ඇහිබැම හාවෙච්චි එකී දඩබ්බරී
‘කිහිල්ල ඔබේ කම්මුල් මෙන් සිනිඳු විය යුතු අතර ඔබේ හුස්ම මෙන් මිහිරි විය යුතුය.’
එකදාස් නවසිය මුල් ගණන්වල ජිලෙට් සමාගම කාන්තාවන්ට රේසර් එකක් හඳුන්වලා දෙනකොට ඒ යටින් ගහලා තිබුණු ටැග්ලයින් එක තමයි ඔය.
කාන්තාවක් වුණාම බොහොම මටසිළුටු, සිනිඳු හමක් තියෙන කෙනෙක් වෙන්න ඕන කියලා කියනවනේ. එහෙම බැලුවම නම් ඉතින් මේක රේසරයක් ප්‍රවර්ධන කරන්න කියාපු තේමා පාඨයක්.
ඇඟේ රෝම වැඩිපුර තියෙන පුරුෂයන්ගේ පෞරුෂය වැඩීලු. පපුවේ මවිල් තියෙනවා නම් ඒ පිරිමියාගේ පපුව හරි තෙතමනෙයිලුනේ. ඔය අපි මල් කතා කියලා කට වචනෙට කියන කතාවල පිරිමින්ගේ පපුවල රෝම ගැන කොච්චර වර්ණනා කරනවද? හැබැයි ගෑනුන්ට ඕකේ අනිත් පැත්ත. කාන්තාවකගේ පපුවේ කෙස් තියෙනවා නම් ඇය බොහොම අවාසනාවන්තයි කියලා දේහ ලක්ෂණ විද්‍යාවෙන් කියැවෙනවලු. ඇඟේ මවිල් වැඩි ගෑනු හරි නපුරුයිලු. ඒ විතරක් යෑ, උඩු තොලේ රෝම වැඩි නම් ඒ කාන්තාව ගෙදරට මූසලයිලු. එතකොට ඇහිබැම එකට හාවෙච්චි කත දඩබ්බරී කියලත් කියනවනේ. ඔය වගේ කට කැඩිච්චි කතා නිසා ගෑනු අය අනවශ්‍ය රෝමවලට හරි බයයි. අනික සමේ පැහැපත්බව නැති කරන නිසා ගොඩක් අය අනවශ්‍ය රෝමවලට අකමැතියි. ගෑනු පිරිමි මේ ඕනම කෙනෙක්ගේ ශරීර ලක්ෂණ ඇතිවෙන්නේ දෙමාපිය ජානවලින් කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන නිසා ඔය පළවෙනි කාරණාව ගැන හිතන එක නිෂ්ඵලයි. හැබැයි දෙවැනි කාරණාවේ පුංචි ඇත්තකුත් තියෙන නිසා අනවශ්‍ය රෝම ගැන ටිකක් හිතන එක හොඳයි.
අනවශ්‍ය රෝම රූපෙට ආදරේ කරන කාන්තාවන්ට ඉස්සර ඉඳලම වදයක් වුණු දෙයක්. පුරාණ ඊජිප්තු ජාතිකයෝ ශරීරයේ රෝම තියෙන කාන්තාවන් බොහොම අපිරිසිදු අය හැටියටත්, රෝම අවම අය පිරිසිදු, සුන්දර කාන්තාවන් හැටියටත් සැලකූ බවට සාක්ෂි තියෙනවා. එක්දාස් පන්සිය ගණන්වල එංගලන්තයේ හිටපු පළමු එලිසබත් රැජිණ රූපලාවණ්‍ය පැත්තට බොහොම බරයිලුනේ. ඉතින් ඇය රටේ ඉන්න හැම කාන්තාවක්ම අනිවාර්යයෙන්ම රෝම ඉවත් කරන්න ඕනේ කියලා නීතියක් පැනෙව්වලු. රෝම ඉවත් කරන්නේ නැති අයට දඩ ගහන්නත් පටන්ගත්තලු. රැජිණගේ දඩේට බයේ රටේම කාන්තාවෝ සතියකට සැරයක් බළල් වසුරුවලට වෝල්නට් තෙලුයි, විනාකිරියි මිශ්‍ර කරලා ශේවින් ක්‍රීම් එකක් විදිහට ඇඟේ ආලේප කරලා පිහි තුඩුවලින් රෝම ඉවත් කරනවලු.
ටෙස්ටොස්ටෙරෝන් කියන පුරුෂ හෝර්මෝනය නිසා තමයි ශරීරයේ රෝම ඇතිවෙන්නේ. හැබැයි කාන්තාවන්ගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය අඩුයි. හැබැයි නැත්තෙමත් නෑ හොඳේ. ඒ නිසා තමයි ගෑනු අයගෙත් අත්යට එතකොට ලිංගාශ්‍රිත ප්‍රදේශවල ටිකක් ඝණකමට රෝම ඇතිවෙන්නේ. හැබැයි සමහර කාන්තාවන් ඉන්නවා ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය සාපේක්ෂව තරමක් වැඩි. එතකොට උඩු තොලේ, කම්මුල් දෙපැත්තේ, පපු ප්‍රදේශයේ වගේ රෝම ටිකක් වැඩිපුර වැවෙනවා. ඒ වගේම රෝම ඝණත්වයෙන් ටිකක් වැඩියි. ටෙස්ටොස්ටෙරෝන් ඕනවටත් වඩා වැඩි නම් රෝම වර්ධනය එක්ක ඔසප් චක්‍රයෙත් ගැටලු ඇතිවෙනවා. එතකොට නම් ඉතින් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මුණගැහෙන්න යන්නම ඕනේ.
එහෙම ගැටලු නැති අයට අනවශ්‍ය රෝම ඉවත් කරන්න ඕනතරම් ක්‍රම සහ විදි තියෙනවා. ශේවින්, ත්‍රෙඩින්, වැක්සින් ඔය හැම එකකම ගුණ අගුණ අපිත් ඔයාලා එක්ක කතා කරලා තියෙනවනේ. හැබැයි අද කියන්නේ ගෙදර තියෙන දේ වලින් ස්වාභාවිකව අනවශ්‍ය රෝම ඉවත් කරගන්න හැටි. ඔය අනිත් රෝම ඉවත් කිරීමේ ක්‍රමවල තියෙන අතුරු ගැටලු මෙව්වගේ නැහැ. කොටින්ම කිව්වොත් මේවගෙන් ඇඟේ තියෙන මවිල් ගහකටවත් හානියක් නැතුව මවිල් ගස් ටික ගලවන්න පුළුවන්. අනික මේ සත්කාරවලින් සමත් පැහැපත් වෙනවා. ඒ නිසා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියලා දැන් අපි ඒ ගැන බලමු.
මුලින්ම නැවුම් කිරි මේස හැඳි දෙකක් ලිපේ තියලා ටිකක් උණු කරන්න. කිරි ටික නිවෙන්න තියලා ජෙලටින් තේ හැන්දක් එකතු කරන්න. මේකට මී පැණි ටිකකුත් එකතු කරලා මුහුණේ ආලේප කරන්න. විනාඩි තිහක් විතර තියලා මාස්ක් එක අතින් ගලවන්න. එතකොට රෝමත් එක්කම මාස්ක් එකේ කෑලි ගැලවිලා එනවා. පස්සේ මුහුණ අයිස් කැටයකින් පිරිසුදු කරගන්න.
ඊළඟ එක කඩල පිටි මේස හැඳි තුනකට කහ මේස හැන්දක්, ලෙමන් යුෂ මේස හැන්දක් සහ සුදුහඳුන් මේස හැන්දක් එකතු කරලා මුහුණේ ආලේප කරන්න. ඊටපස්සෙ ජලය යොදන්නේ නැතුව මුහුණ මෘදුව පිරිමැදලා මාස්ක් එක අයින් කරන්න. මේ සත්කාරය ගෑව හැටියේ මැජික් එකකින් වගේ රෝම ඉවත් වෙන්නේ නැහැ. මේක දිනපතා මාසයක් ආලේප කරනවා නම් මුහුණේ රෝමවල පැහැදිලි වෙනසක් දැකගන්න පුළුවන් වෙයි.
මේක අනවශ්‍ය රෝම අයින් කරගන්න ක්ලියෝපැට්‍රා කරපු සත්කාරයක්. රෝම මත දෙහි සහ මී පැණි ආලේප කරලා විනාඩි විස්සකින් සෝදන්න. මේ සත්කාරයෙන් රෝම වැවීම ප්‍රමාද වෙනවා ඒ වගේම රෝමවල ඝණත්වත් අඩු වෙනවා.
කඩල පිටිවලට සුපිරිසිදු පොල් තෙල්, රෝස වතුර එකතු කරලා මුහුණේ ආලේප කරන්න. විනාඩි විස්සක් තියලා ජලය නොයොදා කවාකාරව පිරිමදින්න. මේක සතියකට දෙවතාවක් කරන්න. සති පහකට පස්සේ රෝමවල සැබෑ වෙනසක් දැකගන්න පුළුවන් වෙයි.
ගස්ලබු, කහ, කඩල පිටි එකට මිශ්‍ර කරලා ආලේප කරන්න. ගස්ලබුවල තියෙන පැපේන් එන්සයිමය නිසා රෝම හැලිලා යනවා.
අත් කකුල්වලට සබන් හරි ශවර් ජෙල් හරි ආලේප කරලා පියුම්ක් ගලක් අරන් කවාකාරව පිරිමදින්න. සතියකට වතාවක් කරනවා නම් රෝම ඇතිවීම අවම කරගන්න පුළුවන්.
මේ සත්කාර රහස්‍ය ප්‍රදේශයේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න යොදාගන්න එපා. මේවා කරනවට අමතරව සෝයා නිෂ්පාදන, සූරියකාන්ත ඇට, හණ ඇට, සුදුලූනු, ඕට්ස්, වියළි පලතුරු, මුංඇට, පරිප්පු, පීච්, බාර්ලි වගේ දේවල් නිතරම ආහාරයට ගන්න. ශරීරයේ හෝර්මෝන සමබර කරලා රෝම ඇතිවීම පාලනය කරන්න ඔය ආහාරවලට පුළුවන්.
සෙව්වන්දි හෙට්ටිආරච්චි