වට්ස්ඇප් එකෙනුත් පවුල් කඩන්න පුළුවන්ද?
රූපාට පාසලේ මිතුරියකගෙන් ආරාධනයක් ලැබුණේ ඔවුන්ගේ වට්ස්ඇප් ගෲප් චැට් එකට සහභාගී වෙන්න කියලා. මාසයකට විතර කලින් හදලා තිබුණු මේ ගෲප් එකේ ප්රධානතම මාතෘකාව වුණේ පාසලේ රසවත් මතකයන්. රූපාටත් පරණ මිතුරියන් ගොඩක් වට්සැප් හරහා නැවතත් මුණගැහීම ගැන ලොකු සතුටක් දැනුණා.
කාලයක් තිස්සේ හිතවත්කම් නැවතත් අලුත් වෙමින් යද්දී රූපා වෙනවදාටත් වඩා සතුටු වුණා. මේ අතරේ තමයි රූපා නොහිතපු කරදරයක් වුණේ.
“මොකද්ද කෙල්ලේ වුණේ? පාරේදී ඔයා තරිඳුට ගැහුවද?” එදාම රෑ රූපාගේ හොඳම මිතුරියකගෙන් ගෲප් එකට කෙටි පණිවිඩයක් ලැබුණා.
රූපාත් හිටියේ හිතේ වේදනාවෙන් නිසා ඒ ප්රශ්නයට රූපා දිග උත්තරයක් දුන්නා.
“තරිඳුට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා මට තේරුණා. මැසේජ් එද්දි තරිඳු මගෙන් ෆෝන් එක හංගනවා. මට තරහ ගිහින් එයාට හෑන්ඩ් බෑග් එකෙන් ගහලා ගෙදර ආවා.”
“ෆෝන් එක උදුරගෙන හරි බලන්නනේ තිබ්බේ.”
“ඔයා කලබල වෙන්න එපා. තව ටිකක් හොයලා බලන්න.”
“ඔයාට වැරදීමක් වෙලා වෙන්න බැරිද? තරිඳු එහෙම නරක කොල්ලෙක් නෙවේ නේද?”
එක දිගට යාළුවන්ගෙන් කෙටි පණිවිඩ ලැබෙද්දී රූපා තවත් තරහින් පිළිතුරක් යැව්වා.
“අනේ තරිඳුගේ හොඳ. තරිඳුගේ තාත්තටත් තව ගෑනු කෙනෙක් ඉන්නවා. තරිඳුමයි මාත් එක්ක කිව්වේ. පුතාත් තාත්තා වගේම නැතෑ. මට නම් හරිම තරහයි.”
“අපෝ ඇත්තද?”
“එහෙනම් කෙල්ලේ පරිස්සමෙන්. තාත්තගේ ජානනේ පුතාටත් තියෙන්නේ.”
ආයෙමත් කීපදෙනෙක් උත්තර එව්වත් රූපාට ෆෝන් එක ළඟ තියාගෙනම නින්ද ගිහින් තිබුණා.
“හැපි බර්ත් ඩේ……” හයියෙන් ඇහෙද්දි රූපා ගැස්සිලා ඇහැරුණා. රූපාගේ කාමරේ රූපාගේ අම්මා, තාත්තා, අක්කලා දෙන්නා වගේම තරිඳුත් හිටියා. තරිඳුගේ අතේ ලස්සන රෝස පාට කේක් එකකුත් තිබුණා.
“බබා මම එවලේ මැසේජ් කළේ ඔයාගේ අක්කා එක්කනේ. අද රෑට ඔයාව සප්රයිස් කරන හැටි අපි කතා කළේ. මගේ කෙල්ලට තරහ ගියා නේද?” තරිඳු හිනාවෙවී අහද්දි රූපාට දැනුණේ ලොකු දුකක්.
“අනේ සොරි තරූ…” දුකෙන් කියපු රූපා තරිඳුගේ කරේ මූණ හංගාගත්තා.
අමනාපය එතැනින් ඉවර වුණා.
බර්ත් ඩේ පාර්ටි එකේදි ගත්තු ෆොටෝ දෙක තුනක් වට්ස්ඇප් ගෲප් එකට යවලා, ඇත්තටම සිද්ධ වෙලා තියෙන දේ මිතුරියන්ට කියන්නත් රූපා අමතක කළේ නැහැ. යෙහෙළියන්ගේ සුබපැතුනුත් ඇයට ලැබුණා.
තරිඳුගෙයි, රූපාගෙයි ආදරය දිගටම ගලාගෙන ගියේ ආයේ කිසිම හිත් අමනාපයක් නැතුව.
ඒත් එක දවසක් තරිඳු වට්සැප් හරහා රූපාට ස්ක්රීන්ශොට් එකක් එවලා තිබුණා. ඒ ස්ක්රීන්ශොට් එකේ මෙහෙම තිබුණා.
“අනේ තරිඳුගේ හොඳ. තරිඳුගේ තාත්තටත් තව ගෑනු කෙනෙක් ඉන්නවා. තරිඳුමයි මාත් එක්ක කිව්වේ. පුතාත් තාත්තා වගේම නැතෑ. මට නම් හරිම තරහයි.”
ස්ක්රීන්ශොට් එක දැකපු රූපාට හොඳටම දාඩිය දැම්මා. මුළු ඇඟම පණ නැති වේගෙන එනවා වගේ දැනෙද්දි රූපා තරිඳුට ඇමතුමක් ගත්තා. ඒත් තරිඳු එහා පැත්තෙන් ඇමතුම විසන්ධි කළා.
“දන්නවද තාත්තට වෙන ගෑනු කෙනෙක් ඉන්න නිසා හිතින් විඳින දුක ගැන මම කිව්වේ ඔයාට විතරයි කියලා? ඒ මම ඔයාව කාටත් වඩා විශ්වාස කරපු නිසා. මේ වගේ මැසේජ් එකක් ඔයා මෙම්බර්ස්ලා 34 දෙනෙක් ඉන්න ගෲප් එකකට ලේසියෙන්ම යැව්වේ කොහොමද රූපා?” ඒ එක්කම තරිඳුගෙන් ආපු කෙටි පණිවිඩය කියවපු රූපා ෆෝන් එකත් අතේ තියාගෙන හොඳටම හඬා වැටුණා.
සමාධි ඩයස්