විශේෂාංග

කන්න විතරක් නෙවෙයි විකුණන්නත් හොඳයි ලුණුදෙහි

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

දවසක් මහාසම්මත රජ්ජුරුවන්ගේ බිසොවුන් වෙච්චි මැණික්පාල දේවියට කරාපු විනයක් කපන්න දෙහි ගෙඩි හතක් උවමනා වුණාලු. හැබැයි වැඩේ කියන්නේ ඔය කාලේ දෙහි තිබුණේ නාග ලෝකේ විතරයිලු. ඉතින් මේ නිසා මහාසම්මත රජ්ජුරුවො බොහොම සංතාපෙන්ලු හිටියේ. රජුන්ගේ දුක දැකපු සක් ඳෙවිඳු ගුරුළුගොයෙකුගේ වෙස් අරගෙන දෙහි ගේන්න නාග ලෝකෙට ගියාලු. ඉතින් මේ ගුරුළුගොයා දැකපු නාගයෝ සේරම බියට පත්වෙලා සැඟවුණාලු. ඊටපස්සේ සක් ඳෙවිඳු නාග ලෝකෙන් දෙහි ගෙඩි අටක් අරගෙන ගුරුළු වෙස් ඇරලා නාගයින්ගේ බයත් නැති කරලා අපහු ඇවිල්ලා දෙහි ගෙඩි හතක් මහාසම්මත රජුන්ට දුන්නලු. ඉතිරි දෙහි ගෙඩිය තමයි ලංකා පොළොවේ හිටෙව්වා කියල කියන්නේ. අපේ රටට දෙහි ලැබුණු විදිය ගැන ජනප්‍රවාද කතාවල කියැවෙන්නේ ඔහොමයි.

හැබැයි ඇත්තටම ලංකාවට දෙහි ලැබුණේ ඉන්දියාවෙන්ලු. දෙහි කියන්නේ පැඟිරි කුලේ පලතුරක්. විටමින් C, B6, A, E ඇතුළු පෝෂණ සංඝටක රාශියක්ම දෙහිවල අඩංගුයි. මේවායේ අඩංගු සිට්‍රික් අම්ලය නිසාලු දෙහි ඔය තරම් ඇඹුල්. පිළිකා සෙල වර්ධනය ප්‍රමාද කරන්න සිට්‍රික්වලට පුළුවන් කියලා වෛද්‍ය විද්‍යාත්මකවත් තහවුරු කරලා තියෙනවා. ඉතින් අද ස්වයං රැකියා පාඩමෙන් කියලා දෙන්නේ දෙහිවලින් කරන්න පුළුවන් බිස්නස් එකක්. ඒ තමයි ලුණුදෙහි ව්‍යාපාරය.

ලුණුදෙහි කියලා කිව්වහම මතකෙට එන සිංදුවක් තියෙනවා.

අපි දෙන්නා එක්වීලා පණ වාගේ ලොවේ ඉන්නේ

හැඩ පෙන්නා හිනැහීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ

ලුණුදෙහිලුණුදෙහි

ලුණුදෙහි ගැන අපූරු විස්තරයක් සුනිල් පෙරේරා මහත්තයගේ ඔය සිංදුවෙනුත් කියැවෙනවා.

සමහරු පොල්සම්බලේට, ලුණුමිරිසට ලුණුදෙහි නොදා අරින්නේ නෑ. කෑම අරුචිය ඇති අයට කෑම රුචිය ඇති කරන්නත් ලුණුදෙහිවලට පුළුවන්. උණක්, හෙම්බිරිස්සාවක් හැදුණහම කටේ පිරිය ඇති කරන්න ලුණුදෙහි කැල්ලක් කටේ දාගන්න කියලා අත්තම්මලා කියනවා අහලා ඇති. ඉස්සර හැම ගෙදරකම වගේ දෙහි ගහක් දෙකක් වැරදුණේ නැහැල්ලු. ඉතින් දෙහි වාරෙට ගස් පල්ලේ වැටෙන දෙහිවලින් ලුණුදෙහි මුට්ටියක් හදන්න ඒ කාලේ කාන්තාවන් අමතක කරන්නේ නැහැල්ලු. අදටත් සමහර අම්මලා ලුණුදෙහි ගෙදරදිම හදාගන්නවා. හැබැයි දැන් තියෙන කාර්යබහුලත්වය එක්ක හැම ගෘහණියකටම ඔය වැඩේ ගෙදර කරන්න බැහැනේ. ඒ නිසා වෙළඳපොළේ තියෙන ලුණුදෙහිවලටත් හොඳ ඉල්ලුමක් තියෙන බව කියන්න ඕනේ. ඒ වගේම ලුණු දෙහි නිෂ්පාදනය ස්වයං රැකියාවක් විදිහට ලාබ ලබන්න පුළුවන් ව්‍යාපාරයක්.

සාමාන්‍යයෙන් ගෙවල්වල ලුණුදෙහි හදන්නේ දෙහි අව්වේ වේලලා එහෙමනේ. හැබැයි අලෙවි කරන්න පහසුවෙන්ම ලුණුදෙහි හදන ක්‍රමයක් තමයි අපි කියලා දෙන්නේ. මුලින්ම අපි දෙහි ගෙඩි දහයකින් වැඩේ පටන්ගමු. දෙහි ගන්නකොට කොළ පාට දෙහි තෝරගන්න. කුඩාත් නැති ඕනවට වඩා විශාලත් නැති සාමාන්‍ය ප්‍රමාණයේ දෙහි ගෙඩි ලුණුදෙහි නිෂ්පාදනයට කදිමයි. සීනි මේස හැඳි 2, විනාකිරි කෝප්ප 1/2, කෑලි මිරිස් මේස හැඳි 1 1/2, කොච්චි අහුරක්, අවශ්‍ය පමණට ලුණු කුඩු හෝ කැට ටිකක් එහෙමත් ලුණුදෙහි නිෂ්පාදනයට අවශ්‍ය වෙනවා.

 

පියවර 1

මුලින්ම දෙහි ගෙඩි පිටින් උණුවතුර භාජනයකට දාලා විනාඩි පහක් විතර තම්බගන්න.

 

පියවර 2

වතුර බේරෙන්න තියලා තීරු හතරක් වෙන්න දෙහි ගෙඩිය කපන්න.

 

පියවර 3

විනාකිරිවලට සීනි, කෑලි මිරිස්, ලුණු, කපාගත්තු දෙහි ටික එහෙම එකතු කරලා මද ගින්නේ විනාඩි 10ක් විතර තම්බගන්න. විනාඩි කිහිපයකින් කොච්චි එකතු කරලා බෝතල් කරන්න. නැත්නම් පොලිතින් බෑග්වල හුළං නොවදින විදිහට ඇසුරුම් කරන්න. සති දෙකක් විතර තියලා අලෙවි කරන්න.

 

ලුණුදෙහි 20g, 50g වගේ කුඩා ප්‍රමාණවලින් වුණත් අලෙවි කරන්නත් පුළුවන්. දෙහි 20g ක් රුපියල් 50/60කට අලෙවි කරන්න පුළුවන්. ලුණුදෙහි නිෂ්පාදනය ගැන වැඩිදුර විස්තරවලට 0714766819 අංකයට කතා කරන්න.

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි