ගිතෙල් කියන්නේ ඉටිපන්දන් වලට වඩා හොඳ බිස්නස් එකක්
පදුමුත්තර බුදුන්ගේ කාලේ පිනට දහමට ලැදි එක්තරා ධනවත් සිටුකුල පුත්‍රයෙක් හිටියාලු. ඔහු දවසක් පදුමුත්තර බුදුන් ළඟට ගිහිල්ලා “ස්වාමිනී, දිවැස් ලැබීමට කුමක් කළ යුතුද?” කියලා බුදුන්ගෙන් ඇසුවලු. “උපාසකය, ඒ සඳහා ප්‍රදීපදානය දිය යුතුයැයි” කියලා එතකොට පදුමුත්තර බුදුන් වහන්සේ දේශනා කළාලු.
පදුමුත්තර බුදුන්ගේ පිරිනිවණෙන් පස්සේ මේ කුල පුත්‍රයා උන්වහන්සේගේ ධාතු පිහිටුවලා සත්යොදුන් ස්වර්ණ චෛත්‍යයක් හදලා, ගිතෙල් පහන් දසදහසක් සමඟ පහන් ගස් දහසක් පුජා කළාලු. පස්සේ මේ කුල පුත්‍රයා කාශ්‍යප බුදුන්ගේ කාලේ නැවතත් බරණැස ඉපදිලා ඒ ආත්මෙදිත් පහන් තැටි දහසක ගිතෙල් පුරවලා කාශ්‍යප බුදුන්ට පූජා කළාලු. මේ කුල පුත්‍රයා තමයි ගෞතම බුදුන්ගේ කාලේ නැවතත් ඉපදිලා අනුරුද්ධ තෙරුන් නමින් පැවිදි දිවියට ඇතුළත් වුණේ. ආත්ම කිහිපයක්ම බුදුවරුන්ට ප්‍රදීපදානය නැත්තම් ආලෝක පූජාව කළ පිනෙන් ඒ ආත්මෙදි ඔහුට දිවැස් දැකීමේ ඥාණය හිමිවුණා. ඉතින් බුද්ධ ශාසනයේ දිවැස්ලාභීන් අතර අග්‍ර රහතන් වහන්සේ ලෙස හඳුන්වන්නේ උන්වහන්සේවයි.
“දීපදෝ හෝති චක්ඛුදෝ” කියලා වරක් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. “පහන් පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ” කියන එකයි ඒකේ තේරුම. ඇස් තිබුණත් ආලෝකය නැතිනම් අන්ධකාරයි. ඒ නිසා ආලෝකය පූජා කිරීම ඇස් පරිත්‍යාගයට සමානයි කියලයි බුදුදහමේ දැක්වෙන්නේ.
ඒ නිසා පහන් පූජාව කියන්නේ බෞද්ධ බැතිමතුන්ගේ ආගමික වත්පිළිවෙත් අතර ප්‍රධානම අංගයක්. ඔය අතරිනුත් ගිතෙල් පහන් පූජාවට හිමිවෙන්නේ විශේෂ තැනක්.
බුදුදහමේ විතරක් නෙමෙයි දමිළ සහ හින්දු ආගම්වලත් ආගමික වතාවත්වලට ගිතෙල් පහන් යොදාගන්නවා. ගිතෙල් කියන්නේ කිරිවල පිරිසුදුම කොටසනේ. ඉතින් දෙවියන් නමදින්න ගිතෙල් තරම් පිරිසුදු දෙයක් තවත් නැහැයි කියලයි ඔවුන් කියන්නේ. විෂ්ණු දෙවියන්, ඊශ්වර දෙවියන්, ගණ දෙවියන් සහ දුර්ගා දේවිය ගිතෙල් සුවඳට බොහොම ප්‍රියයිලු. ඉතින් මේ දෙවිවරු නිවසට කැන්දන්න ප්‍රාර්ථනා කරන සමහරු පුරුද්දක් විදියට ගෙදර ගිතෙල් පහන් දල්වනවලු.
ගේ ඇතුළේ ගිතෙල් පහනක් දල්වනවා නම් නිවසට සමෘද්ධිය උදාවෙනවා කියලා වාස්තු විද්‍යාවේ කියැවෙනවා. එතකොට ගිතෙල් දැල්වීමෙන් අවට වාතය පිරිසුදු වෙනවා කියලයි ආයුර්වේදයේ සඳහන්. ඔය කාරණා කෙසේ වෙතත් ඉටිපන්දම්වලට වඩා වැඩි වෙලාවක් පත්තුවෙන නිසා කරන්ට් එක කපන වෙලාවට දැන් ගොඩක්දෙනා පත්තු කරන්නේ ගිතෙල් පහන්. ඉතින් ගිතෙල් පහන් කියන්නේ හැදුවොත් ලේසියෙන්ම විකුණගන්න පුළුවන් දෙයක්. ඒ නිසා තමයි අද ගිතෙල් පහන් හදන හැටි කතා කරන්නේ.
මේකට පැරෆීන් ඉටි 1kg, ගිතෙල් 1 1/2kg, මැටි පහන් 175ක් විතර, පහන් ප්‍රමාණයට පහන්තිර සපයා ගන්න. ඊට අමතරව කේතලයක්, උණුවතුර එහෙමත් ඕනේ වෙනවා.
පියවර 1
මුලින්ම මැටි පහන් ටික වතුර භාජනේකට දාලා පොඟවාගන්න. එතකොට ඉටි මිශ්‍රණය පහනට හොඳට සවි වෙනවා.
පියවර 2
පැරෆීන් ඉටි ටික කේතලේට දාලා වතුර භාජනයක් උඩින් තියලා ඩබල් බොයිල් ක්‍රමේට දිය කරගන්න. ගිතෙල් ටික බහාලුම එක්කම උණුවතුරට දාලා දියකරගන්න.
පියවර 3
දැන් ඉටි කේතලේට ගිතෙල් ටික දාලා කැට හිටින්නේ නැතිවෙන්න දියකරගන්න. පාට මදි කියලා හිතෙනවා නම් කහ පාට ඩයි ටිකක් එකතු කරන්නත් පුළුවන්. පස්සේ මේ මිශ්‍රණයේ ස්වල්පයකින් පහන් තිර පොඟවලා තිර ටික පහන්වලට දාන්න. පස්සේ ඉටි මිශ්‍රණය පහන්වලට වත්කරන්න.
පැයක් විතර තියනකොට ගිතෙල් ටික ඝන වෙනවා. ඊටපස්සේ තියෙන්නේ වෙළඳපොළට දාන වැඩේ. පන්සල්, කෝවිල් වගේ ආගමික ස්ථාන ළඟ තියෙන කඩවලින් නම් ගිතෙල් පහන්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ පහනක් රුපියල් 50කට වගේ මුදලකට අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම මේවා කාලයක් යනකල් තියාගන්නත් පුළුවන්. මේ ගැන තවත් විස්තර දැනගන්න අවශ්‍ය නම් 0714766819 අංකයට කතා කරන්න.
සෙව්වන්දි හෙට්ටිආරච්චි