විශේෂාංග

මහත්තයගේ කනට ළංවෙලා කී රහස හැරෙන තැපෑලෙන් ඇයටත් කියන්න

දරුවෙක් කුස තුළ පිළිසිඳගත් රහස සැමියාගේ කනට ළංව ආදරයෙන් මුමුණන බිරිඳක් හැරෙන තැපෑලෙන් ඒ පණිවුඩය තවත් කෙනෙක්ගේ කන තැබිය යුතුය. ඒ අන් කවරකුවත් නොව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියයි.

මාසික ශුද්ධවීම හෙවත්, ආර්තවය සතියක් දෙකක් පමාවන විට ඒ ගැන මිඩ්වයිෆ් නෝනාට දන්වන්න ඕන. එවිට ඇය ඔබේ නිවසට පැමිණ, අවශ්‍ය පරීක්ෂණ සිදුකර ගර්භණීභාවය සනාථ කරගනු ලබනවා. ඒ වගේම ගැබිනි මවක් ලෙස ඔබව ලියාපදිංචි කරගැනීමද කරනු ලබනවා. අනතුරුව ගර්භණී කාලය පුරාවට වැදගත්වන ගර්භණී සටහන් පතක් ලබාදෙනවා. එහිදී කුළුඳුල් දරු ප්‍රසූතියට සූදානම්වන මවක් නම්, ඔබ අතට පත්කළ ගර්භණී සටහන් පතෙහි දකුණු පැත්තේ ඉහළ කෙළවරේ නිල් පැහැති ස්ටිකර් එකක් අලවනු ලබනවා. එමගින් ඔබව පරීක්ෂා කරනු ලබන වෛද්‍යවරයාට කාඩ්පත අතටගත් සැනින් ඔබ පළමු දරු ප්‍රසූතියට සූදානම් වන මවක් ලෙස හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා.

මෙහිදී පෙර ගර්භණී තත්වයකදී ගැටලු ඇතිවී තිබේ නම් හෝ රෝගී තත්ත්වයක් තිබී ඇත්නම්, ඊළඟ ගර්භණී කාලය තුළ ඇති ගැටලුද සලකා බලා ගර්භණී සටහන් පතේ රතු පැහැ ස්ටිකරයක් අලවනු ලබයි. එමගින් විශේෂ අවධානය යොමුකළ යුතු මව්වරුන් ක්ෂණිකව හඳුනාගත හැකිය.

ඒ වගේම පළමුවරට ගැබ්ගත් වැඩි අවධානයක් යොමුකළ යුතු මව්වරුන්ගේ ගර්භණී සටහන් පතේ දකුණුපස ඉහළ කෙළවරේ රතු හා නිල් ස්ටිකර් දෙකක් අලවා තිබෙනවා. එහිදී ඔබට ඒ ගැන වැඩිදුර තොරතුරු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් අසා දැනගත හැකියි. ඒ වගේම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ළ ලියාපදිංචි වීමෙන් ඔබට තවත් වාසි කිහිපයක් ලැබෙනවා.

එහිදී මුළු ගර්භණී කාලය තුළ රැකවරණය හා උපදෙස් ලබාගත හැකි වීම, දරු ප්‍රසූතිය සඳහා මව හා පවුලේ අය සූදානම් කිරීම, මව සහ අලුත උපන් දරුවාට අවශ්‍ය රැකවරණය හා උපදෙස් ලබාගත හැකි වීම ආදී කරුණු රැසක් තිබේ.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් මෙම කරුණු පිළිබඳව පෞද්ගලිකවම සොයාබලන්නේ, රාජකාරියට එහාගිය කැපවීමක්ද සමඟිනි. එහිදී මවට ගර්භණී කාලය තුළත්, ඉන්පසුවත් ඇතිවිය හැකි ගැටලු සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන අතර, අවශ්‍ය විටක වෛද්‍ය උපදේශන සේවා වෙත යොමුකිරීමද සිදුකෙරේ. මෙහිදී මවට මෙන්ම දරුවාටත් අවුරුදු පහක් ගතවනතුරු නිරෝගීව වැඩෙන්නට මගපෙන්වන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියයි.

මේ කාරණාවලට අමතරව දරුවන් අතර පරතරයක් තබාගැනීමට පවුල් සැලසුම් ක්‍රම පිළිබව උපදෙස් දීමත් සිදුකරනවා. ඒ වාගේම මවක් මව් සායනයට සහභාගී වීම කිහිප ආකාරයකින් වැදගත් බව කිව යුතුයි. මව, කවරාකාරයේ සමාජ පසුබිමක හිටියත්, වෙනත් විශේෂඥ වෛද්‍ය සායනවලට සහභාගී වුවත් ගමේ මාතෘ සායනයට සහභාගිවීමේ වාසි කිහිපයක් තිබෙනවා. එහිදී සෑම සායන දිනකම මුත්‍රා පරීක්ෂණයක් සිදුකරගත හැකිවීම, රුධිර පීඩනය පරීක්ෂා කරගත හැකිවීම, බර පරීක්ෂා කරගැනීම මෙන්ම දරුගැබේ වැඩීම පරීක්ෂා කිරීම සිදුකෙරෙනවා. ඊට අමතරව මෙම සියලු පරීක්ෂණ වාර්තා ගර්භණී සටහන් පතෙහි සටහන් කරන අතරම, නිපුණතාවයකින් හෙබි වෛද්‍යවරයෙකු විසින් සායනයට පැමිණෙන සියලුම මව්වරුන් පරීක්ෂාවට ලක්කරනු ලබනවා. මෙහිදී තමාට ඇති අපහසුතාවක් ගැටලුවක් සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා සම සාකච්ඡා කරන්නට ඉඩකඩ සැලසෙනවා. ඊට අමතරව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වෙත ඔබව යොමු කිරීමට අවශ්‍ය නම් එම කටයුත්ත ඉටුකිරීමටද ගමේ මව් සායනය පෙරමුණ ගන්නවා.

මවට අවශ්‍ය සියලු විටමින් වර්ග, එන්නත් හා පණු බෙහෙත් ලබාදීමත් මෙහිදී  සිදුකෙරේ. ඊට අමතරව ගැබිනි මව්වරුන්ට තම තමන්ගේ අත්දැකීම් බෙදාහදාගන්නට මව් සායනය තුළදී අවස්ථාව සැලසේ.

එසේම කුළුඳුල් දරු ප්‍රසූතියට සූදානම් වන මවක් තුළ චකිතයක් තිබීම සාමාන්‍ය දෙයකි. එය යම්තරමකින් හෝ අඩු කිරීමට සැමියාගේ ආකල්ප මෙන්ම ඔහු ගර්භණී බිරිඳ ගැන සොයා බලන ආකාරයත් වැදගත්ය.

ගර්භණී කාලය තුළ අවම වශයෙන් දවස් තුනක්වත් ඔබ සායනයට එද්දී ස්වාමිපුරුෂයා සම සායනයට පැමිණීම ඉතා වැදගත් වෙනවා. එතකොට කුස තුළ වැඩෙන දරුවා ගැන අවබෝධයක් ලබාගැනීමට, බිරිට ඒ අවස්ථාවට මුහුණදෙන්න ශක්තියක් වීමට සැමියාටත් වගකීමක් ඇතිවෙනවා. මවටත් ලැබෙන්නට සිටින දරුවාටත් එය ධනාත්මකව බලපානවා.

ගැබිනි මවක් සිය ගර්භ කාලය තුළ කිලෝ 12-14 අතර ප්‍රමාණයකින් බර වැඩිවීම ප්‍රමාණවත්ය. මවගේ ශරීර ස්කන්ධ දර්ශකය අනුව එය වෙනස්වන ආකාරය ගැන අප මින් පෙරද කතා කර ඇත්තෙමු.

සායනයට එන මවගේ බර වගේම හිමොග්ලොබින් තත්ත්වයත් පරීක්ෂා කරනු ලබනවා. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය පරීක්ෂා කරන්නේ මවට නිරක්තිය ඇද්ද නැද්ද යන වග දැනගැනීමටයි. තිබිය යුතු ප්‍රමාණයට වඩා හිමොග්ලොබින් අඩුවුණොත් මවට දරු ප්‍රසූතියේදී ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඒ අනුව හිමොග්ලොබින් මට්ටම ග්‍රෑම් එකොළහට වැඩිනම් සතුටුදායක ඒක මට්ටමක් ලෙස සැලකෙනවා. ග්‍රෑම් එකොළහට අඩුනම් ඒක නිරක්ති තත්ත්වයක්. ග්‍රෑම් හතට වඩා අඩුවෙද්දී එය උග්‍ර නිරක්ති තත්ත්වයක් ලෙසයි සළකන්නේ. එම තත්ත්වය වළක්වා ගැනීමට සායනයෙන් යකඩ පෙති, පණු බෙහෙත් වගේම මවගේ පෝෂණ මට්ටම නගා සිටුවීමට අවශ්‍ය උපදෙස්ද  ලබාදෙනවා.

මීට අමතරව මවගේ රුධිර වර්ගය පරීක්ෂා කිරීමද මව් සායනයේදී සිදුවේ. ඒ දරු පසූතිය අතරතුර මවට රුධිරය ලබාදීමක් අවශ්‍ය වුවහොත් කල්තියා සූදානම්වීමටය. මෙහිදී සිසේරියන් සැත්කමින් පසු මවට රුධිරය ලබාදීමට සිදුවන අවස්ථා තිබේ. මීට අමතරව මවගේ රුධිර ගණය පරීක්ෂා කෙරේ. එහිදී දරුවාගේ රුධිර ගණය පරීක්ෂා කළවිට රුධිර වෙනසක් වේ නම් දරුවාට ඖෂධ ලබාදීම සිදුකෙරේ.

කුළුඳුල් මවකට දෙන එන්නත්ද මෙහිදී වැදගත්ය. එනම් පිටගැස්ම ධූලකාභය එන්නත් මාත්‍රා දෙකක් ගර්භණී සමය තුළ දෙනු ලැබේ. පළමු මාත්‍රාව ලබාදෙන්නේ ගර්භණී වී සති දොළහෙනි. දෙවන මාත්‍රාව, පළමු එන්නත් මාත්‍රාව ගෙන සති හයකට පසුව ලබාදේ. ඉන්පසු දෙවන, තුන්වන, හතරවන ගර්භණී අවස්ථාවන්හිදී තවත් එක් පිටගැස්ම එන්නත් මාත්‍රාවක් ලබාදෙයි. එසේ එන්නත් තුනම ලබාගත් මවකට සිය පස්වන ගර්භණී අවස්ථාවේ යළිත් එම එන්නත ලබාදීමට අවශ්‍ය නැත. අලුත උපන් දරුවා පිටගැස්ම රෝගයෙන් ආරක්ෂා කරගැනීමයි පිටගැස්ම ධූලකාභය එන්නත ලබාදීමේ අරමුණ.

 

දීපා වසන්ති එදිරිසිංහ