විශේෂාංග

පුෂ්පිකාට ගන්න බැරිවුණු හතරවැනි තැන අවුරුදු 69කට කලින් මානෙල් ගත් හැටි

ඒ 1953 ඔක්තෝබර් 19 වෙනිදාය. එදින එංගලන්තයේ ලන්ඩන් නුවර ‘ලයිසියම් බෝල්රූම්’ (Lyceum Ballroom) ශාලාව හැඩගැන්වී තිබුණේ මුළුමහත් ලෝකයක් දෑස් දල්වා සිටි අපූරු අවස්ථාවකටයි. ඒ තුන්වැනි ‘ලෝක රූ රැජින’ (Miss World) තේරීමේ තරඟයයි. අවසාන වටයට තරඟ කළ සුරූපිනියන් දසදෙනෙක් අතරින් ජය හිමිවුණේ ප්‍රංශය නියෝජනය කළ ඩෙනිස් මාග්‍රට් ටයි. දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් ග්‍රීසියටත්, ඊජිප්තුවටත් හිමිවිය.

එහෙත් කිරුළු පලන් ප්‍රංශ තරුණියටත් වඩා තරඟාවලිය පුරා කාගේත් අවධානය යොමුවී තිබුණේ තරඟාවලියේ මුල්වටය සදහා සාරියකින් හැඩවී පැමිණි තරුණිය දෙසටය. ඇය වෙන කවුරුත් නොව ලෝක රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් ගොස් සිටි මානෙල් ඉලංගකෝන් ය. කාගෙනුත් හිමි වූ මේ විශේෂ අවධානය නිසාම මානෙල්ට තරඟාවලියේ සිව්වැනි ස්ථානය ලබාගැනීමට හැකිවිය. ශ්‍රී ලාංකික තරුණියක් ලෝක රූ රැජින තරඟයකට ඉදිරිපත් වූ මුල්ම අවස්ථාව එය වූ අතර, ඒ ජයග්‍රහණය වෙනුවෙන් මානෙල්ට පවුම් 150ක මුදලක් තෑගි වශයෙන් හිමිවිය. මේ වනවිට ලෝක රූ රැජින තරඟාවලිවල සිව්වැනි ස්ථානය තේරීමක් නැත. පසුගිය ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණු පුෂ්පිකා ද සිල්වා තමා සිව්වැනි ස්ථානය ලබාගත් බව කියද්දී තරඟ සංවිධායක මණ්ඩලය කියා සිටියේ ඔවුන් සිව්වැනි ස්ථානයක් නම් නොකරන බවයි. නමුත් 1953 දී වාසනාවට මෙන් මානෙල්ට එවැනි ගැටලුවකට මුහුණපෑමට සිදුවුණේ නැත.

එම වසරේ ප්‍රකාශයට පත්කළ ‘The Times Of Ceylon Annual’ සංග්‍රහයේ තරඟයේ සිව්වැනි ස්ථානය දිනූ මානෙල්ගේ රූ වරුණ පිළිබඳව මෙසේ සඳහන් කර තිබුණි.

විසි දෙහැවිරිදි වියේ තරුණියක් වූ ඇගේ උස සහ මනා සුන්දරත්වය තුළින් නියෝජනය වූයේ ලංකාවේ සෞන්දර්යයි. ගජමුතු මෙන් සියුමැලි මුව මඩල, කළු වරලස සහ ආදරණීය බව ලුහුබඳින වත හැමවිටම කැපී පෙනිණි. ඇස්වලින් ආනන්දජනක හැීම් පළ කරන ආකාරයද අනිත් අයට ප්‍රිය උපදවා ඇත.

මානෙල්ගේ උස අඩි 5.5 කි. ශරීරයේ ඉහළ කොටස හෙවත් පපුව අඟල් 35ක් වූ අතර, උකුළ ප්‍රදේශය අඟල් 35ක් විය. ගම්පොළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු කතානායකවරයෙකු වූ ආර්.ඇස්.පැල්පොල මහතාගේ දියණියක් වූ මානෙල්ට සහෝදරයන් අටදෙනකු සහ සහෝදරින් පස්දෙනෙක් සිටි බව සඳහන්ය. ඇය ඒ වනවිටත් විවාහකව සිටි අතර තරඟ නීතිරීති අනුව එය තරගයට ඉදිරිපත්වීමට කිසිඳු බාධාවක් වී නැත.

මානෙල්ට ලෝක රූ රැජින තරඟාවලියට ඉදිරිපත්වීමට ලැබුණේ 1953 වසරේදී කොළඹදී ඇය මෙරට පැවති පළමු ලාංකීය රූ රැජින තරඟය ජයගැනීමත් සමඟිනි. එය නිදහස් ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු රූ රැජින තරඟය වූ අතර, ඊට පෙර එවැනි රූ රැජින තරඟයක් ලංකාවේ සංවිධානය වූ බවට කිසිඳු සාක්ෂියක් නැත.

ලෝක රූ රැජින තරඟයට එංගලන්තයට ගිය මානෙල්ව එදා පිළිගනු ලැබුවේ එවකට එංගලන්තයේ ශ්‍රී ලංකා  තානාපති ලෙස කටයුතු කළ එඩ්වින් විජේරත්න ය. ඔහු එරට ගුවන්තොටුපොළේදී ඇයව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. කෙසේ වුවද එය මානෙල්ගේ කුළුඳුල් විදෙස් ගමන නිසා සැමියාද සමඟ එංගලන්තයට යාමට ඇයට විශේෂ අවසරයක් ලැබී තිබුණි.

මේ සිදුවීමෙන් පසු ලාංකික තරුණියන් රූ රැජින තරඟාවලි සඳහා ඉදිරිපත්වීමට වැඩි කැමැත්තක් දැක්වූ අතර, 1955 වසරේදී තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමිවිය. ඒ ලොව පළමු ‘Miss Universe’ තරඟාවලියේ තෙවැනි ස්ථානය ලාංකික තරුණියක් ජයග්‍රහණය කිරීමත් සමඟිනි. ඇය මොරීන් නෙලීයා හින්ගර්ට් ය. නමුත් 1984 වසරේදී රෝසි සේනානායක ලෝක විවාහක රූ රැජින කිරුළ ජයග්‍රහණය කරනතෙක් යළිත් ජාත්‍යන්තර රූ රැජින තරඟ ජයක් ලබාගැනීමට ශ්‍රී ලාංකික තරුණියකට හැකියාව ලැබුණේ නැත. එහෙත් ඒ ජයග්‍රහණ සියල්ලටම මුල් අඩිතාලම වැටුණේ මෙරටින් බිහිවූ මුල්ම රූ රැජින බවට පත්වූ මානෙල් ඉලංගකෝන් ගෙනි.

 

රුවන් එස්.සෙනවිරත්න