අත හොලවන්නේ නැතුව කට හොලවන්න විදියක් ඇත්තෙම නැද්ද නෝනේ?
“එහා ගෙදර නෝනව නේද ටීවී එකේ පෙන්නුවේ? අපි දන්නෙත් නැහැනේ ඒ නෝනා බිස්නස් එකක් කරනවා කියලා.” පාල තමන්ගේ බිරිඳ රමණිට කිව්වේ පුදුමයෙන් වගේ.
“ඒක නේන්නම්. හරි හිත හොඳ නෝනා කෙනෙක් වගේ. ටීවී එකේ දැම්මේ ඉස්කෝලවල දුප්පත් ළමයින්ටත් පොත් අරන් දෙනවා කියලා. මටත් හිතෙනවා ගිහින් ඒ නෝනව හම්බෙන්න.”
රමණි කියද්දී පාල ගැස්සිලා බැලුවා.
“ඒ මොකටද?”
“අපේ පොඩි එකීගේ අසනීපය ගැන කිව්වොත් මොනවා හරි උදව්වක් කරයිනේ.” රමණි කිව්වේ බලාපොරොත්තු දල්වාගෙන.
උදේම ගේට්ටුවේ බෙල් එක ගහපු රමණිව ගෙට ගත්ත සුමාලි හොඳට හිනාවුණා.
“මම ඔයාව නිතර දැකලා තියෙනවා කතා කරලා නැති වුණාට. ඉතින්, මේ ආවේ ඇයි?”
“අනේ නෝනා, ඇත්තටම මම මේ ආවේ මගේ ප්රශ්නයක් ගැන කියන්න.” රමණි යටහත් පහත්ව කිව්වා.
“ඔව්. කියන්න ඕනේ දෙයක්. අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා.”
“මගේ පොඩි එකීගෙ කකුලේ පොඩි ඇදයක් තියෙනවා. දැනට ටිකක් උස සපත්තුවක් දාන්න කියලා තමයි දොස්තරලා කිව්වේ. පස්සේ ඔපරේෂන් එකක් කරමු කිව්වා. අනේ අපේ මහත්තයටත් හරි හමන් රස්සාවක් නැහැ නෝනා.”
“ආ, හස්බන්ඩ් මොනවද කරන්නේ රමණි?” සුමාලි ඇහුවා.
“මේසන් වැඩ කරන්නේ. ගෙවල් හදන කාලවලදී තමයි සල්ලි ටිකක් ලැබෙන්නේ.”
“ආ.. රමණි මොකද කරන්නේ?”
“මම නම් මුකුත් කරන්නේ නැහැ.”
“ගෙදර තව කවුද ඉන්නේ?”
“මහත්තයගේ අම්මයි, තාත්තයි, බැඳපු නැති අක්කයි ඉන්නවා නෝනා.”
“ගෙදර කීපදෙනෙක්ම ඉන්නවනේ. මම කැමතියි රමණිට මෙහෙම යෝජනාවක් ගේන්න. මම කරන්නේ ගාමන්ට් එකක්නේ. මම මගේ ඕඩර්ස් කීපයක් රමණිට දෙන්නම්.”
“අනේ මම මහන්න දන්නේ නැහැ නෝනා. අනිත් එක ගෙදර වැඩත් එක්ක ඕවට වෙලාවකුත් නැහැනේ.” රමණි එකවරම කියද්දී සුමාලිගේ හිතට දැනුණේ නුහුරක්. උනන්දුවක් තියෙනවා නම් මහන්න ඉගෙනගන්න බැරිකමක් නැහැනේ කියලා හිතුණත්, සුමාලි කට ඉස්සර කරගන්න ගියේ නැහැ.
“ආ… එහෙනම් කමක් නැහැ. රමණිට උයන්න පුළුවන්ද?”
“හොඳට පුළුවන් නෝනා.”
“එහෙනම් රමණි උයන්න පටන්ගන්න. මුලින් ඕනේ එළවලු, මාළු ටික මම ගෙනත් දෙන්නම්. අපේ ගාමන්ට් එකේ ගොඩක් අය කන්නේ කඩෙන්. මට පුළුවන් එයාලට කියන්න රමණිගේ කෑම ගන්න කියලා.” සුමාලි කියද්දීම රමණිගේ හිතට නොරිස්සුමක් දැනුණා.
“අනේ නෝනා… ඇත්තටම මට ඕවා කරන්න වෙලාවක් නැහැ. ගෙදර ඉද්දි නැන්දම්මා වැඩ කියනවනේ.”
“ආ මට තේරෙනවා. එහෙනම් මෙහෙම කරමු. අපේ ගාමන්ට් එකට ඔයත් එන්න. මහන්නත් අමාරුයි කිව්වනේ. මහන කට්ටියට ටී සර්ව් කරන වැඩේ මම රමණිට දෙන්නම්. හොඳ සැලරි එකකුත් දෙන්නම්.”
“අනේ මේ නෝනා, අපේ පාල කැමති නැහැ මම රස්සාවක් කරනවට. මම නෝනා ගාවට රස්සා කරන්න අදහස් ඉල්ලගෙන ආවේ නැහැ. නෝනට පුළුවන් නම් අපිට පුළුවන් විදිහකට ආධාරයක් කරන්න.” එවර රමණි වේගයෙන් කියාගෙන ගියා. රමණිගේ හිතේ තිබුණු තරහ ඒ කටහඬට එකතු වෙලා තිබුණා.
ඒත් සුමාලි කලබල වුණේ නැහැ. හොඳට හිනාවෙලා සුමාලි මෙහෙම කිව්වා.
“රමණි, මම මෙතනට ආවේ නිකන් ඉඳලා නෙවෙයි. මහන්සි වෙලයි. නිකන් ඉන්න ඔයාගෙයි, මහන්සි වුණ මගෙයි වෙනස තියෙන්නේ අන්න එතැනයි. ඔයාට හොඳ ජීවිතයක් ගත කරන්න ඕනේ නම් නිකන් ඉඳලා, අනුන්ගෙන් ඉල්ල ඉල්ලා ගිහින් කවදාවත් ඔයාලට ඉස්සරහට එන්න බැහැ.”
එතකොටම රමණි නැගිට්ටා. එහෙම ගස්සාගෙන ගේට්ටුවෙන් පිටවෙලා යන රමණි දිහා බලාගෙන සුමාලි සුසුමක් හෙලුවා.
“මාලිගාව වගේ ගෙවල් තිබුණට, මහ ලොකු සම්මාන ගත්තට ලෝභකම උතුරනවා. අනේ ඉතින් ඕවා මැරෙද්දි අරගෙන යන්නද? එකතු කරගෙන ගොඩ ගහන එකේ අපි වගේ අසරණයෙක්ට පිහිට වුණා නම් මොනවා වෙනවද? හොඳක් වෙන්න එපා ඔය කුණු ගෑනිට.” පාර දිගේ හමුවෙන අය එක්ක සුමාලිට බැන බැන රමණි ගෙදර ගියා.
සමාධි ඩයස්