මගේ අතින් වවපු දෙයක් ඔෆිස් එකේ උදවිය භුක්ති විඳිනවා දකින එක තරම් සතුටක් මට නෑ
වගාවට හිතක් වේ නම්, ඒ ගමද කොළඹ හතද කියා වෙනසක් නැත. ගෙදර ගෙවත්තේ වාගේම කාර්යාල ගෙවත්තේත් වගා කටයුත්තක නියැලීම එවන් අයෙකුට මහා දුෂ්කර කාර්යයක් නොවේ.
අරුණ නැගෙන හිමිදිරියේම ‘අරුණ’ කාර්යාලයට ගොඩවෙන තිලක් ක්‍රිස්ටි දිසානායක තම රාජකාරි අරඹන්නේ කාර්යාල ගෙවත්තෙනි. කාර්යාලයේ කා අතරත් හොඳ හිත දිනාගෙන සිටින දිසානායක විවේකයෙන් සිටින මොහොතක් දැකගන්නට නොහැකි තරම්ය. ඒ නිසාම දැන් කොළඹ හත විජේරාම පාරේ පිහිටි අරුණ කාර්යාල බිමේ පලබර බෝග වගාවක් දකින්නට තිබේ.
කලක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුරකරුවෙකු ලෙස රාජකාරි කර ඇති දිසානායක අරුණ කාර්යාලය ඇරඹීමත් සමඟ එහි සේවයට එක්වුණේය.
“මම මෙහේ ආපු මුල් දවස්වල මල් පැළවලට සාත්තු කරනවා. මල් හිටවනවා. ඔය අතරේ මට හිතුණා ඉඩකුත් තියෙන නිසා මොනවාහරි බෝග වගාවක් කරොත් හොඳයි කියලා. මුලින්ම මෑ, වම්බටු, බණ්ඩක්කා වගේ බීජ ටිකක් ගෙනැත් වගා කළා. ලැබුණු පලදාව හොඳයි. දවසක් ආයතනයේ සභාපතිතුමා වන දිලිත් ජයවීර මහත්තයත් මට කිව්වා, ‘ඔය කරන වැඩේ බොහොම හොඳයි, තව මොන මොනවාහරි හිටවන්න, පොළොව පොඩ්ඩක්වත් හිස් තියන්න එපා’ කියලා. ඒ වෙලාවේ මගේ හිතට ලොකු සතුටක් දැනුණා. කොහොමටත් මම පුංචි කාලෙ ඉඳලම ගොවිතැනට කැමතියි. මගේ තාත්තත් ගොවිතැන් වැඩ කළා. ඉන්නේ කොතැනද, වැඩ කරන්නේ කොතැනද මම එතැන වගාවක් කරන්නේ බොහොම සතුටින්. වියළි දණ්ඩක් හිටෙව්වත් ඒක පැළවෙන අත්ගුණයක් මට තියෙනවා. ඒ හින්දම ඉස්සරම ගමේ අය මට කියලා කුඹුරේ හේනේ වගා කටයුතු කරගෙන තියෙනවා. ඒ කාලේ හැටියට මට එහෙම දේකට ගියහම රුපියල් විස්සක් ලැබුණා. මම අදටත් හිතනවා ඒ අත්ගුණය මට හොඳින් පිහිටලා තියෙනවා කියලා.”
දිසානායක මාතර රත්මලේ උපන් අයෙකි. පිරිමි දරුවන් හයකුත්, ගැහැනු දරුවන් දෙදෙනෙකුත් වූ පවුලේ තෙවන පිරිමි දරුවා ඔහුය.
“මගේ තාත්තා හොඳ ගොවියෙක් වගේම ශාන්තිකර්ම කටයුතුවල නියැලුණ ගුරුන්නාන්සේ කෙනෙක්. ඔහු දැන් ජීවතුන් අතර නෑ. ‘රත්මලේ මහසෝනා’ කිව්වම මගේ තාත්තාව නොදන්න කෙනෙක් ඒ පළාතේ නැහැ. මටත් ඒ කාලේ තාත්තගේ වැඩවලට හිත ගියා. ඒ නිසා බලි තොවිල්, ශාන්තිකර්ම වැඩවලට යද්දී මමත් තාත්තා එක්ක ගියා. හය ශ්‍රේණියෙන් ඉගෙනීම නතර වුණත්, තාත්තා එක්ක දහඅට සන්නියේ නටලා තියෙනවා. හැබැයි ඒ මොන දේ කළත් ගෙදර අපි කුඹුරු කළා. පවුලේ සාමාජිකයෝ අම්මා තාත්තා එක්ක දහදෙනෙක් නිසා ගෙදර බත් මුට්ටිය ලොකුයි. ඉතින් ඒ හාල් ටික කුඹුරෙන් ගන්න එක තමයි ඒ කාලේ ගොවිතැන කරන කෙනෙකුගේ සතුට වෙන්නේ. අපිට ලොකුවට කුඹුරු නොතිබුණ නිසා, දෙකෙන් පංගුවට කුඹුරු වැඩ කළා. මම ඒ වැඩවලදි තාත්තට ලොකු සහයෝගයක් දුන්නා. ඒ කාලේ අමුමිරිස්, කොළපළා, වම්බටු, බණ්ඩක්කා, මෑ වගේ දේවලුත් වත්තේ හිටෙව්වා. ආහාර අර්බුදයක් ආපු සිරිමා මැතිනියගේ කාලෙත් මම මඤ්ඤොක්කා වගා කළා. ඒ වගේම එතකොටත් අද වගේ නිතරම කතා කළේ වගාව ගැනයි.”
ඔහු දැනට ජීවත්වන කැලණිමුල්ල නිවසේ සිට, කාර්යාලයට ඒමට පිටත්වන්නේ පාන්දරය. ඒ වනවිට එම මාර්ගයේ බස් ගමන් වාරයද අරඹා නැති බැවින් පයින්ම ප්‍රධාන පාරට පිවිසේ.
“මම එච්චර උදෙන් එන්නේ පැළවලට, වගාවට සාත්තු කරන්න ඕන නිසයි. මේ දවස්වල බසුත් නැති නිසා ඇස් වාට්ටුව ගාවින් බැහැලා ඔෆිස් එකට එන්නේ පයින්. සමහර දවස්වලට මම හය, හයහමාර වෙද්දි ඔෆිස් එකට ඇවිත්. ඒ ඇවිත් අට, අටහමාර වෙද්දි වගාවේ සාත්තු සප්පායම් කටයුතු ඉවර කරනවා. ඊළඟට කාර්යාල පවිත්‍රතා කටයුතු කරනවා. ඊටපස්සෙත් ඉඩ ලැබෙන හැම මොහොතකම මම ඉන්නේ මේ ගෙවත්තේ. මෑ වර්ග, පතෝල, තිබ්බටු, වම්බටු, බණ්ඩක්කා, වැටකොලු, මුරුංගා, කතුරුමුරුංගා, කූරිඤ්ඤං කොළ වගේම කෙසෙල් වර්ග කිහිපයක් තියෙනවා. මෑතකදී හිටවපු පේර ගහත්, අඹ ගහත් පීදිලා. ඇත්තටම මේ පරිසරය එක්ක ඉඳිද්දී මට පුදුමාකාර සතුටක් දැනෙනවා. ඔෆිස් එකේ කවුරුහරි කරපිංචා ටිකක්, කොළ වර්ග ටිකක් ඉල්ලුවොත් මම බොහොම කැමැත්තෙන් ඒ ඉල්ලීම ඉටු කරනවා.”
ඔහු කියන්නේ ගහක ගෙඩියක්, මලක්, කරලක් දැකීම වාගේම, ඒ වෙනුවෙන් කැපවෙන්නට ලැබීම තම හිත සතුටට පත්කරන කාරණයක් බවයි. ඒ වාගේම මෙම වගාවට අලුත් අලුත් බෝග වර්ග එක්කර ගනිමින් ඇස පිනවන පරිසරයක් දැකීමට ඔහු කැමතිය.
කලක් විදෙස් රැකියාවක්ද කර ඇති දිසානායක, දියණියන් තිදෙනෙකු හා පුතෙකුගේ පියෙකි. ඔවුන් සිව්දෙනාම දැන් විවාහකය.
“ජීවිතේ ලොකු බරක් මට දැන් නැහැ. මමයි මගේ නෝනා නන්දනීයි ආදරෙන් ඉන්නවා. මම පාන්දර ගෙදරින් එද්දි එයා මැසිවිල්ලක් නැතුව මට උදේට දවල්ට බත් මුල් දෙක බැඳලා දෙනවා. වගාවට මගේ කැමැත්ත එයා දන්නවා. කුලියට හිටියත් ඒ මිදුලෙත් මඤ්ඤොක්කා දණ්ඩක් හරි හිටවන එක තමයි මගේ සතුට වෙන්නේ. අපි ගමේ ඉපදිලා ගමේ ගහකොළ එක්ක හැදිලා වැඩිලා පුරුදු මිනිස්සු. ඉස්සර මගේ තාත්තා කියපු දෙයක් තමයි, ‘මළත් කී දේ කරනවා’ කියලා. තොවිල් වැඩ, ශාන්තිකර්මවලදි ඔහුට තිබුණු හැකියාව එක්කයි එහෙම කිව්වේ. ඉතින් ඒ ශාස්ත්‍රය මට පිහිටුනා වගේම මගේ බිරිඳව මට 1977 හමුවෙන්නෙත් ඇගේ මවට ශාන්තිකර්මයක් කරන්න වැල්ලම්පිටියේ ඇගේ නිවසට ගියපු වෙලාවෙයි.”
එදා සිට අද දක්වාම දුක සැප බෙදා ගනිමින්, සෝමා නන්දනී පෙරේරා, දිසානායකගේ ජීවිතයට සවියක්ව හිඳින්නීය.
“මට මේ වගා කටයුත්ත හොඳින් කරගෙන යන්න අවස්ථාව හදලා දුන්නු අපේ පාලන අධිකාරියටත්, මගේ අංශ ප්‍රධානින්ටත් මං ස්තූතිවන්ත වෙනවා. මේ පරිසරයට තවත් භවබෝග එක් කරන්න ඕන කියන අදහස මගේ හිතට එන්න ඒ දිරිමත් කිරීම් හේතුවුණා. වස විස නැති එළවලුවක්, පලතුරක් කියන්නේ කෙනෙකුගේ නිරෝගීකමටත් හේතුවන දෙයක්. අද කෙසෙල් ඇවරියක් කඩෙන් ගත්තොත් ඒකටත් බෙහෙත් ගහලා. ඒත් මම වගාකරපු කෙසෙල් කැනක් ස්වාභාවිකව පැහිලා, ඉදිලා අපේ කාර්යාලයේ උදවිය ආහාරයට ගන්නවා දකිද්දි ඒ දැනෙන සතුට නිමක් නැහැ. ඒ සතුට මිස වෙනත් ලාභ ප්‍රයෝජනයක් බලාගෙන මම වගා කරන්නේ නැහැ.”
කොළඹ හතේ කාර්යාලයක සාර්ථක වගාබිමක් පවත්වාගෙන යමින්, ඔහු දෙන පණිවුඩය නම් උත්සාහය, කැපවීම, උනන්දුව ඇත්නම් තැන කොතැන වුවත් බෝග වගාවකට පණදීම අසීරු කටයුත්තක් නොවන බවය.
දීපා වසන්ති එදිරිසිංහ
ඡායාරූප – ඒෂාන් දසනායක