මම දරු පැටව් තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක් ඒ නිසා මගේ ඔලුව අවුල් කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ
මං උදෙන්ම ඇහැරලා ඒ ගමන්ම නානවා කියලා මීට කලින් ලිපියකත් ලිව්වා. මං එහෙම කරන්නේ මගේ දවස ප්‍රබෝධමත් කරගන්නයි, මං වෙනුවෙන් වෙලාව ඉතුරු කරගන්නයි. එහෙම උදේම නාන්න බැරිවුණු දවසට මූණ සෝදලා ගෙදරට අඳින සාමාන්‍ය ඇඳුමක් ඇඳගන්නවා. මගේ දුවලා දෙන්නා උදේම ඉස්කෝලේ යන්න ගෙදරින් පිටත් වෙද්දි ඒ අයව සතුටින් පිටත් කරන්න ඕන නිසා මං එළියට බහින්නෙත් පිළිවෙලට. එයාලා එක්ක යන තව දරුවොත් එකතු වෙන නිසා රෑ ඇඳුම පිටින් එළියට යන්න මං ආස නෑ.
උදෙන්ම ඇහැරෙන නිසා මගේ දවසේ වෙලාව ගොඩක් ඉතුරු වෙනවා. උදේම නාගෙන උයන පිහන වැඩත් ඉවර කළාම තවත් වෙලාව ඉතුරුයි. ඊටපස්සේ මං කරන්නේ කලින් දවසේ කිළිටි රෙදි ටික සේදෙන්න දාලා වේලෙන්න දාන එක. දරු තුන්දෙනා ආපහු ගෙදරට එනකන් ඒ පැය ගාණ මං අලුත් දෙයක් ඉගෙනගන්න, පොතක් කියවන්න, දරුවෝ නැති වෙලාවට කරන්න යොදාගෙන තිබුණ වැඩක් කරන්න, තව කෙනෙක් දිරිමත් කරන දෙයක් ලියන්න, කාලෙකින් කතා නොකරපු යාළුවෙක් එක්ක කතා කරන්න, phone එක ටිකක් බලන්න, පොඩි පැටව්ට රසකැවිල්ලක් හදන්න වගේ වැඩවලට වෙන් කරනවා. මේ හැමදේම හැමදාම ඒ පැය ගාණ ඇතුළත කරනවා කියන එක නෙවෙයි මං මේ කියන්නේ. මේ වගේ දේවල් මට ලැබෙන ඒ නිදහස් පැය ගාණ තුළයි කරන්නේ.
ඉතින් මං උදෙන්ම ඇහැරෙන්න පුරුදු වුණ විදියත් කියන්නම්. දරුවෝ ලැබුණු මුල් කාලේ ටිකක් පහුවෙලා, මට ඇහැරුණේ ගොඩක් වෙලාවට හයට. ඒ වෙලාව දවසේ වැඩ ටික කරගන්න මදි වගේ මට දැනුණා. ඉතින් ඒ කාලේ ඒකට මම දෙස් දෙවොල් තිබ්බේ ගෙදර මට කරන්න තිබුණ වැඩවලටයි, මගේ පුංචි කෙල්ලො දෙන්නටයි, දහම්ටයි. ඒත් ඇත්තටම මං වෙනුවෙන් වෙලාව ඉතුරු කරගන්න එක තිබ්බේ මගේ අතේ. ඒක තේරුම් අරන් මං ටික ටික උදෙන් නැගිටින්න පුරුදු වුණා. මුලින් 5.45ට එලාම් එක තියලා, සුමානයක් නැගිට්ටා. ඊළඟ සුමානේ 5.30ට එලාම් එක තියලා සුමානයක් නැගිට්ටා. ඔහොම සුමානේ සුමානේ විනාඩි 15 ගාණේ නිදාගන්න වෙලාව අඩු කරගෙන 4ට ඇහැරෙන්න මං පුරුදු වුණා. ඒක පුරුද්දක් වුණාම, රෑ 12ට නිදාගත්තත් පාන්දර 4ට ඉබේම ඇහැරෙනවා. සතිඅන්තේ නම් මං 5ට තමයි එලාම් එක තියලා තියන්නේ.
උදේට නාන්න කලින් හරි නාලා ඉවරවෙලා හරි හොඳ වතුර වීදුරුවක් හිස් බඩට බොනවා. ඒක මට එනර්ජි ඩ්‍රින්ක් එකක් වගේ. ඊටපස්සේ ගිලන්පස හදලා බුද්ධ පූජාව තියලා වැඳලා, අද දවස වෙනුවෙන් මං විශ්වයට ස්තූතිවන්ත වෙනවා.
විශ්වය එක්ක මගේ සතුට බෙදාගන්න මං දැන් හුරුවෙලා. ප්‍රශ්න, කරදර ගැන හිතන්නේ නැතිව, මොකක්හරි හේතුවක් නිසා අද දවසම අවුල් කියලා හිතන්නේ නැතිව ජීවත් වෙන්න තවත් අලුත් දවසක් මට දුන්නට විශ්වයට ස්තූතිවන්ත වුණාම පෙරලා මට ලැබෙන්නෙත් සතුටක්මයි. ඒකට මං තෝරගන්න හොඳම වෙලාව තමයි උදේ හවස බුදුන් වඳින වෙලාව. ඒ වෙලාවට අපේ හිතට ලොකු සැනසීමක්, නිදහසක් දැනෙනවා. ඒ සැනසීමෙන්ම මං මගේ දවසට පටන්ගැන්මේ ඉඳන් දවසේ ගෙවුණ හොඳ දෙවල්වලට ස්තූතිවන්ත වෙනවා.
මං අවධානය දෙන්නේ දවසේ සිද්ධවෙන හොඳම දේවල්වලට විතරයි. දුක හිතෙන දේවල් වුණොත් මං ඒවා දකින්නේ මට ඉගෙනගන්න ලැබුණ අලුත් පාඩමක් විදියට. නරක දෙයක් වුණොත් මං ඒක දකින්නේ ජීවිතේ ලැබුණ තවත් අත්දැකීමක් විදියට. හැමදෙයක් දිහාම සුබවාදීව බලන්න හිත හුරුකරගත්තාමයි අමාරු කාලවලදිත් ජීවිතේ විඳින්න පුළුවන් හේතු ලැබෙන්නේ.
අනිත් එක අපි ආසාවෙන්ම කරන දේනේ අපිව සතුටින් තියන්නේ. මං ආසාවෙන් කරන, මගේ සතුට, ආදරේ උපරිමෙන් බෙදන්න පුළුවන් තැන තමයි කුස්සිය. කුස්සිය දකිද්දි මගේ හිත පිරෙනවා. ඒ නිසා හැමවෙලාවකම මං ඒක හිත සතුටුවෙන විදියට තියාගන්න උත්සාහ කරනවා. මං විශ්වාස කරනවා සතුටෙන් උයන තරමට කෑමට ආදරේ එකතු වෙනවා කියලා.
උයද්දි මං අකමැතිම දේ කුස්සිය හැඩිකරගෙන උයන එක. මට තියන්නේ පුංචි කුස්සියක් නිසා, උයන වෙලාවට මං කුස්සිය ඉස්සරහාම තියෙන කෑම මේසෙට මගේ පරණ රෝස පාට තුවායක් එලනවා. උයද්දි එකතු වෙන, පාවිච්චි වෙන වළන් මං එවලෙම සෝදලා තුවාය උඩ වතුර බේරෙන්න නවනවා. සින්ක් එකෙත් තරමක් ලොකු ප්ලාස්ටික් බෝල් එකක් තියලා උයද්දි එකතුවෙන රොඩු, ලූනු පොතු, එළවලු කොටස් ඒකට දාල උයලා ඉවර වුණාම ඩස්ට්බින් එකට දානවා. එතකොට සින්ක් එක හැඩිවෙන්නේ නෑ. උයලා ඉවර වුණාමත් ව්‍යාංජන ටික පියනකින් වහන්න පුළුවන් පයිරෙක්ස් භාජනවලට දාලා වලං සෝදලා තුවාය උඩ වේලෙන්න නවනවා. කෑම නිවුණාම මං පයිරෙක්ස් භාජන ටික ඒ පියන්වලින් වහනවා. එතකොට කුස්සියේ කෑම තියාගෙන වලං පුරවන් ඉන්න ඕන නෑ. ඉතුරු වුණොත් ඒ භාජන පිටින්ම ෆ්‍රිජ් එකට දාලා තියන්නත් පුළුවන්. මගේ පුංචි කුස්සිය සාලෙට පේන නිසා පිරිසිදුව, පිළිවෙලට, ලස්සනට තියාගන්න මං උත්සාහ කරනවා.
රෑටත් කාලා ඉවර වුණාම ඔක්කොම භාජන සෝදලා රෝස පාට පරණ තුවාය එලලා ඒ උඩ නවනවා. කවදාවත් මම රෑට ඇතිලිවල කෑම ඉතුරු කරලා තියන්නේ නෑ. ඒකෙන් කෑම පිළුණු වෙලා කුස්සිය ගඳ ගහනවා. රෑට කෑම ඇතිලිවල තියන්න ඕනයි කියලා කියන මිථ්‍යා මත මං පිළිගන්නේ නෑ.
මං තුවායක් උඩ සෝදපුවා නවලා වතුර බේරෙන්න තියලා කබඩ්වලට, රාක්කවලට දාන්නේ වතුර පිටින් දැම්මාම කබඩ්, රාක්කවල පැල්ලම් හිටින නිසා.
දවස අවසානෙදි සින්ක් එකත් හොඳට සෝදලා පිරිසිදු කරනවා. සින්ක් එක ළඟ මං පොඩි මල් පොකුරක් පරණ ජෑම් බෝතලයක් ඇතුළට දාලා තියන්නෙ කුස්සියට පොඩි අලංකාරයක් එකතු කරන්න ඕන නිසා. එතකොට හිතටත් හරි ප්‍රසන්න හැඟීමක් එනවා. ගොඩාක් අය කුස්සිවලට ලස්සන මනි ප්ලාන්ට් පවා තියනවා. ඒ දේවල්වලින් අලංකාරයක් එකතු වෙලා නිවුණ හැඟීමක් හිතට එකතු වෙනවා.
මං ගොඩක් විශ්වාස කරනවා මං වෙනුවෙන් වෙලාව ඉතුරු කරගන්න එක, දවසට සතුට එකතු කරන් හොඳම විදියට දවස ගතකරන එක තියෙන්නේ මගේ අතේමයි කියලා. කිසිම කෙනෙකුගේ ක්‍රියාවක් ඒකට අදාළ වෙන්නේ නෑ. මගේ දවස අවුල්වෙන දෙයක් කාගෙන් හරි වුණත් ඒකේ හොඳ පැත්ත විතරයි මං හිතන්නේ. මගේ මානසික නිදහස හොඳින් තියෙන තරමට මගේ ගෙදර සතුට රැකෙනවා කියලා මං විශ්වාස කරනවා.
ඒ වගේම මම දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ නිසා කාටවත් මගේ ඔලුව අවුල් කරන්න මං ඉඩ දෙන්නේ නෑ. කාටහරි අපේ ඔලුව අවුල් කරන්න හරි අපේ සතුට පාලනය කරන්න හරි ඉඩ ලැබෙන්නේ අපි හිතින් ශක්තිමත් නොවුණම. ඒකයි මම කියන්නේ තමන්ගේ සතුට, සැනසීම තියෙන්නේ තමන්ගේ අතේමයි කියලා.
මං වෙනුවෙන් වෙලාව නෑ කියලා ඉස්සර වගේ මං අඬන්නේ වැළපෙන්නේ නෑ. උදෙන්ම ඇහැරලා මං වෙනුවෙන් වෙලාව ඉතුරු කරගන්න මමම ඉගෙනගත්තා. රැකියාවක් කරන කෙනෙකුගේ දින චර්යාව මීට වඩා වෙනස් වෙන්න පුළුවන් සහ කාර්යබහුල වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම දවස සැලසුම් කළොත් වෙලාව නෑ කියලා චෝදනා කරනවට වඩා වෙලාවත් ඉතුරු කරගෙන, දවසේ වැඩ ටිකත් කරගෙන ඒ නිසාම සතුටින් ඉන්නත් පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
අපි හැමෝගෙම ජීවිත වෙනස්. ඒ නිසා මේ දේවල් මෙහෙමම කරන්න කියලා කිසිම කෙනෙකුට බලකිරීමක් නම් නෑ. ඒත් ඔයාලගේ ජීවිතේට ගන්න පුළුවන් හොඳ දෙයක් මේ අකුරු ඇතුළේ තියෙනවා නම් ගන්න. ඒක තමයි මගේ සතුට.
හෂිණි මනමේන්ද්‍ර