ඔන්න කිව්වා මෙන්න ගියා නෙවෙයි මාස ගාණක් සැලසුම් කළා
කලින් ප්ලෑන් නොකර හිතුණ ගමන් යන ට්‍රිප් හරි සුන්දරයිනේ. ජීවිතේ එහෙම අත්දැකීම් ඔයාට, මට වගේම හැමෝටම ඇති. ඒත් මේ නිවාඩුවෙදි මට හිතුණා මාස ගාණක් තිස්සේ සැලසුම් කරලා යන ට්රිප්වලත් ඒ සතුටම තියෙනවා කියලා.
ඉතින් මං මේ කියන්න යන්නෙත් එහෙම මාස ගාණක් සැලසුම් කරලා ගියපු ට්‍රිප් එකක් ගැන. පසුගිය ලිපියෙත් මං කිව්වා ජපානේ මේ දවස්වල ගෙවෙන්නේ දරුවන්ගේ නිවාඩු කාලේ කියලා. ඉතින් මේ දීර්ඝ නිවාඩුවෙදි පැටවුන්ට ලස්සන මතක එකතු කරන්න මටයි දහම්ටයි ලොකු උවමනාවක් තිබ්බා. ඒ කොරෝනා නිසා අවුරුදු දෙකක් තිස්සේ කොහෙවත් යන්න බැරිවුණ නිසා. අපි මේ පුංචි ට්‍රිප් එක සැලසුම් කළේ මාර්තු මාසේ ඉඳන්. යන්නේ කොහෙද, ඉන්නේ කොහෙද, මොකක් බලන්නද යන්නේ, ඒකෙන් දරුවන්ට සතුටු වෙන්න අවස්ථාව වැඩිම තැන් මොනවද, ඔය වගේ පුංචි දේවල් ටිකක් හිතලා අපි සැලසුමක් හැදුවා.
ඒ අගෝස්තු නිවාඩුවට ඕසකා යන්න. අපි ඉන්න කවසකි නගරයේ ඉඳලා කිලෝමීටර් 500ක් විතර දුරින් තමයි ඕසකා තියන්නේ. ඒ දුර හයිවේ එකෙන් යන්නයි අපි ප්ලෑන් කළේ. පැය 6ක දුරක්. ඉතින් පැය දෙකෙන් දෙකට අතරමඟ නතර කර කර යන්නයි අපි කතා වුණේ. ඕසකාවල තියෙනවා Universal Studios කියලා තීම් පාර්ක් එකක්. ඒක ලොකු අයට වගේම පොඩි අයටත් විනෝද වෙන්න පුළුවන් ලොකු පාර්ක් එකක්. ඒ හින්දා වියදම් කරන විදිය ගැනත් අපිට පොඩි මුල්‍ය සැලසුමක් තිබුණා. මං ජපානෙට ආපු මුල් කාලෙම දහම් මාව යුනිවර්සල් ස්ටුඩියෝ එකට එක්ක ගිහින් තිබුණත්, අපි දෙන්නා විනෝද වුණ තැනට අපේ දරුවෝ එක්ක ආයේම යන එක අපිට හරි සුන්දර අත්දැකීමක් වුණා.
ඒ විදියට ගොඩක් ආසාවෙන් ගමනට ලෑස්ති වුණු නිසා දවස් ළංවෙද්දි දරුවො වගේම මාත් හිටියේ සතුටින්. මේ දවස් තුනට පුංචි පුංචි දේවල්වලින් සුන්දර මතක එකතු කරගන්න ඕන වුණ නිසා අපි පස්දෙනාටම එක වගේ ඇඳුම් පවා අරගත්තා. ඊට අමතරව මම අපි පස්දෙනාට දවස් තුනට ඕන ඇඳුම්, යටඇඳුම්, හැම කෙනාටම අමතරව වැඩිපුර ඇඳුම් සෙට් එකක්, උණට, හෙම්බිරිසාවට ඕන වෙන බෙහෙත්, තුවාලයක් වුණොත් දාන්න ප්ලාස්ටර් වගේ ඕන කරන දේවල් ගැන නෝට්බූක් එකේ පොඩි ලිස්ට් එකක් හදාගත්තා. කිළුටු ඇඳුම් දාගන්න ලොකු ශොපින් බෑග් එකකුත් දාගත්තා. නාන්න කට්ටියගෙම ස්විමින් කිට් ටික දාගත්තා. පොඩි අයට අපිට වෙනම මාස්ක් දාගත්තා. මෙහේ තාමත් කොරෝනා තියෙන නිසා විනෝදය වගේම අපේ පරිස්සම ගැන හිතන එකත් වැදගත්. මේ වගේ හැමදේම මතක් කරලා නෝට් එකක් ලියාගෙන ට්‍රිප් එක යන්න කලින් දවසේ ඒ ඔක්කොම ලගේජ් එකක දාලා පැක් කළා. හැමෝටම සපත්තු කුට්ටමක් ගානෙත් දාගත්තා. ඒ සෙරප්පුවලට වඩා සපත්තු දාගෙන ඇවිදින්න කකුලට පහසු නිසා.
වෙනදාට කොහේහරි යද්දි මඟදී කකා යන්න මං මොනාහරි හදනවානේ. දහම් මේ සැරේ මට කිව්වා මොකුත් හදන්න එපා, මේ ගමන අපි රිලැක්ස් එකේ යමු, හයිවේ එකේ පාර්කින් සර්විස් ගොඩාක් තියෙනවා, ඒ කඩවලින් කමු කියලා.
ට්‍රිප් එක යන දවසත් ආවා. උදෙන්ම අපි ගෙදරින් පිටත් වුණා. පුදුමාකාර ලස්සන ගමනක්. මං හිටියේ බදුල්ල හපුතලේ යද්දි හිතට දැනෙනවා වගේ සුන්දර හැඟීමකින්. බලන බලන හැම පැත්තෙම කඳු. හරිම ලස්සනයි.
අපි ගිහින් කල්තියාම වෙන් කරපු හෝටලේක නතර වෙලා පහුවදා යුනිවර්සල් ස්ටුඩියෝ ගියා. එදත් හෝටලේම නතරවෙලා පහුවදා උදේ ආයේ ආවා. පොඩි මහන්සියක් තිබුණට අපි පස්දෙනාගෙම හිත සතුටෙන් පිරිලා. අපි ඒතරම් විනෝද වුණා. දරුවන්ට සතුටු වෙන්න, විනෝද වෙන්න පුළුවන් හැම තැනකදිම අපි ඒ දේවල් ලෑස්ති කරලා දුන්නා. ඉතින් අහන්නත් කලින්ම එයාලා කිව්වේ එයාලා ගොඩක් සතුටු වුණා, ආයේ දවසක එමු කියලා.
ගෙදර ආවාමත් ගෙනියපු ලොකු ශොපින් බෑග් එකේ දාපු කිළුටු ඇඳුම් ටික වෙන් කරලා, එක කොටසක් ආපු දාම සෝදලා වේලෙන්න දැම්මා. දහමුත් මට ඒ දේවල්වලට උදව් කළා. ඒක මට ලොකු නිදහසක් වුණා. එයා drive කරපු නිසා එයාට මහන්සි කියලා මටම ඔක්කොම වැඩ පවරලා හිටියේ නෑ. ගෙනියපු බෙහෙත් අස්කරලා දුන්නා. ගෙනියපු සපත්තු පිහලා වේලෙන්න තිබ්බා. ඒ නිසා ඉක්මනින් අස් කරගන්නත් පුළුවන් වුණා.
මං මෙච්චර විස්තරයක් ලිව්වේ ඇයි කියලා ඔයාලට හිතෙනවා ඇති. වැදගත්ම දේ නිවාඩුව කියන්නේ දරුවන්ට ලස්සන මතක එකතු කරන්න අපිට ලැබෙන හොඳ අවස්ථාවක්. මායි දහමුයි මේ නිවාඩුවේ අපිට පුළුවන් හොඳම විදියට එයාලාට සුන්දර මතක එකතු කළා. අනික් දේ දරුවෝ එක්ක දවස් දෙකකට හරි එළියට යද්දි ඒක සැලසුම් කරලා යන තරමට නිදහස වැඩියි. හිතපු ගමන් යන ට්‍රිප්වලදි අපි ලෑස්ති වෙන්නේ කලබලෙන්නේ. එතකොට අපිට අමතක වෙන දේවල් වැඩියි. අනික මේ ගෙවෙන්නේ ඉස්සර වගේ නිදහසින් හුස්ම ගන්න පුළුවන් කාලෙකුත් නෙවෙයිනේ. තාම අපි හුස්ම ගන්නේ මාස්ක් ඇතුළේ. ඒ අවධානමත් තියෙන නිසා අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනා දරුවෝ කොහේහරි එක්ක යද්දි. හැමදේම කල්තියාම සැලසුම් කරලා කරපු නිසා හරිම සැහැල්ලුවෙන් සතුටෙන් අපි ඒ දවස් තුන වින්දා.
දරුවෝ හැමදාම පොඩියට ඉන්නේ නෑ ලොකු වෙනවා. මේ කාලේ හැමතැනම අපි එක්ක ගියාට තව අවුරුදු ගාණකට පස්සේ එයාලා ට්‍රිප් යන්නේ යාළුවෝ එක්ක. ඒ කාලේ ඒ විදියට විඳින්නත් දෙමව්පියෝ විදියට අපි ඉඩ දෙන්න ඕනේ. ඒ නිසයි එයාල පොඩියට ඉන්න මේ කාලේ අපෙන් දෙන්න තියන හොඳම දේ දෙන්න දෙමව්පියෝ විදියට අපි උත්සාහ කරන්න ඕනේ.
ඒ වගේම මම තව දේකුත් කළා. මේ වගේ ගමනක් එක්ක ගිහින් අපිව සතුටු කළාට එයාට ස්තූති කළා. එයාගේ මහන්සිය වගේම කැපකිරීම්වල ප්‍රතිඵල නිසයි අපි මෙහෙම සතුටින් ජීවත් වෙන්නේ කියලත් කිව්වා. ඒකෙන් දහම්ගේ හිතටත් සතුටක් දැනුණා කියලා මට තේරුණා. මොකද එහෙම කියයි කියලා එයා බලාපොරොත්තු නොවුණ නිසා. දරුවො ගැන, එයාලගෙ සතුට ගැන බලනවා වගේම මහත්තයාව අගය කරන්න ඕන තැනදී අගය කරන්නත්, ස්තූති කරන්න ඕන තැනදී ස්තූති කරන්නත් ඕනේ. ඒකෙන් පවුලේ බැඳීම තවත් වැඩි වෙනවා.
හෂිණි මනමේන්ද්‍ර