රෝද පුටුවට වැටුණත් වගාවට පින් සිද්ද වෙන්න හිතින් වැටුනේ නෑ
සොබාදහමට හිතැති මිනිසුන්ට පෙරලා සොබාදහමෙන් ලැබෙන දේ බොහෝය.
ගතේ සවිබල නැතිව ගියත් හිත සවිබල ගන්වා ගන්නට එවන් අයෙකුට සොබාදහමෙන් ලැබෙන අතහිත මිල කළ නොහැකිය.
පොළොන්නරුව, කුඩාවැව දළුකාන ගම්මානයේ ප්‍රදීප් ප්‍රසන්න ප්‍රේමසිරිටද බලාපොරොත්තු නොවූ රිය අනතුරක් නිසා නොසිතු මොහොතක එක්තැන් වන්නට සිදුවුණේය. නමුත් ගතින් බිඳී ගිය ඔහුගේ හිත නොබිඳී තියෙන්නට හේතුවුණු ප්‍රධානතම කාරණය නම් ගෙබිමේ ගහකොළවලින් පිරුණු අපූරු පරිසරයයි.
“මම ලොරි රථ රියැදුරෙක් විදියටයි රැකියාව කළේ. 2021 අවුරුද්දේ මාර්තු මාසේ දවසක රිය අනතුරකට ලක්වෙලා මගේ කොඳුඇට පෙළටයි සුෂුම්නාවටයි හානිවෙනවා. ඉදිරි ජීවිත කාලය රෝද පුටුවේ තමයි මට ගෙවන්න වෙන්නේ. දොස්තර මහත්තුරු ඒ ගැන කියද්දී හිතට මුලින්ම ලොකු වේදනාවක් දැනුණා. මගේ ආදරණීය බිරිඳ, දරුවෝ හතරදෙනා වගේම මගේත්, නෝනගේත් මහන්සියේ ප්‍රතිඵලයක් වුණ ගෙවත්ත දිහා බලද්දි හිතේ දුක ගොඩක් දුරට අඩුවුණා. ඇත්තටම මම උදේ නැගිට්ටම මගේ හිතට ඔසුවක් වෙන්නේ මේ ගෙවත්තේ තියෙන ගහකොළ, මල්, ගෙඩි තමයි.”
ප්‍රසන්න කියන්නේ බොහෝ ප්‍රසන්න හඬකිනි. එක්තැන්ව සිටියත් රෝද පුටුවේ සිටියත්, ඉන් ගෙවත්තේ යා හැකි දුර යමින්ද පැළවලට සාත්තු සප්පායම් කරමින්ද, අලුතින් පැළ තවාන් කරමින්ද දවස ගෙවා ගන්නට ඕනෑතරම් වැඩ දැන් ඔහුට තිබේ.
“මගේ ගම වරකාපොළ කිට්ටුව. පොළොන්නරුවට ඇවිත් දැන් අවුරුදු 12ක් විතර වෙනවා. මේ මහවැලියට අයත් ඉඩමක්. මම මේ අක්කර බාගේ සල්ලිවලට අරන්, ගෙයක් හදලා පදිංචි වුණා. පදිංචියට ආපු මුල් කාලේ මෙහේ කවුරුත් නොදන්න නිසා රියැදුරු රැකියාවක් සොයාගන්න අමාරු වෙයි කියලා හිතුණා. ඒ හින්දම අපි මුළු ඉඩමෙම බටු හිටෙව්වා. එහෙම තමයි මුලදි ආදායමක් හොයාගත්තේ.”
ප්‍රසන්නගේ බිරිඳ එම්. සුමිත්‍රා වීරසිංහයි. එදා මෙදා තුර ඇය ඔහුට සෙවණැල්ලක්ව හිඳින්නීය. දෙදෙනා එක්ව වත්ත පුරා බොහෝ දේ සිටුවා ලද පලදාව කොටසක් මුදල් වෙද්දී, කොටසක් දරු පැටවුන්ගේ කුසගිනි නිවාලයි.
“මම දන්න කාලෙ ඉඳලම මොනවාහරි දෙයක් හිටවන්න හරිම කැමැතියි. ඉස්සර ඉස්කෝලේ නිවාඩුවට මම තඹුත්තේගම යනවා. මගේ බාප්පා කෙනෙක් එහේ පදිංචි වෙලා හිටියා. එයාලට කුඹුරු තියෙනවා. ඒ වගේම හේන් ගොවිතැන් තියෙනවා. බටු, කොමඩු, මෑ, දඹල, මිරිස් එහෙම හේනේ හිටවනවා. ඉතින් මමත් ඒවට උදව් වෙනවා. නිවාඩුව ඉවරවෙලා එද්දි බාප්පා කීයක් හරි අතටත් දෙනවා. ඒ වගේම මම සාමාන්‍ය පෙළට කෘෂිකර්මය විෂයක් විදියට කළා. ඒ නිසා වගා කරන විදිය දැනගෙන හිටියා. දියර පොහොර හදාගන්න හැටිත් දැනගෙන හිටියා. කොහොම වුණත් ඒ අත්දැකීම් මට මගේ ගෙවත්තෙන් මේ විදියට බෝග අස්වනු ලබන්න හේතුවක් වුණා. රෝද පුටුවට වුණාට පස්සේ, මගේ නෝනා තමයි ගොඩක් වගා කටයුතු කරන්නේ. යූ ටියුබ් බලලා වගා ක්‍රම වගේම, කෘමි විකර්ෂක හදාගන්න හැටි, වැඩි පලදාවක් ලබාගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා මම දවසින් දවස දැනුම අලුත් කරගන්නවා. ඒ නැතත් මමනම් කියන්නේ ලංකාවේ ජීවත්වෙන අපිට මේ පස සම්පතක්. ඒ පසේ ඕනම දෙයක් වගා කරන්න පුළුවන්. ඊට වගාව ගැන මහා ලොකු දැනුමක් ඕන කරන්නේ නැහැ. ප්‍රායෝගිකව එන ගැටලුවලට විසඳුමක් අපිටම හොයාගන්න පුළුවන්.”
ප්‍රසන්නගේ වදන් තුළ ඇත්තේ උත්සාහය හා අධිෂ්ඨානයි. ඔහුගේ ගෙවත්තේ විවිධ එළවලු වර්ග, කොළපලා වර්ග, පලතුරු වර්ග වාගේම ගෙවත්තක තිබිය යුතු බොහෝ බෝග වර්ග වෙනුවෙන් ඉඩකඩ වෙන්වී තිබේ. කෙසෙල්, ගස්ලබු, දූරියන්, කර්ත කොලොම්බන් අඹ, නාරං, ජම්බු වර්ග, වැලි අනෝදා, සීනි අනෝදා වැනි පලතුරුත්, බද්ධ දෙහි, බටු, මෑ, බණ්ඩක්කා, පතෝල, වැටකොලු, ස්වයං ජාත වී සුදු ආදිය, සාරණ, තම්පලා, නිවිති වැනි කොළ වර්ගත් කෑමට ප්‍රමාණවත් ලෙස ඔවුනට ගෙවත්තෙන් ලැබේ.
“දැන් මිදි වැලකුත් වැවිලා. මිදි පොකුරකුත් හැදුනා. කඩෙන් කන්න ගෙනා මිදි ඇට ටිකක් දාලා තමයි මිදි වැල හදාගත්තේ. වැවෙන්නේ නෑ කියලා හිතෙන දේවල්වල වුණත් අස්වැන්න දකිද්දී හිත සතුටින් පිරෙනවා. පැළ බද්ධ කරනෙක කාලයක පටන් කළත් මේ දවස්වල ඒ වැඩ නතර කරලා තියෙන්නේ. මොකද විකුණන්න පාරට යන්න බැහැ. බුලත් විකුණලා ගන්න මුදලුත්, පුංචි කුකුල් ෆාම් එකෙන් ලබන මුදලත් දරුවන්ගේ ඉගෙනීමටත්, හාල් පොල් ටික ගන්නත් වෙන් කරනවා. ගස්ලබු වැඩිපුර තිබුණොත් විකුණනවා. ඒ වගේම වැඩිපුර තියෙන ගස්ලබු අරගෙන ග්‍රේටරයෙන් ගාලා, වේලලා නූඩ්ල්ස් එකක් හදනවා. බිත්තර දාලා එළවලු දාලා නූඩ්ල්ස් එකක් වගේම රසට හදාගන්න පුළුවන්.”
පවුලේ ආදායම වෙනුවෙන්, දරුවන්ද අම්මාට තාත්තාට උදව් දීම ගැන ඔහු තුළ ඇත්තේ සතුටකි.
“මගේ ලොකු පුතාලා නිවුන්නු. දැන් සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනගන්නවා. දුව අට වසර පන්තියේ. චූටි පුතා දෙක වසර පන්තියේ. අම්මට පාත්තිවල පස් පෙරළන්න වගේම පැළ හිටවන්නත් එයාලා උදව් කරනවා. මම කෙසෙල් ලෙලි දියර පොහොරක් හදනවා. ඒවා දැම්මම වැල්වල ඉක්මනින් මල් ගෙඩි හටගන්නවා. දුම්කොළ නැටි වතුරට දාලා පැය විසිහතරක් තියලා දිලීර නාශකයක් හැටියට බෝග වගාවට යොදනවා. අද ඒ වගේ දැනුම ලබන්න ඕනනම් යූ ටියුබ් හරහා ඒ දැනුම ලබාගන්න පුළුවන්. ඒ වගේම බීජයක් හිටවද්දී ඊට ක්‍රමයක් තියෙනවා. බීජය පසට යටවෙන්න ඕන එහි ප්‍රමාණයෙන් හතරෙන් එකයි. සිටුවන විදියේ වැරදි නිසා බීජ පැළ නොවෙන්න පුළුවන්. අතු බද්ධ කරනෙක වුණත් අමාරු දෙයක් නෙවෙයි. බද්ධ ගම්මිරිස්, බුලත් වගේ පැළ මං ළඟ තියෙනවා.”
ඒවා මිලට ගන්න යැයි ඔහු නොකිව්වත්, පැළ කිහිපයක් හෝ මිලට ගෙන ඔහුට සහනයක් වන්නට ඔබට හැකිනම්, එය ඔහුට සහනයකි.
“මම රෝද පුටුවට වැටුණත් හිතින් වැටුණේ නැහැ. ඒ මේ ගෙවත්තට, මගේ බෝග වගාවට පින්සිදුවෙන්නයි. දුක සැප බෙදාගෙන මගේ පවුලේ අය එක්ක වගාවට ආදරෙන් යන මේ ගමන මට හරිම වටිනවා.”
නැගිටින්නට නම් වැටෙන්නම ඕනෑය. වැටුණත් නැගී සිටින්නට හැකි හිතක් ඔහුට දුන්නේ ඔහුගේ ගෙවත්තය. බෝග වගාවය. එය වාසනාවකි.
දීපා වසන්ති එදිරිසිංහ