විශේෂාංග

දකුණු නාස් පුඩුව විදලා කරාබුවක් දැම්මම ප්‍රසව වේදනාව අඩු වෙනවද?

1991 දී ඉතාලියේ ඇල්ප්ස් කඳුකරය තරණය කරන්න ගිය යුවළක් අහම්බෙන් වගේ අයිස් අතරින් අවුරුදු 5300ක් පරණ මමියක් සොයාගත්තා. එයාලා මේ මමියට ඔට්සි කියලා නම තිබ්බා. පර්යේෂණවලදී ඔට්සිගේ ශරීරයෙන් පච්චා 61කුත්, පියර්සින් 10කුත් හොයාගන්න ලැබුණා. ඉතින් පියර්සින් නැත්තම් ශරීරයේ සිදුරු වීදීම් ගැන තියෙන පෞරාණිකම සාක්ෂිය තමයි මේ ඔට්සි. එහෙම බැලුවම පියර්සින් කියන්නේ ලෝකේ පරණම කලාවක්.

ශරීරයේ කොටසක් සිදුරු කරලා නැත්තම් කපලා අයින් කරලා ආභරණයක් පළඳිනවට තමයි පියර්සින් එකක් කරනවා කියලා කියන්නේ. ශරීර අලංකාරයට, විවිධ විශ්වාස නිසා නැත්තම් සංස්කෘතික අංගයක් විදියට සමහරු ශරීරය විදලා ආභරණ පළඳිනවා.

කන්පෙත්තේ සිදුරු තුන හතරක් විදින්න නැත්තම් නහය විදලා කරාබුවක් දාන්න කැමති යුවතියෝ ඕන හැටියට ඉන්නවා. ඒත් පියර්සින් එකක් කළහම සමහරු  අපරාධකාරයෙක් දිහා බලන තාලෙට බලන නිසා ආස වුණත් ගොඩක් අය මේ වැඩේ කරන්න බයයි. හැබැයි ඉතින් පුංචි කාලේදි කන විදලා කරාබුවක් දාන එකත් පියර්සින් කිරිල්ලක් නිසා ඒක නිකන් වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්නා වාගේ වැඩක් කියන එකත් කියන්න ඕනේ.

ඒ කතා කොහොම වෙතත් පියර්සින් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වැදගත් වෙන කතා ටිකක් තමයි අද කියන්න හදන්නේ. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා කියනවනේ. හැබැයි හරියට නොදැන පියර්සින් කරන එක කතරගම ගිහින් අතරමං වෙනවටත් වඩා හපන් වැඩක්.

ලෝකයේ බොහෝ රටවල උදවිය කන්, නාසය, ඇහිබැම, උදරය, දිව, තනපුඩු, ලිංගික අවයව වගේ ස්ථාන සිදුරු කරනවා. හැබැයි කනට සහ නාසයට කරන පියර්සින් තමයි අපේ රටේ නම් සුලභ.

නාසය සිදුරු කිරීමේ කලාව ආරම්භ වුණේ ඉන්දියාවෙන්ලු. ඉන්දියානු කාන්තාවන් අවුරුදු දහස් ගණනක ඉඳලා සාම්ප්‍රදායක් විදියට නහයට ලොකු කරාබු දානවලු. වම් නාස් පුඩුවට කරාබුවක් දැම්මහම කාන්තාවන්ගේ ඔසප් වේදනාව අවම වෙනවය, දකුණු නහය විද්දහම ස්වභාවිකව දරු ප්‍රසූතිය පහසු වෙනවය කියන එකයි ඒ උදවියගේ විශ්වාසය. ඒ නිසා සිරිතක් විදියට අදටත් හින්දු කාන්තාවන් කසාදෙට කලින් දවසේ රෑ නාසය සිදුරු කරනවලු.

අප්‍රිකාවේ බෙඩුයින් සහ බර්බර් බේජා ගෝත්‍රිකයොනුත් තමන්ගේ අනාගත සහකාරියට විවාහය දවසෙදී  නාසයේ පැළඳගන්නයි කියලා මහවිශාල රත්තරං මුදුවක් තෑගි කරනවලු. සැමියා බිරිඳට කලින් මියගියොත් බිරිඳ මුදුව විකුණලා ඒකෙන් යම් කාලයක් ජීවත්වෙයි කියන එකලු ඔවුන්ගේ ප්‍රාර්ථනාව.

තනපුඩු සිදුරු කිරීම ආරම්භ වෙලා තියෙන්නේ රෝමෙන්. ඒ කාලේ හිටපු රෝමන්වරු තමන්ගේ ශක්තිය පෙන්වන්න තන්පුඩු සිදුරු කරගෙන ආභරණ පැළඳගන්නවලු. හිටපු රෝම ආඥාදායකයෙක් වෙච්චි ජුලියස් සීසර් ඔහුගේ බලය පෙන්වන්න මහා සෙනගක් මැද තන්පුඩු දෙකම සිදුරු කරගෙන ආභරණ පැළඳගත්තු බව සඳහන්.

එතකොට ලිංගික අවයව සිදුරු කිරීම ඇරඹිලා තියන්නෙත් ඉන්දියාවෙන්ලු. ලිංගික අවයව සිදුරු කරලා ඇල්පෙනෙත්ති වගේ සිහින් කරාබු පැළඳුවහම ලිංගික ශක්තිය වැඩි වෙනවාය කියන විශ්වාසෙට ඒ කාලේ හිටි රජවරු සහ වංශාධිපතියෝ ලිංගික අවයවවලට රත්තරං ආභරණ පැළඳගෙන.

යුරෝපයේ පියර්සින් කලාව ප්‍රකට වෙලා තියෙන්නේ 70, 80 දශකවල. තමන් සමාජ සම්මත රාමුවෙන් පිටස්තර බව සංකේතවත් කරන්න තමයි ඔය කාලේ ගොඩක් අය පියර්සින් කරලා තියෙන්නේ. දැන් නම් මේක යුරෝපීය රටවල සාමාන්‍ය දෙයක්. බ්‍රසීලයේ එලන් ඩේව්ඩ්සන් කියන කාන්තාව ශරීරය 6005 වතාවක් පියර්සින් කරලා ගිනස් වාර්තාවක් එහෙමත් තියලා තියෙනවා.

පියර්සින් එකක් කරනකොට රිදෙනවද? පියර්සින් ගැන කතා කරද්දි කෙනෙක්ගේ ඔලුවට මුලින්ම එන ප්‍රශ්නේ ඕක. හම හිල් කරද්දි රිදෙන්නේ නෑ කියලා කවුරුහරි කියනවා නම් ඒ මනුස්සයා පට්ටපල් බොරුකාරයෙක්. ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට දැනෙන වේදනාවට වැඩි වේදනාවක් දැනුණත් මේක දරාගන්න බැරි වේදනාවක් නෙමෙයිලු. හැබැයි නිර්වින්දන ආලේපන ගාලා සිදුරු විදින මධ්‍යස්ථානත් දැන් තියෙනවා. වේදනාවක් නැතිව පියර්සින් එකක් කරගන්න ඕනේ  නම් ඒ ගැන ටිකක් හොයලා බලලා යන්න.

පියර්සින් එකකට තැනක් තෝරගන්නකොට වේදනාව අවම කරගන්න එක ගැන විතරක්ම හිතන්න යන්නත්  එපා. මොකද පියර්සින් එකකදී ශරීරයේ වැරදි මාංස පේශියක් සිදුරු වුණොත් ස්නායු දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම විෂබීජහරණය නොකළ සිදුරු විදිනයන් තුළින් රුධිර විෂවීම්, ආසාදන, ඉදීමීම් ඒ වගේම ඉතාම කලාතුරකින් හෙපටයිටීස්, එච්.අයි.වී. වගේ වෛරස් ආසාදන ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා මේ වැඩේට පළපුරුදු ශිල්පියෙක් තෝරගන්න එකයි අංක එක.

ඊළඟ කාරණාව ශරීරයට ආසාත්මික නොවන ආභරණ තෝරගන්න එක. පියර්සින් එකකට හොඳම වානේ වර්ගය විදියට සලකන්නේ ටයිටේනියම්. සංවේදී සමක් තියෙන කෙනෙක්ට වුණත් මේක හොඳයි. ඒ වගේම නියෝබියම්, සර්ජිකල් ස්ටීල්, ස්ටේන්ලස් ස්ටීල් වගේ වර්ගත් සමට ආසාත්මික වෙන්න තියෙන ඉඩ අඩුයි. ප්ලැටිනම්, රත්තරං, රිදී, නිකල් වගේ ආභරණ මිශ්‍ර වානේවලින් හදන නිසා මුල් විදීමෙන්ම මේ දේවල් පැළඳුවොත් ආසාදන ඇතිවෙන්න තියෙන අවදානම වැඩියි.

පියර්සින් එක කළාට පස්සේ විෂබීජ ආසාදන ඇති වෙන්න නොදී පරිස්සම් කරගන්න එකයි අමාරුම රාජකාරිය. සමහර අයගේ සිදුරු සුවවෙන්න මාස කිහිපයක් වුණත් ගතවෙන්න පුළුවන්. හැබැයි දවසෙන් දෙකෙන් තුවාලේ හොඳවෙන අයත් ඉන්නවා.

පියර්සින් එකක් කළාට පස්සේ දවසට තුන් හතර වතාවක්වත් ඒ තැන සේලයින් වතුරෙන් සෝදන්න. සිදුරු කළේ නාසය නම් පිරිසුදු භාජනයකට සේලයින් වතුර දාලා නාසය ඒකට ඔබාගෙන ඉන්න. වෙනත් තැනක් නම් පිරිසුදු කොට්න් කෑල්ලක් සේලයින්වලින් පොඟවලා පරිස්සමට සිදුර පිරිසිදු කරන්න. මතක තියාගන්න කිසිම වෙලාවක පියර්සින් එක අතින් අල්ලන්න යන්න එපා.

ඒ වගේම තුවාලය සුව වෙනකල් ඒ ස්ථානයේ මේකප් වර්ග, ක්‍රීම්, සීරම් වගේ රූපලාවණ්‍ය ආලේපන ගාන්න තහනම්. ගංගා, ඇළදොලවල, නානතටාකවල නාන්න නම් හිතන්නවත් එපා. අතපය තියාගෙන ඉන්න බැරිවට පියර්සින් කරපු තැන කසන්න, පොඩි කරන්න ගිහින් තුවාලය පාර ගන්න එහෙමත් එපා!

නහය වගේ තැනක සිදුරු ඉක්මනින් වැහෙන්න පුළුවන්. ඒ නිසා පියර්සින් එකෙන් පස්සේ එකදිගට සති හයක්වත් ආභරණ පැළඳගෙන ඉන්න. දිනපතාම ආභරණ දකුණු අතටත් වම් අතටත් කරකවන්නත් අමතක කරන්න එපා.

පියර්සින් එක නිසා සමේ ආසාත්මිකතාවයක් ඇති වුණොත් හිත හිතා ඉන්නේ නැතිව චර්ම රෝග වෛද්‍යවරයෙක් මුණගැහෙන්න කියන එකත් කියන්නම ඕනේ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි