විශේෂාංග

අර චිප්ස් මේ චිප්ස් වගේද පොල් ලෙලි චිප්ස්

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

මීට අවුරුදු එකසිය ගාණකට ඉස්සර දවසක වැල්ලවත්ත වෙස්ලි කොලේජ් එකේ පංතියක හිටපු පුංචි ළමයින්ට ‘පොල් ගස’ කියන මාතෘකාව යටතේ රචනාවක් ලියන්න දුන්නලු. එතකොට දරුවෝ හැමෝම වගේ ලියලා තිබුණේ ‘පොල් ගස තාල වර්ගයේ ගසකි, පොල් ගසෙන් ප්‍රයෝජන රාශියක් ගත හැකිය’ වගේ දේවල්ලු. හැබැයි ඔය අතරේ හිටිය එක ළමයෙක් විතරක් පොල් ගහ ගැන බොහොම අපූරු කතාවක් ලියලා තිබ්බලු. ‘පොල් ගස මහ පුදුම ගසකි, ඒ ගසෙන් තවත් ගසක් සාදයි, ඒ නම් මෝල් ගසය.’මේ දරුවා නම් කවදා හරි ලේඛකයෙක් වෙයි කියලා ඒ පංතියේ ගුරුතුමිය එවලේම හිතාගත්තලු. ඒ දරුවා වෙනින් කවුරුත් නෙමෙයි, ‘විජයබා කොල්ලය’, ‘හිඟන කොල්ලා’, ‘සිරියලතා’ වගේ කතා ලිව් ඩබ්ලියු.ඒ.සිල්වා මහත්තයා.

ඔහු එදා කිව් කතාව ඇත්ත බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ. පොල් ගහ මහ පුදුම ගහක්. හැබැයි පොල් ගහෙන් මෝල් ගස් විතරක්ම නෙමේ තවත් ගස් හදාගන්න පුළුවන්. අද කියලා දෙන්න හදන්නේ ඒ ගැන.

පොල් ගහ කියන්නේත් මූලයේ ඉඳලා කරටිය දක්වාම ප්‍රයෝජන තියෙන ගහක්. ඒකනේ පොල් ගහට කප්රුක කියන්නේ. පොල් ගස ලංකාවට ආවේ දියවැල් ඔස්සේ කියලා සමහරු කියනවා. වෙනත් රටවල නාවිකයෝ ලංකාවට පොල් අරගෙන ආවා කියලත් විශ්වාස කරනවා. කොහොම නමුත් දුටුගැමුණු රජතුමාගේ කාලේත් (ක්‍රි: පූ 161-137) මිනිස්සු පොල් ගසෙන් විවිධ ප්‍රයෝජන ගත්තා කියලා මහාවංශයේ සඳහන්. ඒ කාලේ පොල් හඳුන්වලා තියෙන්නේ ‘මහාරුක’ කියලයි.

ඉතින් මේ මහාරුකේ කොටස්වලින් කරන්න පුළුවන් ස්වයං රැකියා කිහිපයක් අපි මීට කලිනුත් කියලා දීලා තියෙනවා. පොල් ලෙල්ල කියන්නේත් ඒ වගේම සල්ලි මවන්න පුළුවන් නිධානයක්. පොල් ලෙල්ල ලණු, පාපිසි, කොසු වගේ පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදනවලට යොදාගන්නවා. හැබැයි ඒ සඳහාත් භාවිත කරන්නේ පොල් ලෙලිවලින් 45%ක් විතරයිලු. අනිත් කොටස අපතේ හරිනවා කියලයි කියන්නේ.

අද කියලා දෙන්නේ පොල් ලෙල්ලෙන් කරන්න පුළුවන් බිස්නස් එකක් ගැන. පොල් ලෙලි චිප්ස් නිෂ්පාදනය. පොල් ලෙලි චිප්ස් තුළ හොඳ ජල ධාරිතාවක් රඳවා ගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් පොල් ලෙලි කෑල්ලේ බර වගේ නවගුණයක ජලය මේ තුළ රැඳෙනවා. ඒ නිසා මේවා ඍජුව වගේම වගා මාධ්‍යන්ට මිශ්‍ර කරලත් ගස්වලට යොදනවා. ඒ වගේම පොල් ලෙලිවල පෝෂක නිසා ගස් වේගයෙන් වර්ධනය වෙනවා. ඉතින් පොල් ගහෙන් මෝල් ගහට අමතරව තවස් ගස් හදාගන්න පුළුවන් කියලා කිව්ව කතාව ඇත්ත නේද?

ඕකිඩ්, ඇන්තූරියම් වගේ මල් සරුවට වවාගන්නත් බොහෝදෙනෙක් මේ චිප්ස් යොදාගන්නවා. මේ දවස්වල බොහෝදෙනා ගෙවතු වගාවට යොමු වෙලා. වගාබිම් ඇතිරිලි විදිහට වගේම උද්‍යාන අලංකරණ කටයුතුවලටත් පොල් ලෙලි චිප්ස් යොදාගන්නවා.

ලංකාවේ ඉන්න උදවියගෙන් වගේම පිටරට ඉන්න අයගෙනුත් පොල් ලෙලි චිප්ස්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. මේවා හදාගන්න යන්ත්‍ර සූත්‍ර පවා වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. හැබැයි අද අපි කියලා දෙන්නේ මැෂින් එකක් නැතුවම පොල් ලෙලි චිප්ස් හදන හැටි. මෙහෙම පුංචියට පටන්ගන්න බිස්නස් එක සරුසාර වුණාම චිප්ස් හදන මැෂින් එකක් ගන්න බැරියෑ ඉතින් නේද?

හරි මුලින්ම මේ වැඩේට අවශ්‍ය කරන පොල් ලෙලි හොයාගන්න. ගෙදර භාවිත කරන පොල් ලෙලි සහ අහල පහල උදවියගෙනුත් පොල් ලෙලි ටිකක් ඉල්ලගන්න බැරි නැහැනේ. ඉතාම අඩු මුදලට පොල් ලෙලි අලෙවි කරන අය එහෙමත් ඉන්නවා.

පොල් ලෙලි ගන්නකොට දිරපු නැති මදය කොටස මහතට තියෙන පොල් ලෙලි තෝරගන්න. පොල් ලෙලිවලට අමතරව මේකට හොඳින් මුවහත් පිහියක්, ඉටි කොළයක්, ලී කොට කෑල්ලක් එහෙමත් ඕනේ.

 

පියවර 1

මතුපිට තියෙන වැලි, මඩ වගේ දේවල් ඉවත් කරලා සතියක් විතර පොල් ලෙලි ටික පොඟවා ගන්න. මේහෙම කළහම පොල් ලෙල්ල කපන්න වගේම ලෙල්ලේ තියෙන ලවණ ස්වභාවය ඉවත් කරගන්න පහසුයි.

 

පියවර 2

පස්සේ පොල් ලෙලි ටික සිහින් තීරුවලට ඉරාගන්න. ඊටපස්සේ ඉටි කොළය බිමට එළලා, ලී කොටය මත තියලා කොටු හැඩයට කපාගන්න. ඕකිඩ්, ඇන්තූරියම් වගේ මල් වර්ග සඳහා අලෙවි කරන්න හිතනවානම් පොල් ලෙලි අඟල් බාගයක් වෙන්න කපන්න. වගා මාධ්‍ය සඳහා නම් අඟල් එක හමාරක් වෙන්න කැපුවම ප්‍රමාණවත්.

 

පියවර 3

අවසානයට කපාගත්තු චිප්ස් ටික දවස් තුන හතරක් අව්වේ වේලගෙන අනවශ්‍ය කෙඳි ආදිය ඉවත් කරලා ඇසුරුම් කරන්න.

 

පොල් ලෙලි චිප්ස් කිලෝ එකක් රුපියල් 100කට අලෙවි කරන්න පුළුවන්. මේ ගැන තවත් විස්තර දැනගන්න 0714766819 අංකයට කතා කරන්න පුළුවන්.

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි