විශේෂාංග

අටුකොටු පුරවන්න ළමයි හැදූ ඉන්දියාවට පවුල් සැලසුම්කරණය කියාදුන් ලංකාවේ නීතිඥවරිය

1940 වසරේ අග භාගය පමණ වනවිට ‘පවුල් සැලසුම්කරණය’ යනු ලෝකයේ කතාබහ කිරීමට තහනම් වූ මාතෘකාවකි. ආගමික සහ ජාතිවාදී කාරණා මුල්කරගෙනයි එවැනි තත්ත්වයක් ඇති වී තිබුණේ. එනිසා කට පරිස්සම් කරනොගෙන ඒ ගැන ප්‍රසිද්ධියේ කතාකළ බොහෝදෙනෙකුට සිදුවුණේ සමාජයෙන් හෝ රටින් පිටමං වෙන්නටයි.

එවන් පසුබිමක් තුළ ශ්‍රී ලාංකික සම්භවයක් තිබූ ‘අවාබායි වාඩියා’ නම් තරුණ නීතීඥවරියක් ඉන්දියාවේ සිට පවුල් සැලසුම්කරණය ගැන දිගින් දිගටම කතා කළාය. ඒ වනවිටත් ලෝකයේ වැඩිම ජනගහනයක් සිටි රටක් වී තිබූ ඉන්දියාවේ කිසිඳු පවුල් සැලසුම්කරණ වැඩපිළිවෙලක් තිබුණේ නැත. එනිසා අඩු වයසින් විවාහ දිවියට එක්වූ ඉන්දියානු තරුණියෝ පඩිපෙල් මෙන් දරුවන් වැදූහ. නූගත්කමත්, මන්දපෝෂණයත් කරපින්නාගෙන එම දරුවන් සමාජගත වෙද්දී, දරුවන් වැදීම තමන්ගේ සංස්කෘතියේම කොටසක් යැයි සිතූ ආගමික නායකයින්ට එයින් ඇතිවන බලපෑම පෙනුණේ නැත.

උපත් පාලනය වගේ වචන ඇහුනු පළවෙනි අවස්ථාවේදී මට ඒ ගැන මහත් පිළිකුලක් දැනුණා.

නමුත් ඉන්දියාවේදී වාඩියාට හමුවූ එක්තරා වෛද්‍යවරියක් නිසා ඇයගේ සිතුම් පැතුම් සහමුලින්ම වෙනස් විය. ඇය වාඩියාට පවසා තිබුණේ මෙවැන්නකි.

වාඩියා මේ අහන්න. ඉන්දියානු කාන්තාවෝ ඔවුන්ගේ කණගාටුදායක ජීවිතය මරණයෙන් කෙළවර කරනකල් ගැබ්ගැනීම සහ මවුකිරි දීම අතර දෝලනය වෙමින් කල් ගෙවනවා. ඔබට පුළුවන් ඔවුන්ට නිදහසක් දෙන්න.

වෛද්‍යවරියගේ ඒ වචන හදවතටම දැනුණු නිසා වාඩියා, සමාජයෙන් පිටමං කිරීමේ අවදානමද නොතකා පවුල් සැලසුම්කරණය වෙනුවෙන් කැපවෙන්නට තීරණය කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස 1949 වසරේදී ‘ඉන්දියානු පවුල් සැලසුම් සංගමය’ (FPAI) පිහිටුවීමට ඇය දැවැන්ත සහායක් දුන්නාය. එපමණක් නොව දිගු කලක් එහි නායකත්වයද දරුවාය. ඒ හරහා උපත් පාලන ක්‍රම ප්‍රචලිත කිරීමේ සිට දරුවන් බිහිකිරීම හා බැඳුනු අනෙකුත් සේවා සැපයීමටත් වෙහෙසුණාය.

අවසන ඇගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් 1951 – 1952 වනවිට පවුල් සැලසුම් ප්‍රතිපත්ති නිල වශයෙන් ප්‍රවර්ධනය කළ ලොව පළමුවෙනි රජය බවට ඉන්දියාව පත්විය. ඊට දැවැන්තම දායකත්වය ලබාදුන්නේ වාඩියායි. ඇය ‘ඉන්දියානු පවුල් සැලසුම් සංගමය’ (FPAI) හා එක්ව ඉන්දියාවේ නාගරික දුප්පතුන් සහ වඩාත් දිළිඳු ප්‍රදේශ රැසකම ගම්වැසියන් සමඟ සුහදව කටයුතු කරමින් ඉන්දියාව ඒ තැනට රැගෙන ගියාය.

එහෙත් අඩු සාක්ෂරතාවයක් තිබූ ජනතාවකට පවුල් සැලසුම්කරණය ගැන පැවසීමම වාඩියා ඇතුළු කණ්ඩායමට අභියෝගයක් විය. ඒ නිසා ඇය ඒ සඳහා යම් යම් සන්නිවේදන උපක්‍රම භාවිතා කළාය. විටෙක ඇය සමාජ පණිවිඩ අඩංගු ගීත නිර්මාණය කළාය. තවත් විටෙක දුම්රියෙන් රට පුරා යවන්නට පවුල් සැලසුම් ප්‍රදර්ශනයක් සංවිධානය කළාය. ඒ සියලු උපක්‍රම සාර්ථක වූ අතර ඒ මගින් වාඩියා ඇතුළු පිරිස ගැන ජනතාවගේ විශ්වාසයද ඉහළ ගියේය.

මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව ලෝක සංවර්ධන දර්ශකවල කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කළ යුගයක් බවට එය පත්විය. එසේම එරට ළදරු මරණ සංඛ්‍යාව සාපේක්ෂව අඩුවූ අතර  තරුණියන් විවාහවෙන වයස් මට්ටමේ සාමාන්‍යය සැලකිය යුතු ලෙස ඉහළගොස් තිබිණි.

පවුල් සැලසුම්කරණය එතරම් සාර්ථකව තිබියදීත් එක්වරම ඉන්දියානු රජය බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය කිරීම ඇතුළු දරදඬු ජනගහන පාලන ක්‍රියාමාර්ග කීපයක් අනුගමනය කරන්නට විය. ඒ 1975-1977 දක්වා කාලය තුළය. වාඩියා ඊට එකහෙළාම විරුද්ධ වූ අතර ඇය පවසා සිටියේ පවුල් සැලසුම්කරණ වැඩපිළිවෙලවල් සඳහා සහභාගී කරවාගැනීම බලහත්කාරයෙන් නොව ස්වේච්ඡාවෙන් සිදුවිය යුත්තක් බවත්ය.

ඒ වෙනකොට පවුල් සැලසුම්කරණය යහපත් ප්‍රතිඵල පෙන්නන්න පටන් අරගෙන තිබුණේ. ඒත් ඉන්දියානු රජය අපේ මුළු වැඩසටහනම අපකීර්තියට පත්කළා.

එවර වාඩියා මාධ්‍යට එසේ සඳහන් කර තිබුණේ දැඩි කණගාටුවෙනි. ඇය වැඩිපුරම දුක්වූයේ ඇය ඉන්දියාවටම ආවේණික ගබ්සා නීතියක් සැකසීමට කටයුතු කරමින් සිටින මොහොතක ඉන්දීය රජය ගබ්සාව, උපත් පාලනයට එරෙහි අවියක් බවට පත්කිරීම ගැනය.

ගබ්සාව පවුල් සැලසුම්කරණයට සමාන කරලා ජනතාව ව්‍යාකූල කරන්න එපා. ඒක මානව සහ පුද්ගල අයිතීන් විනාශ කරන්න උත්සාහ දැරීමක්. මූලික මානව හිමිකම් උල්ලංඝණය වෙන හින්දා අපට බලෙන් උපත් පාලනය කරන්න බෑ. උපත් පාලනයට බලකිරීම සාර්ථක දෙයක් නෙවෙයි කියලා ප්‍රායෝගිකව අපට පෙනී ගිහින් තියෙනවා.

ඒ වාඩියා ය. 2000 වසරේදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පවුලකට දරුවන් දෙදෙනෙකු පමණක් සිටිය යුතු බවත්, තෙවන දරුවාට ආහාර සලාක සහ නොමිලේ අධ්‍යාපනය ලබා නොදෙන බවත් සම්මතයක් බලාත්මක කිරීමට ගත් උත්සාහයකදී වරක් ඇය එසේ පැවසුවාය.

එක්සත් රාජධානියේදී නීති විභාගය සමත්කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව අවාබායි වාඩියාය. 1913 වසරේදී කොළඹ ප්‍රගතිශීලි පාර්සි පවුලක උපන් ඇය එම විභාගය සමත්වෙද්දී 19 හැවිරිදි වියේ පසුවූවාය. අනතුරුව ඇය නීතීඥවරියක ලෙස සේවය කළේ එවකට නීතිය හදාරනු ලැබූ ලන්ඩනයේ සහ කොළඹය.

නමුත් නීතීඥවරියක ලෙස සේවය කරද්දී ඇයට පැමිණි අභියෝග බොහෝය. ඒ පිරිමි පාර්ශවයෙනි. ඊට හේතුව වූයේ ඒ වනවිටත් මෙරට නීතීඥ වෘත්තිය තුළ කාන්තාවන් දක්නට නොලැබීමයි. එසේම ඇයට නීතිය හදාරන්නට එක්සත් රාජධානියට යාමට සිදුවූයේත් මෙරට ඒ සඳහා කාන්තාවන්ට ඉඩක් නොතිබූ නිසාය. නමුත් ඈ නීතීඥවරියක වූ පසු ඒ ඉඩ මෙරට ඇතිකිරීමටත් ඒ වෙනුවෙන් ලංකා රජය දිරිමත් කිරීමටත් විටින් විට කටයුතු කළාය.

1939 වසරේ දෙවෙනි ලෝක සංග්‍රාමය ඇරඹීමත් සමඟ ඇය මෙරටට සමුදී ඉන්දියාවේ මුම්බායිහි පදිංචියට ගියාය. ඉන්පසු නීතීඥ වෘත්තිය පසෙකලා සමාජ සේවයේ නිරත වෙන්නට පටන් ගත් විටයි පවුල් සැලසුම්කරණය පිලිබඳ ඇගේ අවධානය යොමුවුණේ. ඇය ඊට කොතරම් කැප වූවාද යන වග සිය ස්වයං චරිතාපදානය වන ‘The Light is Ours’ කෘතියේ සඳහන් කර ඇත්තේ මෙසේය.

ජීවන වෘත්තීය විදියට කරපු වැඩකටයුතු මං කවදාවත් හොයාගෙන ගියේ නෑ. ඒවා මාව හොයාගෙන ආ බවක් මට පේන්න තිබුණා. නීතීඥ වෘත්තිය තුළින් ඉදිරියට නොයෑම නාස්තියක් විදියට මට දැනුණේ නෑ. මොකද නීතිය මං කරපු හැමදේකටම ශක්තියක් වුණා.

2005 වසරේදී වාඩියා මියයන විට පවුල් සැලසුම්කරණය පිළිබඳ හඬ නැගූ සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූ ලෝක ප්‍රකට චරිතයක් ලෙසින් සැමගේ ගෞරවාදරයට පත්වී තිබිණි. ඊට ඇගේ නීතීඥ පසුබිමද මහත් රුකුලක් වූ බව නොකියාම බැරිය.

අපේ ජනගහණ ප්‍රතිපත්ති වැරදිලා ගියොත් කිසිම දේකින් ගොඩඒමක් නැති බව අනිත් කාටත් වඩා වාඩියා හොඳටම දැනගෙන හිටියා.

ඒ ඉන්දියාවට ආහාර සුරක්ෂිතතාව ළඟාකර දුන් හරිත විප්ලවයේ නායකයා, විද්‍යාඥ එම්.එස්.ස්වාමිනාදන්, වාඩියා ජීවත්ව සිටියදී ඇය ගැන කී කතාවකි. ලංකාවේ ඉපිද ඉන්දියාවට පවුල් සැලසුම්කරණ පාඩම කියාදුන් නීතීඥ අවාබායි වාඩියා කොතරම් ප්‍රබල චරිතයක්ද යන වග එයින්ම පැහැදිලි වනු ඇත.

රුවන් එස්.සෙනවිරත්න