
දමිත් නිලංග කුඩා කාලයේ සිටම නැටුමට ඇල්මක් දැක්වීය. එහි ආරම්භය පෙර පාසලෙනි. හය ශ්‍රේණියේදී රසිකා වික්‍රමාරච්චි ගුරුවරියගේ මග පෙන්වීම ඔහුට හිමි විය. උපමාලිකා, රෝෂිණී, බෝධීනී සහ ජයලත් මෙන්ම සෞන්දර්ය විශ්වවිද්‍යාල ගුරු පරපුරේ උපදෙස් ලැබූ දමිත් නිලංගට මවක මෙන් අදටද ළඟින්ම සිටින්නේ නදීෂා ගුරුවරියයි.
“දුකක් වුණත් සතුටක් වුණත් මම මුලින්ම කියන්නෙ නදීෂා මිස්ට. ඇය මා ගැන සතුටු වෙන්නෙ ඇගේම දරුවෙකු ගැන වගේ. මගෙන් ඉගෙනගන්න දරුවන්ට මටත් ඒ වගේ හදවතේ සිටින ගුරුවරයකු වෙන්නයි ඕනෙ. ගුරුවරයකු උගන්වන්නෙ විෂය විතරක් නෙමේ. ජීවිතය උගන්වන්න හැකි වෙන්න ඕනෙ. පන්තියක හතළිහක් ඉන්නවනං ඒ හැමෝම එකිනෙකාට වෙනස්. ගුරුවරයා එය හඳුනාගැනීම වැදගත්. එතකොට ඒ ගුරුවරයා දරුවන්ගෙ හදවතේ ඉන්නවා. මම ගුරු වෘත්තියට එකතු වෙන්නෙ 2019 වසරේ. එහෙත් ඊට කලින් ඉඳලම නැටුම් උගන්නනවා. ‘මිහිනුල’ කියන මගෙ රංගායතනයෙත් පුංචිම දරුවගෙ සිට ලොකු දරුවනුත් ඉන්නවා. එතැන ඉන්න ලොකු දරුවො තමයි මගෙ ශක්තිය. හැමදේටම “සර් අපි මෙහෙම කරමු. මෙහෙම හොඳයි නේද” කියලා දිරිමත් කරන්නෙ ඔවුන්. ඒ වගේම මගෙන් ඉගෙනගන්න සමහර දරුවන්ට නර්තනය කියන්නෙ ජීවිතේ. ඔවුන්ට බොහෝ සමීප වෙන්න මට හැකිවෙලා තියෙනවා. ඒ වගේම තමයි මම ගුරු වෘත්තියේ නියැලෙන පාසල් දෙකෙන්ම මට ලැබෙන්නෙ ලොකු සහායක්. ඒක මගේ වාසනාව. පාසල් දෙකේම ආචාර්ය මණ්ඩලවල කකුලෙන් අදින අය නෑ. හැමෝම උදව් කරනවා. ශ්‍රී ගුණරතන ප්‍රාථමික විද්‍යාලයේ පද්මසිරි විදුහල්පතිතුමා සහ ධම්මිකා නියෝජ්‍ය විදුහල්පතිනිය මගේ හොඳම අභිප්‍රේරකයින්. කරන හැමදේකදිම ගොඩක් දිරිමත් කරනවා. මගේ දෙමාපියන් වගේම මගේ ලොකු අම්මවත් මතක් කරන්න ඕනෙ. මොකද මාව හදාගත්තෙ ලොකු අම්මා. පිරිමි දරුවන් තුන්දෙනෙකු සහ ගැහැනු දරුවකු එකම පවුලක සිටීම අසුබ ලකුණක් බවට තියෙන මතය නිසා මාව කුඩා කාලයේම ලොකු අම්මාට ලබා දෙනවා. ඇය වගේම ලොකු තාත්තා මාව කිසිම වෙනසක් නැතුව රැකගත්තා. ඒ වගේමයි මගේ ජීවිතේ ඕනම වෙලාවක මාව වැටෙන්න නොදී අල්ලගන්න තව තුන්දෙනෙක් ඉන්නවා. ක්‍රිෂාන්, හෂිනි සහ ලක්ෂාන් කියන මගේ මිතුරු මිතුරියන්. මේ හැමෝම මා එක්ක සිටින එක මට ලොකු ශක්තියක්.”
මිනිසුන්ගේ ජීවිත වෙත ඇතැම් වෙලාවට වාසනාව ගලා එන්නේ නොසිතූ වෙලාවටය. දමිත් නිලංගට මේ වීඩියෝව එවැන්නකි.
“මං හරිම දුක් මහන්සියෙන් තැනකට ආපු කොල්ලෙක්. ඒ නිසා මේ ප්‍රතිචාර මට දරාගන්න අමාරු තරම්. හැමෝම දන්න කෙනෙක් වෙන්න මට ආසාවක් තිබුණා. විකසිත මල්ලි කරපු වීඩියෝව නිසා කොහෙවත් හිටපු මාව ලෝකෙ පුරා ඉන්න බොහෝදෙනෙක් දැනගත්තා. දෙස් විදෙස් ඇමතුම් විශාල සංඛ්‍යාවක් මේ ටිකට ආවා. සමහරු කිව්වා මේ වීඩියෝව ප්‍රශ්න අමතක කරන භාවනාවක් වගේ කියලා. ඒක මට සතුටක්. රඟපාන්න කැමැත්තක් තිබුණා. සමහර විට ඒකටත් අවස්ථාවක් ලැබේවි. දිවයින පුරාම අය පන්ති කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මගේ තවත් හීනයක් තමා ගුණරතන විද්‍යාලයේ පද්මසිරි විදුහල්පතිතුමා වගේ දුෂ්කර පළාතක කුඩා පාසලකට ගිහින් ඒක හොඳට දියුණු කරන එක. ජීවිතය සතුටින් ගෙවන්න හැකි දේ කරන්න උත්සාහ කරනවා. මේ සියල්ල අතර කීපදෙනෙකු ඉන්නවා ඍණාත්මක ආකල්ප දක්වන. ඒවා ගැන හිතන්නෙ නෑ. හැමදේම සතුටින් බාරගන්නවා.”
ඔහු කියන්නේ උපේක්ෂාසහගතවය.
රෂ්නිකා ලියනගේ