මරණ පරීක්ෂණයේදී තරුණියගේ අධෝ මාර්ගයේ තිබී බෝතල් කිහිපයක් පිටතට අරන්
සකුරා මල් පිපෙන ජපානයේ සුන්දරත්වය පිළිබඳව කතා කරන බොහෝදෙනෙක් සුන්දර ‘ජුන්කෝ ෆුරුටා’ උද්‍යානය පිළිබඳව කතා නොකරන්නේ ඒ පිටුපස ඇති අසුන්දර කතාව නිසා යැයි සිතමි. මේ උද්‍යානය නැරඹීමට යන දෙනෝදාහක් දෙනා ආපසු එන්නේ ගැහැනු දරුවෙකුගේ ජීවිතයේ ආරක්ෂාව පිළිබඳව බොහෝ දේ දැන කියාගෙනය. එම උද්‍යානයේ සෑම තැනකම පාහේ ඒ පිළිබඳව දැනුවත් කරන කවි, කතා, චිත්‍ර මෙන්ම පෝස්ටරද නිර්මාණාත්මක ලෙස ප්‍රදර්ශනය කර ඇත.
මේ කතාවේ හිමිකාරිය දහඅට හැවිරිදි ජපාන තරුණියක් වූ ජුන්කෝ ෆුරුටා ය.
එවිට ඇය (1988 වර්ෂයේ) ජපානයේ යෂිකෝ මිනාමි නම් උසස් පාසලේ ඉගෙනුම ලැබූ රූමත් ශිෂ්‍යාවකි. පවුලේ එකම දියණිය වූ ඇයට මව පියා හැරුණුකොට සිටියේ අයියා කෙනෙක් සහ මල්ලි කෙනෙක් පමණි. පවුලේ පැවැති අගහිඟකම් නිසා පාසල් කාලයෙන් පසු අර්ධකාලීන රැකියාවක නිරත විය යුතු බවයි ඇය නිතරම සිතුවේ. ඒ නිසාම එක්තරා වෙළඳසැලක අර්ධකාලීන සේවිකාවක වශයෙන් සේවයට බැඳුණු ජුන්කෝ පාසලින් පසු රැකියාවට ගොස් නැවත ගෙදර ආවේ ඇඳිරි වැටුණු පසුය.
කෙතරම් අගහිඟ තිබුණත් රූමත්කමින් අඩුවක් නොවූ නිසා ඇය තරමක ආඩම්බරකාරියක්ද විය. එනිසා ඇගේ අත පතා පැමිණි බොහෝ තරුණයින්ට ප්‍රතික්ෂේපවීම්වලට වඩා වැඩි යමක්නම් හිමිවුණේ නැත. නමුත් ඉන් එක් තරුණයෙක් එම ප්‍රතික්ෂේප කිරීම් තුට්ටුවකටවත් මායිම් නොකර ඇය පසුපසම ගියේය. ඒ මියානෝ හිරෝෂි ය. වයසින් බාලයෙකු වුවද මියානෝ හිරෝෂි ඒ වනවිට ‘යකුසා’ නමින් හැඳින්වූ පාතාල කල්ලියේ සාමාජිකයෙකි. මතට දැඩිව ලොල් වී සිටි එම කල්ලිය ඒ වනවිට ස්ත්‍රී දූෂණවලටද නම් දරා සිටියේය.
ජුන්කෝගෙන් මෙසේ දිගින් දිගටම ප්‍රතික්ෂේප වීම නිසා මියනෝගේ ප්‍රේමය පසුකාලීනව වෛරයකට පෙරලී තිබිණි. ඒ නිසා හොඳින් බැරිනම් නරකින් ඇයව දිනාගන්නට ඔහු පිඹුරුපත් සැකසුවේය.
1988 නොවැම්බර් 22 වෙනිදා රාත්‍රියේ එම සැලසුම ක්‍රියාත්මක කරන්නට මියානෝ තම මිතුරෙක් වූ මිනාටෝද කැටුව නගරයේ කරක් ගැසුවේය. ඒ ජුන්කෝ රැකියාව හමාර කර පාපැදියේ නැගී ආපසු නිවස බලා යන වේලාවයි.
“ඒයි ඒයි ජුන්කෝ ටිකක් නවතින්න. මං මියානෝ. මාව අඳුරන්න පුළුවන්ද?”
අහම්බෙන් මෙන් ඇය දුටු මියානෝ එසේ කෑ ගසද්දි ජුන්කෝට එය නෑසුනු ගාණට යන්න හිත් නොදුන්නාය.
“මොකද අනේ අඳුරගන්න බැරි? මේ අපේ මියානෝනේ…”
ඇඳුනුම්කමට එසේ කතා කළා මිස ඇගේ තුන්හිතකවත් අහිතක් හෝ සැකයක් තිබුණේ නැත.
“ජුන්කෝ අනේ මට සමාවෙන්න. මං ඔයාගෙන් යාළුවෙන්න ඇහුවා. ඒත් ඔයා කැමතිවුණේ නෑනේ. කමක් නෑ. අපි යාළුවෝ වගේ ඉන්න බලමු.”
මියානෝ එසේ කියනවාත් සමඟම පිටුපසින් පැමිණි ඔහුගේ සගයා ජුන්කෝව උස්සා වාහනයට දමාගත්තේය. කිසිවක් හිතාගැනීමට නොහැකි වූ තරුණිය දියෙන් ගොඩට ගත් මාළුවෙකු සේ වාහනය තුළ ඒ මේ අත දැඟලුවද ඉන් පලක් වූයේ නැත. ඉන්පසු මිතුරන් දෙදෙනා ඇයව රැගෙන කෙළින්ම ගියේ යකුසා කල්ලියේ රහස් ගබඩාවක් වෙතය. සිදුවෙන්නට යන දෑ ඉවෙන් මෙන් දැනගත් ජුන්කෝ කිසිවක් කර කියාගත නොහැකිව මහා හයියෙන් හැඬුවාය. නමුත් ඒ ඇස්වලින් වැටුණු එකම එක කඳුළු බිඳුවක් වෙනුවෙන් හෝ මියානෝගේ හිත උණු වුණේ නැත.
එදා රාත්‍රියේ මියානෝ සහ ඔහුගේ මිතුරන් සිව්දෙනෙක් අතින්ද ඇය ලිංගික හිංසනයට ලක් විය. මෙලෙස දින ගණනක් පුරා ඇය යකුසා කල්ලි සාමාජිකයින් අතින් වරින්වර දූෂණය වූවාය.
ඒ අතරතුර නොවැම්බර් 27 වෙනිදා ජුන්කෝගේ දෙමව්පියන් ඇගේ අතුරුදන්වීම ගැන පොලිසියට පැමිණිලි කළහ. නමුත් ඒ බැව් කල්තියාම දැනගත් මියානෝ පොලිසියේ ඇස් වසන්නට තවත් උපායක් යෙදුවේය. ඒ ජුන්කෝ ලවා ලිපියක් ලියා පොලිසියට යැවීමයි. එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.
“මං ජුන්කෝ ෆුරුටා. මං මියානෝ එක්ක රහසින් ඇවිත් තැනක ජීවත්වෙනවා. ඒ නිසා මගේ අතුරුදන්වීම ගැන පොලිස් පරීක්ෂණ නතර කරන්න.”
එම ලිපියත් සමඟින් පොලිස් පරීක්ෂණ අඩාල විය. නමුත් යකුසා කල්ලියේ පාපතරයින්ගෙන් ඇයට එල්ල වුණු වධ හිංසාවන් දිනෙන් දින වැඩි වුණා මිසක අඩු වුණේ නැත. පැහැරගැනීමට ලක්වූ දින පටන්ම ජුන්කෝගේ බඩට හරිහමන් කෑමක් නොලැබුණු නිසා ඇය සිටියේ දැඩි කුසගින්නකය. නමුත් රාග ගින්නෙන් ඇවිලී සිටි යකුසා කල්ලියේ සාමාජිකයන්ට ඇගේ වේදනාව හෝ කුසගින්න ගැන වගේ වගක් තිබුණේ නැත.
වරක් ඔවුන් ඇයව සිවිලිමේ එල්ලා බඩට යකඩ පොලුවලින් පහර දුන්හ. ඇය වඩාත් අපුල කළ සිදුවීම නම් ඔවුන් දුන් පණ ඇති කැරපොත්තන් කෑමට වීමයි. මේ අතරවාරයේ තමාගේම මුත්‍රා පානය කරමින් ස්වයං වින්දනයේ යෙදෙන්නටද ඔවුන් ජුන්කෝට බල කළහ. එසේ කරන අතරවාරයේ ඇගේ යෝනි මාර්ගයට මෙන්ම ගුද මාර්ගයට ඔවුන් විදුලි බල්බ ඇතුළු කළහ. ශරීර අවයව සිගරට් කොටවලින් පිච්චූ අයද විය. පියයුරුවලට ඉඳිකටුවෙන් ඇන්න අයද විය. අවසානයේ ඔවුන් එකතුව ඇයව ශීතකරණයකද සිර කළහ. තවත් කියන්නට බැරිතරමේ වදහිංසා බොහෝමයක් මේ අසරණියට ඔවුන් ලබාදුන්හ.
සැඩ පහරට හසුව ගසාගෙන යන කල්හි තුත්තිරි ගසේත් එල්ලෙන්නාක් මෙන් මියානෝ තම සහචරයින් සමඟ දහසකුත් එකත් වධහිංසා පමුණුවද්දී ඇය නිතරම එයින් ගැලවීමට මගක් සෙව්වාය. ඔය අතරවාරයෙයි ඇයට එතැන සිටි තරුණයෙකුගේ දුරකතනයක් හමුවූයේ. ඇය එය රැගෙන පොලිසියට කතා කරන්නට උත්සාහ කරද්දීම අවාසනාවකට මෙන් මියානෝ එය දුටුවේය. යක්ෂයා ආරූඪ වූ ඔහු ඊළඟට කළේ තෙල් හැලියක් රත්කර එයින් ජුන්කෝගේ පාද පිළිස්සීමයි. එයින්ද ඈ අසීමිත වේදනාවක් වින්දාය.
ඒ 1989 ජනවාරි 04 වෙනිදාය. එදිනට ඇය පැහැරගෙන දින 44 කුත් පිරී තිබිණි. ඇයට තවදුරටත් ජීවත්වීමට ආසාවක් තිබුණේ නැත. ඒ වනවිටත් ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනකය. ඒ නිසා ඇය එකහෙලාම ඔහුගෙන් ඇයද සිටියේ මරණයයි. මියානෝ ඊට කැමැත්ත දුන්නේය. නමුත් ඒ එක කොන්දේසියක් පිටය.
“මං උඹව එකපාර මරලා දාන්නම්. ඒත් එක කොන්දේසියක් තියෙනවා. ඒ තමයි මගෙත් එක්ක උඹ මහජෝන් සෙල්ලම කරන්න ඕනේ. ඒකෙන් උඹ දිනුවොත් මං උඹව මරන්නම්…”
එය චෙස් ක්‍රීඩාවක් බඳු පහේ සෙල්ලමකි. කියූ පරිදිම ජුන්කෝ මහජෝන් සෙල්ලමෙන් ජය ගත්තාය. නමුත් පරාජය පිළිබඳව මියානෝ නැවත වරක් ඇය කෙරේ කිපුණේය. ඒ කෝපයෙන්ම ඔහු යකඩ පොල්ලක් රැගෙන තරුණියට පහර පිට පහර දෙන්නට විය. මොහොතකින් ඇය ලේ පෙරාගෙන සිහි නැතුව බිම ඇද වැටුණි. ඉන්පසු ඇගේ සිරුරේ තැනින් තැනට තෙල් වත්කර ඔහු ඊට ගිනි තැබුවේය. දින ගණනාවක්ම කුරිරු වදහිංසාවලින් හෙම්බත්ව සිටි අසරණිය ඒ ගින්න අතරින්ම සදහටම දෙනෙත් පියාගත්තාය.
ඇය මියගිය බව දැනගත් මියානෝ යකුසා සාමාජිකයින් හා එක්ව ඇගේ මළසිරුර බැරලයක් තුළට දමා ඒ උඩින් කොන්ක්‍රීට් පිරවූහ. ඒ පොලිස් ඇසට හසුනොවෙන්නටය.
නමුත් මියානෝට පොලිසියෙන් ගැලවීමක් ලැබුණේ නැත. ඔහු 1989 ජනවාරි 23 වෙනිදා පොලිස් අත්අඩංගුවට පත් වුණේය. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහුට සියල්ල වමාරනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් තිබුණේ නැත. එහිදී පැහැදිලි වූයේ ජුන්කෝ දින 44 ක් පුරාවටම සියයකට ආසන්න පිරිමින් පිරිසක් අතින් හාරසීය වතාවක් පමණ දූෂණය වී ඇති බවයි. ඒ අනුව මෙතුවක් ලෝක ඉතිහාසයේ වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ දෙස බලන විට ඇයව සැළකෙන්නේ වැඩිම වදහිංසාවන්ට ලක්වී මියගිය තරුණිය ලෙසයි. එහි බරපතළකම කොතෙක්ද කිවහොත් ඊට අදාළ නඩුව උසාවියේදී විභාග කෙරූ අවස්ථාවේ උසාවි බිමේ සිටි බොහෝ කාන්තාවන් කම්පනය වී සිහිනැතිව බිම ඇද වැටුණි. ඒ අතර ඇගේ මවද විය.
ඉන් දින කීපයකට පසු පොලිසිය විසින් ජුන්කෝගේ සිරුර බැරලය කපා කොන්ක්‍රීට් අතරින් මතුකරගත් අතර, මරණ පරීක්ෂණයේදී ඇගේ ගුද මාර්ගයේ තිබී කුඩා බෝතල් කීපයක්ද සොයාගැනුණි. එපමණක් නොව ඒ වනවිටත් ඇය ගැබ්ගෙන තිබුණාය. වරදකරු වූ මියානෝ දාහත් වසරකට සිපිරිගෙට නියමවෙද්දී එම නඩුව ලොව ප්‍රසිද්ධ වූයේ ‘කොන්ක්‍රීට් බැරලයේ ඝාතනය කෙරූ උසස් පාසල් දැරියගේ නඩුව’ ලෙසිනි. අද වනවිට මෙම සිදුවීම සිදුවී වසර තිස්හතරක් ගෙවුණද අදටත් මෙය හඳුන්වන්නේ එදා මෙදා තුර ලෝකයේ සිදුවූ දරුණුතම කාන්තා දූෂණය ලෙසිනි. එවන් මහමෙරකට දුකක් තනිවම විඳදරාගත් ජුන්කෝ ෆුරූටා වෙනුවෙන් අදටත් ජපන් වැසියන්ගේ කඳුළු සීතලය. ඇය මතකයට එන වාරයක් පාසා ඒ සීතල කඳුළු ඔවුන්ගේ ඇස් අතරින් කඩා වැටෙන්නේ ඇය විඳි දුක ඔවුන්ට තවමත් රිදුම් දෙන නිසා විය යුතුය.
රුවන් එස්.සෙනවිරත්න