ජපන්නුන්ට නිවිති දාපු පරිප්පු කවන අපේ එකී
තේරෙන කාලයේ සිටම වෛද්‍යවරියක් වෙන්නට සිහින දැක්කත් කෑගලු බාලිකා මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරණ අවධියේ සිටම උදාරාට තවත් සිහිනයක් තිබුණි. ඒ දිනෙක විදෙස්ගත වෙන්නටය. ඒ නිසාම ඇය උසස් පෙළ විෂයයක් ලෙස ජපන් භාෂාව තෝරාගත්තය.
“ඒ විෂය කොච්චර හිතට අල්ලලා ගියාද කිව්වොත් උසස් පෙළ ඉවරවෙලත් මං ජපන් භාෂාවට පන්ති යන එක නතර කළේ නෑ. ඔය අතරේ තමයි උසස් අධ්‍යාපනය වෙනුවෙන් මට පිටරටකට යන්න අවස්ථාවක් ලැබුණේ.”
2006 අවුරුද්දේ ඇය එසේ තම උසස් අධ්‍යාපනය වෙනුවෙන් ගියේ ජපානයටයි. පවුලේ එකම දැරිය විදෙස්ගත වෙද්දී උදාරාගේ දෙමාපියන්ට දරන්නට බැරි වුවද ඔවුන් ඒ වේදනාව සිත් යට සඟවා ගනිමින් ඇයට සුබ පැතූහ.
“ජපානයට එනකොට මට අවුරුදු 22යි. ඇත්තටම නුහුරු නුපුරුදු රටක ඇවිත් ඉන්නකොට ලංකාව මතක්වුණු වාර අනන්තයි. ආපහු ලංකාවට යන්න හිතුණු වෙලාවල් පවා තිබුණා.”
නුපුරුදු ජපානයේ ඉගෙනීම් කටයුතු කරමින් වසරක් දෙකක් ගෙවී යද්දී දිනක් ඇය අපූරු අත්දැකීමකට මුහුණ දුන්නාය. ඒ ඇය ඉදිරියට පැමිණි ජපන් තරුණයෙකු අත් එකතුකොට ඇයට ‘ආයුබෝවන්’ කියා ආමන්ත්‍රණය කිරීමත් සමඟය.
“එදා මට පුදුම හිතුණා. මොකද එයා හරි පැහැදිලිව සිංහලෙන් ආයුබෝවන් කීවේ. මට සතුටු හිතුණා සිංහල දන්න කෙනෙක් එහෙම රටක මුණගැහීම ගැන. එයාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. මොකද එයා අවුරුද්දක් විතර ලංකාවේ හිටපු කෙනෙක්. එදා ඉඳන් අපි මිතුරන් වුණා. ඊටපස්සේ ඒ මිතුරුකම ආදරේකට පෙරලුනා. කොහොම හරි අපි මුණගැහිලා අවුරුදු තුනකින් වගේ විවාහ වුණා.”
ඔහු ජපන් රජයේ ගුරුවරයෙක් වූ අකිඕ ය. අකිඕ රැකියාවට යනවිට උදාරාට බොහෝවිට නිවසේ ඉන්නට සිදුවූයේ තනිවමය. ඇය ඒ තනිකම මකාගැනීමට අලුත් රැකියාවක් සොයගත්තාය. ඒ කූල් බොක්ස් එකක් බැඳි තුන්රෝද යතුරුපැදියේ කිරි, යෝගට් වැනි ආහාර වර්ග නිවෙස්වලට ඩිලිවරි කිරීමයි.
“ඔය අතරෙයි සැමියා කිව්වේ රජයේ කෘෂිකර්ම ඒකකයෙන් කෘෂිකර්මයට කැමති තරුණ පිරිස ඒ සඳහා යොමුකරවන පුහුණුවක් ගැන. මං මුලින් කැමතිවුණේ නෑ. දවසක් එයා උදේ වැඩට යන්න කලින් අද දවල් අහවල් වෙලාවට අහවල් තැනට යන්න කිව්වා. එතකොටයි මං දන්නේ එයා මට හොරෙන් අර පුහුණුවට මගේ නමින් අයැදුම් කරලා කියලා.”
සැමියාගේ හිත රිදවන්නට අකමැති වූ උදාරා සැමියා කී තැනට කලට වෙලාවට ගියාය. පසුව කෘෂිකර්මය පිළිබඳ එහි දුන් මාස තුනක කෙටිකාලීන පුහුණුවක් ලබාගත්තාය. කෘෂිකර්ම ක්ෂේත්රය තෝරාගන්නවාද නැද්ද යන්න තීරණය කළ යුතු වූයේ එම පුහුණුවෙන් අනතුරුවය.
“ජපන් රජයෙන් කරපු ඒ පුහුණුවෙන් මං ගොඩාක් දේවල් ඉගෙනගත්තා. ජපානයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ආයතන, වෙළඳ ස්ථාන, ආහාර නිෂ්පාදන ආයතන, සාර්ථක අසාර්ථක බිම් වගාවන් පවා නරඹන්න මට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි පස සැකසීම, බීජ තවාන් දැමීම, පැළ සිටුවීම, පලදාව නෙළීම, ඒවා ඇසුරුම්වලට ඇසිරීම, විකිණීම, කෘෂි උපකරණ භාවිතය වගේ එකී මෙකී නොකී හැමදේම වගේ ඒ පුහුණුවේදි ඉගෙනගත්තා.”
කාලය ගතවෙද්දී බෝග වගාව ගැන උදාරාගේ හිතේ පෙර නොතිබූ විරූ කැමැත්තක් මෝදු වෙමින් තිබිණි. දිනක් අහම්බෙන් මෙන් දුටු එක්තරා ගොවිපොළක් නිසා ඒ කැමැත්ත දෙගුණ තෙගුණ විය. ඇත්තටම කිව්වොත් ඒ ඇගේ ජීවිතය වෙනස් වූ දිනයයි.
“එදා මං හිතාගත්තා මමත් දවසක මගේම කියලා සිහින ගොවිපොළක් පටන්ගන්නවා කියලා. කාටවත් නොකියා මං ඒකට ‘ටර්ටල් ෆීට් ෆාම්’ (Turtle Feet Farm) කියලා නමකුත් එදාම දැම්මා.”
හිතේ ඇඳි සිහින ගොවිපොළේ චිත්‍රය තම දෑස් ඉදිරියේ දැකීම ඇයට ලේසි වුණේ නැත. ඒ වෙනුවෙන් උදැල්ලේ සිට සියලු දේ අලුතින් මිලදී ගැනීමට ඇයට සිදුවිය. ඉන්පසු වවන බිම් ප්‍රමාණය, තෝරාගන්නා බෝග, ලබාගන්නා අස්වැන්න පමණක් නොව දළ වශයෙන් වියදම මෙන්ම ආදායමද සටහන් කර ඇය පස් අවුරුදු සැලැස්මක් සකස් කළාය. එතැන් පටන් හෙක්ටයාර් බාගයක පමණ බිම් ප්‍රමාණයක උදාරාගේ සිහින ගොවිපොළ ආරම්භ විය.
“මුලින් ලේසි වුණේ නෑ. ඒත් අවුරුදු කීපයක් බෝග වගාවත් එක්ක ඔට්ටු වෙනකොට සේරම හරි ගියා. මං අදටත් තනියම තමයි හැමදේම කරන්නේ. මගේ තනිය මකාගන්න ‘ලකී’ කියලා බලු යාළුවෙක් ඉන්නවා එච්චරයි. මේ වෙනකොට මගේ ගොවිපොළේ ඇස්පරගස්, නිවිති, බ්රොකොලී, ලූනු, රොමේන් ලෙටස් වගේ දේවල් තියෙනවා. ඒවා වගා කරලා තියෙන්නේ අලෙවියට. ඒ වගේම නිවසේ පරිභෝජනයට අර්තාපල්, රතු අල, මඤ්ඤොක්කා, පතෝල, වැටකොලු, බෝංචි, මෑකරල්, කරවිල, දඹල, ගෝවා, රාබු, චයිනීස් ගෝවා, ගොටුකොළ, මිරිස්, කරපිංචා වගේ දේවල් වවලා තියෙනවා.”
උදාරාගේ සිහින ගොවිපොළ දැන් සාර්ථකය. ඇගේ නිවසේ ආහාර පිසෙන්නේ ඒ ගොවිපොළේම සෑදෙන එළවලුවලින්ය. ඒ වෙනුවෙන් අදටත් ඇය බොහෝ කැපකිරීම් කරන්නීය. විටෙක ඇය දිනකට පැය අටකටත් වඩා වගාවත් එක්ක ඔට්ටු වෙන්නීය. ඇතැම් දිනවල ඒ කාලය පැය දොළහක් දක්වා දිගු වෙන වෙලාවල්ද තිබේ. ඔය අතරවාරයේ නිවසේ ආහාර පිසින්නට, රෙදි සෝදන්නට පමණක් නොව නිවස පිරිසිදු කරන්නට පවා ඇය කාලය වෙන් කරගන්නේ සතුටිනි.
මේ අතරවාරයේ ඇය තවත් අපූරු වැඩකට අතගසා තිබේ. ඒ තම ගොවිපොළේ ඇති බෝගවලින් යම් යම් නිෂ්පාදන සාදා ජපන් වෙළඳපොළට හඳුන්වාදීමයි. වරක් ඇය එසේ හඳුන්වා දුන් ලාංකීය ආකෘතියට සෑදූ ‘නිවිති දැමූ පරිප්පු කරිය’ අද ජපානයේ ජනප්‍රිය ආහාරයකි.
“ගොවිපොළ ආරම්භයේදි මගේ සැලැස්මේ නිවිති තිබුණේ නෑ. අනික ජපානයේ නිවිති ප්‍රසිද්ධත් නෑ. ඒත් මං දැනගෙන හිටියා ජපානයේ නිවිති සරුවට වැවෙනවා කියලා. ඊටපස්සේ මං නිවිති වගා කළා. නිවිතිවලින් නිවිති ශාබට් අයිස්ක්‍රීම්, නිවිති නූඩ්ල්ස්, නිවිති සුප්, නිවිති පරිප්පු කරිය වගේ ගොඩාක් නිෂ්පාදනත් හැදුවා. ඒ අතරින් නිවිති දාපු පරිප්පු කරියට හොඳ ඉල්ලුමක් ආවා. දැන් ජපානයේ ඒක ගොඩාක් ජනප්‍රියයි.”
උදාරා වැනි ලාංකීක තරුණියක් ජපානයට පැමිණ මෙලෙසින් ජීවිතය ජයගැනීමම අභියෝගයකි. ඒ අභියෝගය වෙනුවෙන් 39 හැවිරිදි උදාරා අදටත් කරන කැපකිරීම් බොහෝය.
“දැන් මං දරුවෙක් ඉන්න මවක්. අදටත් මං අව්වේ දාඩිය දාගෙන වැඩ කරනවා. ඇත්තටම කිව්වොත් මේ වෙනකොට මට ලස්සනට ඇඳලා කරලා පුටුවකට වෙලා කකුලක් පිට කකුලන් දාගෙන ඉන්න පුළුවන් විදිහේ ආර්ථික මට්ටමක් තියෙනවා. ඒත් මට එහෙම ඉන්න බෑ. මොකද මං සතුටු වෙන්නේ මගේ ගොවිපොළේ වැඩ කරලා. මං හිතනවා ගැහැනියකට කරන්න බැරි දෙයක් නෑ. මේ වෙනකොට මං ජපන් රජයේ කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් කරන ගෙවිලියන් ව්‍යාපෘතියේ සාමාජිකාවක් විදිහට ඉන්නවා. එහි සාමාජිකාවක් වෙන්න පුළුවන් ස්වකර්මාන්තයක් විදිහට කෘෂිකර්මයේ යෙදෙන කාන්තාවන්ට විතරයි. ඒත් එතැන ඉන්න කාන්තාවෝ හැමෝම තමන්ගේ සැමියාගේ කෘෂිකර්මය පෙරමුණු කරගෙන හෝ තමන්ගේ දෙමව්පියන්ගෙන් ලැබුණු දායාදයක් විදිහට කෘෂිකර්මය ආරම්භ කරපු අය. උදැල්ලේ ඉඳන් අලුතින් අරන් තනිවම කෘෂිකර්මයේ යෙදුණු කෙනෙක්ට ඉන්නේ මං විතරයි. අදටත් ජපානයේ නරා ප්‍රාන්තයේ සිටින පළමු ලාංකික ගෙවිලිය මමයි. මුළු ජපානයටම මං වගේ විදේශික ගෙවිලියෝ ඉන්නේ කීපදෙනයි.”
ඇය ජපානයේ නරා ප්‍රාන්තයේ අසුකාවල පවත්වාගෙන යන ‘ටර්ටල් ෆීට් ෆාම්’ (Turtle Feet Farm) ගොවිපොළේ හිමිකාරියයි. කෑගල්ල දේවාලේගම ඉපිද උසස් අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් ජපානයේ සාර්ථක ව්‍යවසායිකාවක් වී සිටින උදාරා අදටත් විශ්වාස කරන කතාවක් තිබේ.
“දැන් මට වයස අවුරුදු 39 ක්. උසස් පෙළට ජපන් භාෂාව තෝරගත්තේ දෛවයට අනුව කියලයි මට හිතෙන්නේ. මං හැමදාම විශ්වාස කරන කතාවක් තියෙනවා. ඒක මට කිව්වේ මට ජපන් භාෂාව උගන්වපු ජුන්කො අබෙ කියන ගුරුවරිය. ඇය දවසක් මට කිව්වා, ‘අපේ වාසනාව අපි මිට මොළවලා අල්ලගන්න ඕනේ. ඒකට පැනල යන්න දෙන්න හොඳ නෑ’ කියලා. මං ඇගේ කතාව අදටත් විශ්වාස කරනවා.”
රුවන් එස්.සෙනවිරත්න