විශේෂාංග

ඉරට වැඳලා මුහුදටත් ආදරෙයි කියලයි මම උදේට වැඩ පටන් ගන්නේ

වෙරළ තීරයේ හමා එන පවන් රැල්ලක පහස සිත්සේ විඳින්නට බණ්ඩාර මැණිකේට ඉස්පාසුවක් නැතත්, ඈ වෙරළ තීරය හැඩ කරන්නේ රාජකාරියට එහා ගිය දේවකාරියක් සේ සිතාගෙනය.

රැල්ල වෙරළට ආදරෙයි කියන්නාක් මෙන් බණ්ඩාර මැණිකේද වෙරළට ආදරේ කරන ධෛර්යවන්ත ගැහැනියකි. මුළු වතම අව්දැල්ලට පිළිස්සී ගියත් මුහුණේ ඇඳී ඇති සිනහව ඇය පරිසරයට දක්වන ආදරයත්, සොබාදහමට දක්වන ලැදියාවත් පෙන්වන කැඩපතක් බඳුය.

මම ඉපදුණේ ගල්ගමුව ඇඹෝගම කියන ගම්මානේ. මහත්තයයි දරුවෝ දෙන්නයි එක්ක, උස්වැටකෙයියාව මෝයවත්ත ගමේ පදිංචියට ඇවිත් දැන් අවුරුදු පහළොවක් විතර වෙනවා. ජීවිතේ ගැටගහගන්න කාලෙන් කාලෙට විවිධ රැකියාවන් කළා. කැවිලි හැදුවා, ිආප්ප, කඩයප්පන් හැදුවා. කිලෝ ගාණට පිටි කොටලා විකුණුවා. මහත්තයා සිවිලිං වැඩ කළේ. එයා උඩකින් වැටිලා එකතැන් වුණාට පස්සේ, ජීවිතේ තවත් අසීරු වුණා. හැබැයි මම අතහැරියේ නෑ. 2019 අවුරුද්දේ සමුද්‍රීය පරිසර අධිකාරිය යටතේ, වෙරළේ කැලිකසළ ඉවත් කරන කාර්යයක් ලංකාව පුරාම දියත් වුණා. ඒ වෙලාවේ එක වසමකින් පස්දෙනා ගානේ වෙරළ පිරිසිදු කරන කාර්යයට එක්කරගත්තා. රියර් අද්මිරාල් රෝහණ පෙරේරා මහත්මයටයි, ඒ නෝනා මහත්මියටයි මම ස්තූති කරනවා මට මේ වගකීම පැවරුවට. ඒ වගේම දවසකට අපි පැය දෙකයි වැඩ කරන්න ඕන. ඒ කිලෝමීටරයක මුහුදු තීරයක්. හැබැයි මට මේ කාර්යය වෙනුවෙන් නියමිත වෙලාවක් නැහැ. මම දවසකට කිලෝමීටර් දෙකකට වඩා සුද්ද පවිත්‍ර  කරනවා.

ඒ රත්නායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේයි. ඇය එකතු කරන බෝතල් ඇතුළු සියලු ආකාරයේ කසළ ගෙන ආවේ ගෙදරටය. ඒ ද හිස මත තියාගෙනය. මේ  රැකියාව නිසා ඇයට මෝයවත්ත ගම්මුන්ගෙන් ඇණුම්පද අසන්නට වුණු අවස්ථාද තිබිණි. නිවෙස් හිමියාද ගෝරනාඩු කළේ වත්තේ කසළ කඳු ගොඩ ගැහෙද්දීය.

මේ වැඩේට මුලදි හරියට විරුද්ධකම් ආවා. මොකද මේ එකතු කරන කසළ දාන්න ඒ වෙනකොට තැනක් තිබුණෙ නෑ. කසළ කළමනාකරණ ආයතනයට බාරදෙනකල් ගෙදර වත්තේ ඉඩකඩ තුළ තමයි තියාගන්න සිද්ධ වුණේ. මගේ පුතා නවය වසර පන්තියේ හිටියේ. එයා මං එක්ක මගේ උදව්වට ආවම මුලදි දරුවටත් උසුළු විසිළු කළා. කොහොම වුණත් මේ ගතවුණු අවුරුදු දෙකට මම වෙරළ ලස්සන කරා වගේම, අපේ ජීවිත ගොඩගන්නත් වෙහෙසිලා කටයුතු කළා.

ඒ අතරතුර කසළ කළමනාකරණ දැනුම ලබාගත් බණ්ඩාර මැණිකේ ඒවා නිවැරදිව වෙන් කරන විදිය දැන කියාගත්තාය. ඇයට ආරක්ෂක ඇඳුම් කට්ටලයක්ද ලැබිණි. වැඩ කටයුතු පහසු කරන්නට රේක්ක සහ ප්ලාස්ටික් කොසු ආදියද ලැබිණි. දිනකට පැය දෙකක කාලයක් කිලෝමීටරයක් ශුද්ධ පවිත්‍ර කළ විට පැයකට ගෙවන මුදල රුපියල් සියයකි.

මේ වැඩේ පටන්ගත්තට පස්සේ මුදලට වඩා මම වෙරළට ආදරය කරන්න පුරුදුවුණා. මම උදේ වැඩ පටන්ගන්නේ ඉරට වැලා, මුහුදට, වෙරළට ආදරෙයි කියලා. වෙරළ තීරය වගේම මම යන මග දෙපස කාඩ්බෝඩ් කෑල්ලක්, බෝතලයක් තිබුණත් මම ඒක සුද්ද කරනවා. ඒ වගේම මුල් කාලේ මේ එකතු කරන කසළ විල්බැරෝවක දාගෙන මගින් මගට ගෙනැත් තමයි ගෙදරට ගේන්නේ.

කසළ කවර හිසේ ගෙනයාම පීඩාකාරී වැඩකි. වීදුරු බෝතල් ගෙනයන අවස්ථාවල බණ්ඩාර මැණිකේගේ හිස රිදුම් දුන් වාර තිබුණි. ඇයගේ හිසෙහි ගෙඩියක් එන්නට ඇත්තේද එම තැලුම් නිසාය.

මට නොයෙක්වර හිතුණා මේ ටික අරගෙන යන්න කරත්තයක් තිබුණනම් කියලා. ඒ වෙනුවෙන් මුදලක් එකතු කරන් හිටියත් ඒක ප්‍රමාණවත් වුනේ නෑ. කරත්තයක් තිබුණානම් දහවරක් පයින් එහාට මෙහාට යන ගමන එකවර කරගන්න පුළුවන්. ඒත් ඒකට මගක් තිබුණේ නැහැ. කොහොමහරි පහුගිය අලුත් අවුරුද්ද ළංවෙලා මම කඩේට යන්න ආවා. ඒ දරුවන්ගේ පොත්වලට කවර දාන්න ඕන කරන බ්‍රවුන් පේපර් කොළයි, ඉටි කොළයි ගන්න. මගේ පුතා වගේම දුවයි, දුවගේ දරුවොයි ඉන්නෙත් මං ළ. මොන අඩපාඩු තිබුණත් දරුවන්ගේ ඉගෙනීම ගැන තමයි මගේ හිතේ තියෙන්නේ. එදාත් ගෙදර අඩුපාඩු තිබුණා. ඒ වෙලාවේ මම දැක්කා පල්ලිය ළ බඩු බෑග් බෙදනවා. ඒ මනුසත් දෙරණින්. මටත් බඩු බෑග් එකක් ලැබුණා. ඒ වෙලාවේ මම දෙරණේ මහේෂ් මහත්තයට මගේ කරත්තෙ අවශ්‍යතාවය ගැන කිව්වා. ඊටපස්සේ ඊට යන මුදල ලබාදෙන්න කැමති වුණා. මට කිව්වා සමුද්‍රීය පරිසර අධිකාරියේ අත්සන සහිතව කාරණේ කියලා යන වියදම එක්ක ලිපියක් දෙන්න කියලා. මම කම්බියේ ඉන් බිල්පත් එක්කම වියදම් ඉදිරිපත් කළා. විශ්වාසය හැමදේටම වඩා වැදගත්. ඉතින් මට දැන් කරත්තයක් තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

දුවගේ දරුවන්ගේ ආරක්ෂකයා වී හිඳින්නේද බණ්ඩාර මැණිකේය. ඔවුන් පාසලට රැගෙන යන්නේත්, යළි ගෙදරට එක්කරගෙන එන්නේත් ඇයයි. ඒ දියණියද පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනා බැවිනි.

වරෙක සැමියා අංශභාග තත්ත්වයෙන් පෙලුණ බවත්, සිංහල වෙදකම සමඟ ව්‍යායම කරවා ඔහු හොඳ අතට පත්කරගන්නට බොහෝ වෙහෙසුණු බවද කීවාය. තමන්ටම කියා ඉඩමක් කඩමක් ගන්නට ඉතුරු කළ මුදලද ඒ ලෙඩදුක් වෙනුවෙන්ම වැය වූයෙන් ඔවුන් තවමත් දිවි ගෙවන්නේ කුලී ගෙවල්වලය. ඒ සියල්ල අතර තවමත් බණ්ඩාර මැණිකේ දිනපතාම වෙරළ තීරය ලස්සන කරන්නේ, ඒ කසළ තම ජීවිතය වාගේම පවුලේ නඩත්තුවටද සවියක් වන බැවිනි.

මාසිකව අපට රුපියල් හයදාහක් ගෙවනවා. මම ඒ පඩිය විතරක් අරන් නිකන් ඉන්නේ නැහැ. වෙරළට ගියාම බොහොම විමසිලිමත්. කුඩ්ඩෝ ඉන්නවා. වයස දහතුනේ දාහතරේ ගෑනු දරුවෝ, පාසල් ඇුම පිටින් පිරිමි ළමයි එක්ක බීච් එකට එනවා. මේ ළදි එක පිරිමි ළමයෙක් ගෑනු ළමයි දෙන්නෙක් එක්ක ඇවිත්. ඒ දරුවන්ගේ නොතේරුම්කමට හෝ මොකට හෝ ආවත් මම කෑගහලා ඒ අයව පිටත්කර හැරියා. එවැනි අවස්ථා තියෙනවා. ඒ වගේම තවත් දවසක පොඩි පිරිමි ළමයි තුන්දෙනෙක් නාන්න ඇවිත්. කවුරුත් වැඩිහිටියෝ නැහැ. මම ඒ තුන්දෙනාවත් කෑගහලා ආපහු පිටත් කරා. මොකද කාගේ වුණත් අම්මා තාත්තා කෙනෙක්ගේ දරුවෝ. කරදරයක් වුණහම අනවට හැපෙනවට වඩා එයාලා ආරක්ෂා කරන එකයි වැදගත්. සමහරු මගෙන් අහනවා මම මෙහෙම කෑගහද්දි මට මුහුද ලියා දීලද කියලා. ඒ වගේම අපි බලාගන්නං කියලා තර්ජන එන වෙලාවලුත් තියෙනවා. මම ඒක ගනන් ගන්නේ නෑ. මම මේ වෙරළට, මුහුදට ළෙංගතුයි වගේම මටත් මුහුද ළෙංගතුයි. වරක් දර කොටන් වගයක් එක්ක අපද්‍රව්‍ය ගොඩක් මුහුදේ පාවෙනවා දැකලා ඒවා ගොඩට ගන්න ගිහින් මාව කොටේක හැපිලා ගහගෙන යන්න ගියා. මට බය හිතුණත් ඊළ රැල්ලෙන් මාව වෙරළට ගෙනාවා. මම කියන්නේ අපි හො හිතින් කරන මොන දේ වුණත්, අපිට අන්තිමට ගෙනෙන්නේ ආශිර්වාදයක්.

සැබෑවටම සොබාදහමට ආදරය කරන්නන් ඒ සොබාදහම මගින්ම ආරක්ෂා කරනු ඇත. නිරන්තර වෙරළ තීරය ලස්සන කරන්නට සමුද්‍රීය පරිසර අධිකාරියත්, ෆින්ලා (PHINLA) වැනි ආයතනත් එම කාර්යයට උරදී බණ්ඩාර මැණිකෙලා වැනි කාන්තාවන් දිරිමත් කිරීම හොඳය. ඇය කියන්නේ ඉකුත් වසරේ එක්රැස් කළ කසළ ටොන් දහය, මේ වසරේ ටොන් පහළොවක් කරගන්නා බවයි. ඒ අනුව ඔබ වෙරළට මුදාහරින එක් ප්ලාස්ටික් බෝතලයක්, සිලි බෑගයක් හෝ නියමිත පරිදි බැහැර කර පරිසරයට ආදරය කරන මනුස්සයෙක් වනවා නම්, කසළවලින් ලැබෙන මුදලට වඩා බණ්ඩාර මැණිකේ ඒ ගැන සතුටු බව අපට කීවාය.

 

දීපා වසන්ති එදිරිසිංහ