විශේෂාංග

මහත්තයා බෝඩිමක දුෂ්කර ජීවිතයක් ගෙවද්දී එයාට හයියක් වෙන්න මම ගෙදර ඉඳගෙන වැව්වා

පැමිණෙන දුක් පැණිරස කර ගනිමින් ජීවිතය විඳින අය අතරේ දිල්කි නයනතාරා ද එවන් ධෛර්යවන්තියකි. ඇය පදිංචි දොම්පේ, මීපාවිට ය. මීපාවිට සිට කවි ගී ලියැවුණු දොම්පේ ටවුමට කිලෝමීටර් හතර පහක් දුරය. ගෙදරට ඕනෑකරන එළවලුවක්, වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ගන්නට දිල්කිට ඒ දුර ගෙවා යා යුතු විය. ඒ ගමන තවත් දුෂ්කර වන කාරණාවක්ද ඒ අතරේ යෙදිනි.

මගේ මහත්තයා උසාවියේ ලඝු ලේඛකයෙකු ලෙසයි රාජකාරි කරන්නේ. එයාට මීට අවුරුදු තුනකට විතර කලින් දුරකට ස්ථාන මාරුවක් ලැබුණා. එතකොට දරුවෝ දෙන්නා ගොඩක් පුංචියි. මහත්තයාගේ අම්මා, තාත්තාත් අපි එක්කයි ඉන්නේ. කොහොමහරි මහත්තයට මාරුව ලැබුණට පස්සේ සතියකට වතාවක් වගේ තමයි ගෙදර එන්න ලැබුණේ. එයා ගෙදර ආවහම තමයි ටවුමට ගිහින් එළවලු, අනෙකුත් ඕන කරන දේවල් ගෙදරට ගේන්නේ. ඔය කාලේ ගෙදර වියදමත් ටිකක් වැඩි වුණා. ඉතින් මට හිතුණා ගෙදර ඉඩමත් ලොකුවට තියෙන නිසා වගාවක් කළා නම් හොයි කියලා. මහත්තයත් බෝඩ්වෙලා දුෂ්කර ජීවිතයක් ගෙවද්දී, එයාට සවියක් වෙන්න පුළුවන් විදියකුයි මම කල්පනා කළේ.

දිල්කිගේ ගෙවත්ත එළිපෙහෙලි වෙමින්, විවිධ බෝග වර්ගවලට ජීවය ලැබෙන්නේ ඉන්පසුය. එසේ සිටවූ පැළයක ගෙඩියක්, කරලක් හටගන්නා අසිරිය දකිද්දී ඒ ගෙවත්තට විවිධ බෝග වර්ග එක්කරගන්නට ඕ පෙළඹුණාය.

කොරෝනා ආවට පස්සේ වගා කරලා ගන්නා එළවලුවක වටිනාකම තවත් වැඩිවුණා කිව්වොත් හරි. ඉතින් මුල් කාලේ මමම වත්ත උදලු ගාලා වගාබිම ටික ටික වැඩි කරගත්තා. තෝර පරිප්පු, රතුපෙති දඹල, වම්බටු වර්ග, කැකිරි, පිපිඤ්ඤා, මෑ, බණ්ඩක්කා, මිරිස්, පළා වර්ග ආදිය වගා කළා. ඒ වගේම වත්තේ රඹුටන් ගස් කිහිපයක් තියෙනවා. ඒ පලදාව අපතේ යන්න නොදී රඹුටන් දෝසි හැදුවා. මේ දවස්වල රඹුටන් වැඩිපුර තියෙන නිසා, ඔබටත් පුළුවන් එය අත්හදා බලන්න. ඒ සහා අවශ්‍ය කරන්නේ හොින් ඉදුණු රඹුටන් ගෙඩි පනහක්, සීනි ග්‍රෑම් දෙසිය පනහක් සහ වතුර කෝප්පයක් පමණයි. පළමුව ලෙලි ඉවත් කරගත් රඹුටන් ටික පැත්තකින් චුට්ටක් විතර කපාගන්න. (ඇට ඉවත් කරන්න එපා) සීනි ටික වතුර එක්ක කලවම් කරලා, මද ගින්දරේ ලිපේ තියන්න. එය උතුරාගෙන එද්දි, රඹුටන් ටික එක් කරන්න. සීනි කැරමල් වෙලා, රඹුටන් ටික රටඉි පාටට හැරෙද්දී ලිපෙන් බාගන්න. මේ විදියට දෝසි හදාගත්තම, රඹුටන් ඇටය පවා කිරි රසයි. හරියට කජු කනවා වගේ රසයි.

ඇය කියන්නේ සතුටිනි. ඇයගේ කටයුතු බොහොමයකට සැමියාගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයකි. ඒ සහයෝගය නිසාවෙන්ම දිල්කි දැන් පුංචියට කුකුළු කොටුවක්ද පවත්වාගෙන යන්නීය. ගොම පොහොර වාගේම කුකුළු පොහොරද ඇය තම වගාවට එක්කරන්නේ පුංචි වගාබිම සරුසාර කරගන්නටය. ඒ වාගේම ඇය කොම්පෝස්ට් පොහොර ගෙදරම නිපදවා ගන්නීය‍.

මම කොම්පෝස්ට් පොහොර වගේම වගාවට සුදුසු විදියට පැළ වර්ග හදලා සාධාරණ මිලකට අලෙවි කරනවා. දේශීය එළවලු බීජත් ඒ අතර තියනෙවා. පොල්, තැඹිලි, කෙසෙල් ආදිය විකුණලා ආදායමක් ලබනවා. ඇත්තටම මගේ හිතට දැන් ලොකු සතුටක් තියෙනවා. හිතට කරදරයක් නැහැ. ඒ වගේම දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ මේ මොන දේ එක්ක වුණත් විඩාවක් නැතුව වැඩ කරන්න මගේ ගෙවත්ත මගේ හිතට ශක්තියක්, සැනසුමක් ගේනවා.

ඇගේ එම කැපවීමටත්, වගාවට දක්වන ලැදියාවටත් ඇගයීම්ද ලැබී තිබේ. ඒ The Queens Power සමූහය තුළින් පවත්වන ලද ධෛර්යවන්තවූත්, සකසුරුවම් සහිත වූත් ගෘහණිය හා හොඳම ගෙවතු වගාව, නිවසේ සිට කළ හැකි හොඳම ස්වයං රැකියාව යන අංශ නියෝජනය කරමින් පැවැත්වූ තරඟයේ ප්‍රථමයා ඇය විය. ඇය ‘රන්භූමි’ නම් ෆේස්බුක් ගෙවතු වගා පිටුවේ සාමාජිකාවක් වෙමින් වගාවට ලැදි පිරිස් දැනුවත් කිරීමද කරනු ලබයි. ඒ සියල්ල තුළින්ම දිල්කි අපේක්ෂා කරන්නේ තමන් වැනිම ධෛර්යවන්තව කටයුතු කරමින් පවුලට ආර්ථික ශක්තියක් ගෙනදිය හැකි කාන්තාවන් පිරිසක් බිහි කිරීමයි.

මම විවාහ වෙලා මේ ගෙදරට එද්දි මේ වත්තේ මඤ්ඤොක්කා‍, රබර්, රඹුටන් වගේ දේවල් තමයි තිබුණේ. ඒ මහත්තයාගේ තාත්තා වගා කරපුවා. ඔහු එක්තැන් වෙලා අසනීප වුණාට පස්සේ කාලයක්ම මේ පොළොවේ වගා කටයුත්තක් සිදුවුණේ නැහැ. ඉතින් ඒ පොළොව මේ විදියට සරුසාර ගෙවත්තක් බවට පත්කරගන්න ලැබීම ගැන මතේ හිතේ අද ලොකු සතුටක් තියෙනවා. ඒ ගැන ගෙදර හැමෝටමත් සතුටුයි.

ඇය උපන්නේ ගම්පහ මීරිගම ය. පල්ලෙවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද ඇය, උසස් පෙළ හදාරා ඇත්තේ යක්කල අනුර මහා විද්‍යාලයෙනි. පාසල් සමයේ පැළයක් හිටවූයේ නම් ඒ පහ වසර පන්තියේදී පමණ ඈත දිනවල බව කී ඇය, ඒ අත්ගුණය තමාට පිහිටා ඇතැයි හඳුනාගන්නට ඇත්තේ ගෙවත්ත වාගේම ජීවිතයද කළඑලිකළ මෙම වගාවත් සමඟිනි.

ඇත්තටම වගාවකට සාත්තු සප්පායම හරිම වැදගත්. මල්, කරල්, ගෙඩි හටගන්න, වගා බෝග ආරක්ෂා වෙන්න ඒ සාත්තුව අවශ්‍යයයි. ඊළට කෘමි උවදුරු එනවා. කොහොඹ කොළ නිස්සාරණය වගේම ලූනු පොතු නිස්සාරණය කෘමීන්ට යොදනවා. ඒ වගේම අපට තියෙන්නේ රන් පොළොවක්. ඒ පොළොවයි, ඉන් ලැබෙන අස්වැන්නයි අපේ ජීවිත ලස්සන කරනවා.

බොහෝ එළවලු බෝගවලින් කළඑළි වුණු ගෙවත්තේ විවිධ පලතුරු වර්ග ද තිබේ. ඊට අමතුරව බඩඉරිඟු, දන්දිල, හිඟුරල, මඤ්ඤොක්කා වැනි අල වර්ගද, කොස් පොලොස් ද ඔවුනට අඩු නැත.

මම කොස්වලින් විවිධ කෑම වර්ග හදනවා. ඒ වගේම ළදි ලබු කොළයි, වට්ටක්කා කොළයි, බිත්තරයි දාලා ඔම්ලට් එකක් හැදුවා. ඒක කාලා ලොකු දුව නංගිට කියනවා ඇහුනා, කොළ පාට පීසා එකනම් හරිම රහයි කියලා. මේ කාලේ හැටියට එළියෙන් පීසා කන්න අමාරු නිසා, මේ විදියට ලොකු ඔම්ලට් එකක් හදාගෙන දරුවන්ගේ කෑමට එක් කරන්න පුළුවන්. ඊට අවශ්‍ය වෙන්නේ නොමේරූ ලබු දළු හා වට්ටක්කා දළු කිහිපයක්. ඒවා සාමාන්‍ය කැබලිවලට කපාගෙන ඊට බිත්තර දෙකක් එක්කරගන්න. ඒ එක්කම බී ලූනු ගෙඩියක්, අමුමිරිස් කරල් දෙකක්, කරපිංචා ස්වල්පයක් කුඩාවට කපා එම මිශ්‍රණයටම එක්කරගන්න. රස පදම අනුව ලුණු ද එක්කොට ගෙන තාච්චියක් ලිප තබා රත්කර ඔම්ලට් හදන අයුරින්ම සාදාගන්න පුළුවන්. එය රස වාගේම ඉතා ගුණයි.

මෙම ඔම්ලට් එකට වැඩියෙන්ම කැමති දිල්කිගේ වැඩිමල් දියණියයි. ඇය දැන් ඉගෙනුම ලබන්නේ දෙක වසර පන්තියේයි. දෙවන දියණියට තවම අවුරුදු හතරකි. ඔවුන්ද දැනටමත් ගහට කොළට ආදරේ කරන දරුවන්ය. ගෙදර වගාබිම ඒ පුංචි හිත්වලටද ආදර්ශයකි. එවන් ගෙවතු සිය දහස් ගණනක් ඇතිවීම මෙවන් කාලයක විය යුතුම දෙයකි.

 

දීපා වසන්ති එදිරිසිංහ