විශේෂාංග

අලුත්ම කොවිඩ් ප්‍රභේදය ළඟට එද්දී ප්‍රතිශක්තියත් ඔලුව නවනවලු

‘කපා කපා කෑලි කපා අප වළකනු සිතනු එපා’ යැයි කී ගෝල්ෆේස් උද්ඝෝෂණ භූමිය දැන් හිස්වෙමින් තිබේ.

‘එපා එපා එහෙම එපා, මාස්ක් නොදා ඉන්න එපා’ යැයි කියන්නට කෙනෙක් නොවූයෙන්දෝ කොරෝනාව යළිත් හිස ඔසවමින් තිබේ.

තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, අරගලබිමේ මේ කොතැන මුත් ඒකරාශී වුණු මිනිසුන්ට ඉකුත් කාලය ගෙවා දමන්නට සිදුවූයේ ව්‍යාකූල මනසිනි. ඒ නිසාම කොරෝනාව ඔවුන්ගේ අවධානයෙන් ගිලිහුණු අතර ඊට තිබූ බිය නැතිවී, කාලයක් තිස්සේ පවත්වාගෙන ආ හොඳ සෞඛ්‍ය පුරුදු ද නිකම්ම අතහැරුණේය. ඒ නිසාම දැන් දෛනික කොරෝනා ආසාදිතයින් ගණන දෙසීයකට ආසන්නය.

කොවිඩ් 19, ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති බී.ඒ.5 විකෘතිය වේගවත්ව පැතිරයාමේ ලක්ෂණවලින් යුතුය. එය හෘද සෛලවලටද දැඩි ලෙස හානිකර බවත් කරන ලද පර්යේෂණයන්ට අනුව සනාථ වී තිබේ.

මේ වෙනකොට ලංකාවේ වගේම ලෝකයේ විවිධ රටවලින් කොවිඩ් 19 ආසාදිතයින් වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඊට හේතුව ඔමික්‍රෝන් උප ප්‍රභේදයයි. මෙහි උප ප්‍රභේද කිහිපයක් ඇති බවට හුනාගෙන තිබෙනවා. ඒ අතරිනුත් බිහිසුණු උප ප්‍රභේදය වන්නේ ඒ.බී.5 යන උප ප්‍රභේදයයි. රෝහල්ගත කරන රෝගීන් ප්‍රමාණය ඉහළ යෑමට එය හේතුවෙලා තියෙනවා වගේම, මරණත් සැලකිය යුතු මට්ටමකින් වාර්තා වෙමින් තියෙනවා. විශේෂයෙන්ම කොළඹ හා ඒ තදාසන්න ප්‍රදේශවල මෙය සීඝ්‍ර ලෙස පැතිරයමින් පවතින බැවින්, රෝගීන්ගේ ජෛව පටල සාම්පල නැවත විශේලේෂණය කිරීමටත් යොමු කළා. ඒ අනුව මෙම වෛරසයේ අලුත්ම හැසිරීම ගැන හුනාගන්න අපට ඉඩකඩ ලැබෙනවා. මෙවර කොවිඩ් රෝගීන් විසිහතර දෙනෙක්ගේ ජෛව සාම්පල යොදාගෙන කලින් කරන ලද ජාන විශ්ලේෂණයට අනුව ඉන් සාම්පල විස්සකම ඔමික්‍රෝන් බී..5 අනු ප්‍රභේදය තිබී හමුවුණා.

ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද  සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, ආචාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතාගේ හඬයි.

පසුගියදා දැනගන්නට ලැබුණේ අංගොඩ බෝ නොවන රෝග විද්‍යායතනය හෙවත්, අයි.ඩී.එච්. රෝහලේද කොරෝනා නේවාසික රෝගීන්ගේ ප්‍රතිශතය ඉහළගොස් ඇති බවයි. එහි නේවාසිකව රෝගීන් හැටදෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බවද දැනගන්නට ලැබුණි.

මේ ප්‍රභේදයේ තියෙන විශේෂත්වය තමයි මෙය ඉක්මනින් පැතිර යනවා වගේම ප්‍රතිශක්තිය මගහැරීමේ හැකියාවකුත් පෙන්නුම් කරනවා. එන්නතේ සිව්වැනි මාත්‍රාව ලබාගැනීම මගින් තම ආරක්ෂාව තහවුරු කර නොගතහොත්, රෝගීන් ප්‍රමාණය තවත් ඉහළ යා හැකියි. ඒ නිසාම නිරන්තර මුව ආවරණ පැළීම, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග ලක්ෂණ තිබේනම් වෛද්‍ය ප්‍රතිකාර සහා යොමුවීම ඉතාම වැදගත් වෙනවා.

මේ අනුව වැඩිහිටි වයසේ පසුවන්නන් සේම, ගර්භණී මව්වරුන්, කුඩා දරුවන් විශේෂ අවධානයකින් රැකබලාගැනීම වැදගත් වෙයි. දැනට වාර්තාවන මරණවලින් වැඩි පිරිසක් වැඩි වයස්වල පසුවන්නන් වුවත්, රෝගය පැතිරයාමේ තීව්‍රතාව මත එය වෙනස් විය හැකිය.

විශේෂයෙන්ම උණ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම්, එම දරුවන් පාසල් නොයවා සිටීම වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දරුවන් අතර රෝග ව්‍යාප්තියට එය බලපෑ හැකි බැවිනි. එහිදී දරුවන්ට මුව ආවරණ පැළඳීමද වැදගත්ය. විනෝද චාරිකා, අමතර ගමන් බිමන්වලින් ඔවුන් හැකිතාක් ඈත්කර තබාගැනීමත්, විෂබීජ නාශකයක් යොදා අත් සේදීමත්, සෙනග ගැවසෙන ස්ථානවලදී කලින් අකුරටම වාගේ පිළිපැදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත් වැදගත්ය. තවද පාසල් ළමුන්ටද කොරෝනා මර්ධන එන්නතේ ඊළඟ මාත්‍රාව ලබාදීමේ වැදගත්කම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘ධරණී’ කළ විමසුමකදී පෙන්වා දුන්නේය. ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ වෙනකොට බිම් මට්ටමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ගේ යම් වැඩිවීමක් ගැන අසන්න ලැබෙනවා. පාසල්, විවිධ සේවා ආයතන වගේම සමාජ ඒකරාශී වීම්, ගෘහස්ථ උත්සව අවස්ථාවලදීත් තම පෞද්ගලික ස්වස්ථතාව පිළිබව උනන්දු විය යුතුයි.

ඊට හේතුවන්නේ රෝගීන් තහවුරු කරගැනීමට අවශ්‍යවන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සතුව ප්‍රමාණවත් පරිදි නොපැවතීමයි. ඒ තුළද රෝග ව්‍යාප්තිය ඉහළ යා හැකිය.

ඉකුත්දා වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,592ක්ව තිබුණි. කොරෝනා තුන්වන මාත්‍රාව ලැබූ පිරිස 48%කි. එය 52%ක්ම ලබානොගැනීමේ තත්ත්වය තුළ ඇත්තේද අවධානමකි. දෙවන එන්නත් මාත්‍රාවද ලක්ෂ 25ක් පමණම මගහැර තිබේ. එම තත්ත්වය තුළ සිව්වන මාත්‍රාව ලබාගැන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලීම් කළද ඊට වැඩි අවධානයක් පෙනෙන්නට නැත.

කෙසේ නමුත් කොළඹ නගර සීමාවේ ස්ථාන කිහිපයකදී මෙම එන්නතේ සිව්වන මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අංශ විසින් අරඹා තිබුණි. ඒ අනුව දෙවන එන්නත් මාත්‍රාව, තෙවන එන්නත් මාත්‍රාව මෙන්ම සිව්වන එන්නත් මාත්‍රාවද එහිදී දිනපතා ලබාගත හැකිය. ඒ අනුව උතුරු කොළඹ, මැද කොළඹ, බටහිර කොළඹ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඇතුළුව බොරැල්ල කැම්බල් පිටියේ පවත්වාගෙන යන එන්නත්කරණ මධ්‍යස්ථානය මගින් එන්නත ලබාගැනීමේ පහසුකම් සලසා ඇත. ඒ උදෑසන නවයේ සිට පස්වරු තුන අතර කාලයේයි. වයස විස්සට වැඩි ඕනෑම අයෙකුට ෆයිසර් එන්නතේ පළමු, දෙවන, තෙවන හෝ සිව්වන මාත්‍රාව ලබාගැනීමට හැකිය. එම එන්නතේ සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳව සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ඇති බැවින්, බියක් සැකක් නොමැතිව එන්නත ලබාගැනීම කළ හැකිය.

එමගින් කොරෝනාවේ සැර අඩු කරන්නට හැකිය. ප්‍රතිශක්තියටත් ඔරොත්තු නොදෙමින්, ඇතැම්විට එය නිව්මෝනියාව දක්වා එනතුරුවත් ඒ කොරෝනා යැයි නොදැන සිටි බව කියනවාට වඩා සෞඛ්‍ය ක්‍රමවේද වඩා හොඳින් අනුගමනය කර ආරක්ෂා වීම ඉතා කාලෝචිතය.

ප්‍රසාද් එරංග