විශේෂාංග

නැති අත ගැන නෙවෙයි අතක් නැතුව ආපු දුර ගැන විතරක් මගෙන් අහන්න

කෙලී නොක්ස් (Kelly Nokes) ඉපදුණේ එංගලන්තයේ. හැබැයි ඇය ඉපදුණු දවසේ වෙන අම්මලාට වගේ කෙලීගේ අම්මට නම් සතුටු වෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මොකද පුංචි කෙලී ඉපදිලා තිබුණේ එක් අතක් නැති ආබාධිත දරුවෙක් විදිහට. ඒ හින්දම දරුවෙක් ලැබුණු සතුටට හිනාවෙන අම්මලා අතරේ ඒ අම්මට වුණේ තමන් වදපු පුංචි කෙල්ල දිහා බලාගෙන අඬන්න.

දරුවෙක්ගේ පුංචි කාලේ කොච්චර සුන්දර වුණත් වැළමිට ළඟින් වමත නැති කෙලීගෙ පුංචි කාලේ නම් එච්චර සුන්දර වුණේ නෑ. පාසලේ යාළුවෝ ඇයට දුටු තැන විහිලු කළා. අතක් නැති කෙල්ල කියලා මූණටම කිව්වා. සමහරු එයාට ඇඟිල්ලෙන් ඇනලා දිව්වා.

ඒ නිසාම ඇය ලොකු මානසික පීඩනයක් එක්කයි හිටියේ. ඉතින් ඇය නිතරම හිතුවේ ඒ මානසික පීඩනයෙන් ගැළවෙන විදිහක් ගැන. ඔය අතරෙයි ඇයට මතක්වුණේ වරක් අම්මගේ මිතුරියක් ඇය දිහා බලාගෙන කියපු කතාවක්.

බලන්න කෙලීගේ අම්මේ ඔයාට හරිම ලස්සන දුවක් ඉන්නවා. එයාට හැමදේම තියෙනවා. අම්මෙක් ඉන්නවා. තාත්තෙක් ඉන්නවා. ලස්සන සහෝදරයෝ දෙන්නෙකුත් ඉන්නවා. අනේ මේ කෙල්ලගේ අනිත් අතත් තිබුණා නම් එයාගේ හැමදේම වගේ සම්පූර්ණයි.

ඇගේ කතාවෙ කෙලීට මතක තිබුණේ තමන් හරි ලස්සනයි කියලා කියපු එක මිසක් තමන්ගෙ අඩුපාඩුව නෙවෙයි. ඒ වෙලාවෙම කණ්ණාඩිය ඉස්සරහට ගිය කෙලී තමන්ගේ දිහා ඕනකමින් බැලුවා. ඒ බැලුවේ තමන් ඇත්තටම ලස්සනයිද කියලා.

මං එදා තමයි හිතුවේ නිරූපණ ශිල්පිනියක් වෙන්න ඕනේ කියලා. ඒ වෙනකොට නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙන ආබාධිත තරුණියෝ කවුරුත්ම මං දැකලා තිබුණේ නෑ. ඉතින් මං හිතුවා මගෙන් ඒ අඩුව පුරවන්න ඕනේ කියලා.

පටන් ගැන්ම එහෙම වුණත් හිතපු තැනට යන්න ඇයට ලේසිවුණේ නෑ. කොටින්ම කිව්වොත් ඇය නිරූපණ ක්ෂේත්‍රය ඇතුළේ තනිකරම විහිලුවක් වුණා. අතක් නැතිව කොහොමද මොඩ්ලින් කරන්නේ කියලයි හැමෝම වගේ ඇහුවේ. ඒත් ඇයගේ ආත්ම ශක්තිය ඒ හැමදේටම වඩා තිබුණේ ඉහළින්. ඒ නිසාම ඇයට ඇගේ හීනයට යන්න වැඩි කාලයක් ගියේ නෑ.

අද කෙලී කියන්නේ එංගලන්තයේ ඉන්න ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි දෙදරු මවක්. කොතරම් නිරූපණ ශිල්පිනියන් හිටියත් ඒ හැමෝටම වඩා විශේෂ අවධානයකුත් මේ වෙනකොට කෙලීට තියෙනවා. ඒකට හේතුව ඇගේ ආබාධිත බව. සමහර අහිමිවීම් ඇතැම් තැන්වලදි ජීවිතයට පැහැදිලි ආශිර්වාදයක් වෙනවා කියන්නේ ඒකයි.

කෙලී ඔයාට මෙච්චර අඩුපාඩුවක් තියෙද්දිත් මේ තරම් ඉදිරියට ආවේ කොහොමද?

වරක් නිරූපණ තරඟයක් අතරතුරේ විදෙස් මාධ්‍යවේදියෙක් ඇයගෙන් ඇහුවේ එහෙම කතාවක්. ඒත් ඒකට උත්තරයක් දෙනවා වෙනුවට කෙලී කළේ පෙරළා ඔහුට ප්‍රශ්නයක් යොමුකරපු එක.

මොකක්ද මගේ අඩුපාඩුව?

ඇගේ ඒ ප්‍රශ්න කිරීමට නම් මාධ්‍යවේදියාට හිනා ගියා. ඒ හිනාවට හේතුව වුණේ තමන් සතුව පැහැදිලි අඩුපාඩුවක් තිබිලත් ඇය අහපු අප්‍රභංස ප්‍රශ්නය නිසා.

ඔබේ එක අතක් නෑනේ කෙලී.

මාධ්‍යවේදියාගේ උත්තරයට එවර හිනාගියේ කෙලීට. යාන්තමට හිනාවෙලා ඇය ඔහුට දුන්නේ හරි අපූරු උත්තරයක්.

මට නම් මගේ කිසිම අඩුපාඩුවක් පේන්නේ නෑ. ඔයා වගේම මමත් සම්පූර්ණ මනුස්සයෙක්.

ඒ වෙලාවේ මාධ්‍යවේදියාටත් කටඋත්තර නැතිව ගියා. මොකද ඔහු හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ කතාවකුයි ඇය ඒ මොහොතේ කිව්වේ. ඉතින් කෙලී දෙන ඒ වගේ උත්තර නිසා දැන් නම් ගොඩාක් මිනිස්සු ඇයගේ ආබාධය ගැන ප්‍රශ්න කරන්න යන්නේ නෑ.

මිනිස්සු මගෙන් හැමවෙලේම අහන කතාවක් තියෙනවා. ඒ ඔයා කොහොමද තනි අතකින් වැඩ කරගන්නේ කියලා. ඒ වෙලාවට මං එයාලට කියනවා මට එහෙම අඩුපාඩුවක් දැනෙන්නේ නෑ කියලා.

කෙලී එහෙම කියද්දි වරක් ලෝකයේ ප්‍රසිද්ධ ආයතනයක් වෙන P&G ආයතනය කෙලී ගැන හරි අපූරු කතාවක් කිව්වා. ඒ වීනස් දෙවඟනට පසු මෙලොව වෙසෙන රූමත්ම යුවතිය ඇය කියලා. ඔවුන් සඳහන් කළේ, ඇගේ විශේෂත්වය ලෝක ප්‍රකට වීනස් දෙවඟනගේ පිළිමය හා සමානව වම් අතේ වැලමිට දක්වා පමණක් පිහිටීම බවයි. තාමත් වයස අවුරුදු තිස්අටක් වෙන කෙලී සැබෑවටම ආබාධිත මිනිසුන්ට ලොකු ආදර්ශයක්. මොකක් හෝ පෙර පවකට ආබාධිත වී ඉපදීම ජීවිත කාලය පුරාවටම අඬන්නට හේතුවක් නොවෙන බවයි ඇය නිතරම කියන්නේ.

 

රුවන් එස්.සෙනවිරත්න