විශේෂාංග

කෙල්ලෝ ගැන විශ්වාස නැති හින්දා බෝනික්කෙක් බැඳගත්තා

විදෙස් රටක ඉපදුණත් කසකස්ථානයේ කායවර්ධන ක්‍රීඩක ‘යුරී ටොලොච්කෝ’ (Yurii Tolochko) ගැන නොදන්න අයට වඩා දන්න අය වැඩියි. ඒකට හේතුව 36 හැවිරිදි ඔහු මීට ටික කාලෙකට කලින් කරගත්ත අමුතුපහේ අසාමාන්‍ය විවාහය. ඇත්තටම එදා ඔහු විවාහ වුණේ තරුණියක් එක්ක නම් නෙවෙයි. ඔව් යුරී එදා විවාහ වුණේ බෝනික්කෙක් එක්ක. ඔහු ඇයව හැඳින්වූයේ ‘මාගෝ’ කියලා. ලොකුවටම ගත්ත ඒ විවාහය නිසා යුරීගේ ජනප්‍රියත්වයත් එන්න එන්නම ඉහළ ගියා.

ඔය විදිහට කාලයක් ගතවෙද්දි පසුගියදා එක්වරම යුරී ගැන ආයෙමත් හැමෝම වගේ කතා කරන්න පටන්ගත්තා. ඒ පසුගිය සතියේ ඔහු ගත්ත එක්තරා තීරණයක් නිසා. ඒ තමයි යුරීගේ පළමු විවාහයේ බෝනික්කා ඔහු දික්කසාද කිරීම. වසර කීපයක් ඒ විදිහට මාගෝ කියන බෝනික්කා එක්ක පවුල් කාපු යුරී ඇයව එක්වරම දික්කසාද කළේ ඇයි කියලා නම් ඔහු කිසිම තැනක සඳහන් කරලා තිබුණේ නෑ.

හැබැයි මාගෝ දික්කසාද කරපු යුරී ඔන්න දැනට දින කීපයකට කලින් හරි අපූරු තීරණයක් අරන් තිබුණා. ඒ තමයි මෙවර බෝනික්කන් දෙදෙනෙක් එක්ක විවාහයක් කරගැනීම. ඒ ලෝලා සහ ලූනා කියන බෝනික්කෝ. ඒ නිසා දැන් ආයෙමත් සමාජ මාධ්‍ය අතරේ ජනප්‍රියම තරුව යුරී කියන එක රහසක් නෙවෙයි.

මගේ කලින් බිරිඳ වුණේ මාගෝ. ඒත් මං ඇයව දික්කසාද කරලා ලෝලා සහ ලූනා කියන බිරින්ඳෑවරුන් එක්ක විවාහ වුණා. මං හිතනවා මගේ තීරණය ගැන මාගෝ තරහා ගන්නේ නැතිවෙයි කියලා.

එහෙම කියන්නේ යුරී. ඔහු කියන විදිහට ඔහුට තරුණියක් විවාහ කරගන්න ආසාවක් නැතිලු. ඒකට හේතුව තරුණියන් ඔහුට විශ්වාස නැති එක කියලයි ඔහුගේ අදහස. ඒ විතරක් නෙවෙයි යුරීට තරුණියක් එක්ක පවුල් කන්නත් පොඩි පහේ ලැජ්ජාවක් තියෙනවලු.

මට වෙන තරුණියෝ එපා. එයාලා එක්ක මට ඉන්න ලැජ්ජයි. අනික එයාලා මට විශ්වාසත් නෑ. ඒත් මගේ අලුත් බිරින්ඳෑවරුන් මට විශ්වාසයි. ඒ අය එක්ක මට හොඳින් ඉන්න පුළුවන්.

යුරී එහෙම කිව්වත් සමහරු නම් කියන්නේ ඔහුට හොඳටම පිස්සු කියලයි. මොකද මෙච්චර ලස්සන තරුණියෝ ඉන්න රටේ බෝනික්කෝ එක්ක විවාහ වෙන්න තරුණයෙකුට නිකන්වත් හිතෙන්න පුළුවන්ද කියලයි ඔවුන්ගේ අදහස වෙන්නේ.

මං හැමදාම මගේ බිරින්ඳෑවරුන් දෙන්නා ස්පර්ශ කරනවා. ඒ වගේම සිපගන්නවා. දැන් ඒක මගේ දෛනික චාරිත්‍රයක් වෙලා. හැබැයි එකම ප්‍රශ්නය තමයි මට ඒ දෙන්නා එක්ක කතා කරන්න බෑ.

කතා කරන්න බැරි ප්‍රශ්නේ ඇරුනම යුරීට ඔහුගේ විවාහක බිරින්ඳෑවරුන් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. තරුණියක් විවාහ කරගත්තට වඩා බෝනික්කෝ එක්ක විවාහවෙන එක වෙනස්ම අත්දැකීමයි කියලයි ඔහු නම් කියන්නේ.

ඇත්තටම මේ වෙනකොට මෙහෙම බෝනික්කන් එක්ක පවුල් කන පිරිසක් ලෝකයේ විවිධ රටවල ඉන්නවා. ඒ බෝනික්කන් ගැන කිව්වොත් ඔවුන් වෙළඳපොළේ හඳුන්වන්නේ ‘ලිංගික බෝනික්කෝ’ (Sex Doll) විදියට. සුන්දර තරුණියකට සමානව නිර්මාණය කරපු මේ ලිංගික බෝනික්කන්ට බැරි එකම දේ කතා කරන එක විතරයි. කොහොම හරි මේ වෙනකොට පිරිමින් තමන්ගේ සහකාරිය විදිහට ලිංගික බෝනික්කන් තෝරාගැනීම රහසක් නෙවෙයි. මොකද එම බෝනික්කන් නිෂ්පාදනය කරන සමාගම් තමන්ගේ අලෙවිය ඉහළ ගොස් තියෙනවා කියලා පසුගියදා සඳහන් කරලා තිබුණා. ඒ නිසාම මේ යන විදිහට ඉදිරියේදී ලිංගික බෝනික්කන් තරුණියන්ට ලොකු බලපෑමක් කරන බව නම් අපට හොඳටම විශ්වාසයි.

 

රුවන් එස්.සෙනවිරත්න