බඩගින්නේ මළත් අපිනම් ඔය දෙකයි පනහෙ බිස්නස් කරන්නේ නෑ
“ඔයාට කියන්න රම්‍යා, අපේ සුධාරි අක්කා වගේ තණ්හා ගෑනියෙක් නම් මම ජීවිතේට දැකලා නැහැ.” සඳලතා කියද්දී රම්‍යා හයියෙන් හිනාවුණා.
“කියලා වැඩක් නැහැ සඳා. අර රටක් වටිනා මිනිහටත් ලැජ්ජා කරනවානේ.”
“මොන පිස්සුද රම්‍යා? මනුස්සයත් ඔය බිස්නස්වලට හවුල්. දන්නවද ඔය මනුස්සයා කම්පැනියේ වැඩට යන්නේ ප්‍රාඩෝ එකේ. හැබැයි ප්‍රාඩෝ එක පිටිපස්සේ ගොඩ ගහගෙන යන්නේ ගෑනි මහපු පාපිසියි, කොට්ටා උරයි. උදේ යන ගමන් පොළට දාගෙන යනවා. ඕවා මහ විලිලැජ්ජා නැති වැඩනේ.”
“අපොයි දෙන්නම තකට තක. නියම තණ්හා ජෝඩුව. හොඳට ගැලපෙනවා.” රම්‍යා ආයෙමත් පිළිතුරු බැන්දා.
“දැන් බලන්න අපේ මනුස්සයා ඔච්චර හම්බ කරන්නෙත් නැහැ. හැබැයි මම යන්නේ නැහැනේ ඔය දෙකයි පනහේ බිස්නස්වලින් සල්ලි හොයන්න. අනේ අපි නම් ලැබුණු දෙයින් සෑහීමකට පත්වෙලා ජීවත් වෙනවා.”
“අනේද කියන්නේ? මාත් මගේ පාඩුවේ දරුවෝ බලාගෙන ඉන්නවා. බලන්න සඳා, ඔයාගේ අක්කා නැති වැඩ ඔලුවේ පටවාගෙන. පාපිසි, කොට්ටා උර මහනවා. ඒ මදිවට ගෙදර හතු, එළවලු වවලා පොළට දානවා. අනේ මන්දා මැරෙද්දි ගෙනියන්න එකතු කරනවද කියලා. ළමයි දෙන්නාට තමයි යනඑනමං නැති වෙන්නේ. ඇයි ඉතින් දෙමාපියෝ සල්ලි පස්සේ යනවා මිසක් ළමයි ගැන බලන්නේ නැතුව ඇතිනේ.”
සතියකට පසු….
සඳලතා තමන්ගේ අක්කා වුණු සුධාරිව බලන්න යනවා.
“ආනේ… නංගි කාලෙකට පස්සේ. අද දවල්ට කාලම යන්න ඕනේ හොඳද?” සුධාරි කියද්දී සඳලතාගේ දෙනෙත් යොමු වුණේ පසෙක තිබුණු අලුත්ම ශීතකරණයට.
“අම්මෝ මේ ෆ්‍රිජ් එක ලක්ෂ තුනකට කිට්ටුයි නේද?” සඳලතා අහන්නේ දෙනෙත් නළලට අරන්.
“ඔව් නංගි. මේ ෆ්‍රිජ් එක ගත්තේ මගේ බිස්නස් එකෙන් හම්බුණු ආදායමෙන්.” සුධාරි කියන්නේ හරිම සතුටින්.
“එතකොට පරණ ෆ්‍රිජ් එක?”
“ඒක අපි දුන්නා මේ ළඟ ගෙදරකට. එයාලගේ ගෙදර ෆ්‍රිජ් එකක් තිබ්බෙත් නැහැ. පව්නේ.”
“නංගි, ගෙදරම වවපු වැටකොළුයි, තක්කාලියි තියෙනවා. මම ඔයාට හවස යද්දී ගෙනියන්න දෙන්නම්. වසවිස නැති ගෙදරම වැවුණු දේවල්නේ. පොඩි උන්ට හදලා දෙන්න.” සුධාරි කියද්දී සඳලතා හිස වැනුවා.
මසකට පසු සුධාරි හදිසියේම සඳලතාට දුරකතන ඇමතුමක් දුන්නා.
“නංගි, නංගිගේ යාළුවා රම්‍යා ෆේස්බුක් එකේ දාලා තිබ්බා එයාලා ඇක්සිඩන්ට් වුණා කියලා. ඇත්තද ඒක?”
“අනේ ඔව් අක්කේ. රම්‍යාගේ හස්බන්ඩ්ට කකුලක් දාන්න වෙලා. පොඩි එකාටත් ලොකු ඔපරේෂන් එකක් කරන්න ඕනෙලු. නැත්තම් සදාකාලිකව ඇඳට වැටෙයි කියනවලු. අනේ මට සල්ලි කීයක්වත් නැහැනේ දෙයියනේ රම්‍යාට දෙන්න.” සඳලතා කිව්වේ වේදනාවෙන්.
“මම සල්ලි ටිකක් දෙන්නම් නංගි. මට පුළුවන් මේ වෙලාවේ රම්‍යාට ලක්ෂ පහක් විතර දෙන්න. මට රම්‍යා නංගිගේ බැංකු පොතේ නම්බර් එක ඉල්ලලා දෙන්නකෝ.” සුධාරි කියද්දී සඳලතා මොහොතකට ගොළු වුණා.
“අක්කේ, අයියගෙන් අහන්න ඕනේ නැද්ද?” ටික වෙලාවකින් සඳලතා ඇහුවේ පැටලී පැටලි.
“අනේ නැහැ නංගි. හස්බන්ඩ් කියලා තියෙන්නේ මම හම්බ කරන සල්ලි මම කැමති ඕනෙම දේකට වියදම් කරන්න කියලා. මම ඔය හිතෙන හිතෙන වෙලාවට ළමා නිවාසවලට එහෙම දාන දෙනවා. අපේ හස්බන්ඩ් උදව් වෙනවා ඇරෙන්න මුකුත්ම කියන්නේ නැහැ. ඒ ගැන අවුලක් හිතන්න එපා. මට බැංකු ගිණුමේ අංකය ඉල්ලලා එවන්නකො.” සුධාරි කියද්දී සඳලතා අහගෙන හිටියේ හිතේ ලොකු බරක් එකතු වෙද්දී.
සමාධි ඩයස්