දරුවෙකුට දරුවෙක් බිහි කරන්න බෑ කියලා අම්මයි කියාදෙන්න ඕන
දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග යැයි කියන්නා සේම, යොවුන් වයයේ දරු දැරියන් තීන්දු තීරණ ගත යුත්තේ කල්පනාකාරීවය. අප එසේ කියන්නේ ඒ වයස බොහෝ වැරදීම් සිදුවිය හැකි කාලයක් බැවිනි.
“මේ දවස්වල රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ඔසුසැල්වල ඖෂධ හිඟයක් තියෙනවා. ඒ වගේම උපත්පාලන කොපුවල (කොන්ඩම්) හිඟයකුත් තියෙනවා. ඒ අතර පොස්ටිනෝර්-2 (Postinor-2)වගේ ඖෂධවල හිඟයක් තියෙනවා. මේ තත්ත්වය තුළ කොන්ඩම් වගේම පොස්ටිනෝර්-2 පෙති මිලට ගන්න තියෙනවද අහලා දවසකට දුරකතන ඇමතුම් රැසක් එනවා. ඒ අතරින් වැඩි දෙනෙක් බාලවයස්කාර දැරියන්. බොහෝ අසරණව ඔවුන් හඬා වැළපෙන අවස්ථා අපි ඕනතරම් දකිනවා.”
ඒ සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතායි.
අනාරක්ෂිත ලිංගික සබඳතා නිසා බාලවයස්කාර දැරියන් ගැබ්ගැනීමේ ප්‍රතිශතයද ඉහළ යමින් පවතින බව ඒආශ්‍රිත දත්ත වාර්තා මගින්ද අනාවරණය වී තිබේ. අප ඒ පිළිබඳව විමසා සිටියේ ජාතික ළමා රක්ෂණ අධිකාරියේ මනෝ සමාජයීය අංශයේ අධ්යක්ෂ ලක්මාල් පොන්නම්පේරුම මහතාගෙනි.
“සාමාන්‍යයෙන් රටේ නීතියට අනුව අපි ළමා මවක් විදියට හඳුන්වන්නේ වයස අවුරුදු එකොළහත්–දාසයත් අතර දැරියක් කියලා කියන්න පුළුවන්. ඒ වයස ගැහැනු පිරිමි භේදයන් නැතුව ලිංගික හැඟීම් උද්වීපනය වෙන කාලසමයක්. එතැනදී දරුවන් තුළ කුතුහලයක් තියෙනවා. ඒ වගේම ගැහැනු දරුවන්ට තම පළමු ලිංගික අත්දැකීම ඉක්මනින් සිදුවීමේ ඉඩකඩක් තියෙනවා. හෝර්මෝනවල සිදුවන වෙනස්කම් හෝ වෙනත් සමාජ බලපෑම් හේතුවෙන් මෙවැනි දේවල් ඉක්මන් වෙන්න ඉඩකඩත් තියෙනවා. එය දෙමාපියන්ගේ සොයාබැලීම්, රැකවරණය සහ පහදාදීම් මත පමා කළ හැකියි. විශේෂයෙන්ම මේ නොතේරුම් වයස පහුවෙන තුරු දෙමාපියන් දරුවන් පසුපස සිට මේ ආදීනවයන් කියාදෙන්න ඕන. මේ විදියට දැරියක් ලබන පළමු ලිංගික අද්දැකීම ප්‍රමාද කරගන්නා තරමට ළමා මව්වරුන් බිහිවෙන්න තියෙන ඉඩකඩ පමාවෙනවා. ඒ වගේම ඇයත් දරුවෙක් කියලත්, දරුවෙකුට තවත් දරුවෙක් බිහි කරන්න තරම් ශරීරය සැකසිලා නෑ කියලත් මනසට කාවැද්දීම ඉතාම අවශ්‍යයි.”
ඔහු කියනා පරිදි ලෝකය හඳුනාගන්නට, ඒ හොඳ නරක හඳුනාගන්නට දෙමාපිය ආදරය, රැකවරණය සොයාබැලීම තරම් ඔසුවක් තවත් නොවේ. මේ තුළ ඇතිවන හිස්තැන තුළ විශේෂයෙන්ම ගෙදරින් නොලැබෙන ආදරය සොයායාමේ අවධානම කොතෙක්දැයි වැටහෙන විට ජීවිතයට බොහෝ අඳුරු පැල්ලම් එක්වී තියෙන්නට පුළුවන.
“අපි ළඟට එන ගොඩක් ගෑනු දරුවෝ කියන කතාවක් තමයි එයාලට දෙමව්පියෝ ආදරේ නෑ කියන එක, හොයලා බලන්නේ නෑ කියන එක. අන්තිමේදී ඒ ආදරේ පිටින් හොයාගෙන ගිහින් ජීවිතේ විනාස වුණා කියලා තමයි ඒ අය කියන්නේ. ඒ වගේම ගොඩක් ගෑනු ළමයින්ගේ කතා ඇහුවම ඒ අයට ගැබ්ගැනීමක් වෙන්න කලින් අවශ්‍ය ආරක්ෂාව සලසගන්න අවස්ථාව තිබිලා තියෙනවා. නමුත් ඒ අය දෙමාපියන්ට තියෙන බය නිසා සිද්ධ වුණ දේවල් වසන් කරගෙන ඉඳලා අවසානයේ නොදැනුවත්වම ළමා මව්වරු බවට පත්වෙලා. අන්න ඒ නිසා මොන ප්‍රශ්නයක් ආවත්, මොන වැරැද්දක් කළත් දෙමාපියන් නිතරම දරුවා සමඟ ඉන්නවා කියන එක එයාලට දැනෙන්න දෙන්න. ඒකෙන් මං අදහස් කළේ දරුවන්ගේ වැරදි හෝද හෝදා මඩේ දාන්න කියන එක නෙවෙයි. දරුවෙක් තනිවුණ ගමන් පිටස්තරයින් ඒකෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන නිසා ඒකට කිසිම අවස්ථාවක ඉඩක් දෙන්න එපා.”
එමෙන්ම බාලවයස්කාර දැරියකට යම් අතවරයක් සිදුවුවද ඔසුසැල්වලින් උපත්පාලන ඖෂධ ලබාගැනීමට හැකියාවක් බොහෝවිට නැත. වෙනත් පාර්ශවයක් ලවා ඒවා මිලදීගත්තද ඒවා භාවිත කිරීමට දැනුමක් නොමැතිකමද මෙවැනි ගැබ්ගැනීමකට තවත් එක් හේතුවකි.
ඒ වාගේම ඉකුත් කාලය තුළ තම පියා, සහෝදරයා, නෑදෑයින් සහ සමීපතමයින්ගෙන් අපයෝජනයට ලක් වූ දැරියන් ගැනද අසන්නට ලැබුණි. එවැනි අවස්ථාවලදී එම පුද්ගලයින්ගේ හැසිරීම් රටාවේ විලාසයන් තේරුම්ගෙන හෝ ප්රවේසම්වීමට දරුවන්ට ලිංගික දැනුමක් නොමැති වීම ගැටලු සහගත බවද ඔහු පැවසීය.
“ගොඩක් වෙලාවට මේ වගේ බාලවයස්කාර දැරියන්ට ළංවෙන පිරිමින් එක්වරම ඔවුන්ව ලිංගික කටයුතුවලට පොළඹවා ගන්නේ නැහැ. මුලින් මුලින් ස්පර්ශ කිරීම්, සිප වැළඳගැනීම් වගේ දේවල්වලට යොමුකරවගන්න බලනවා. උදාහරණයක් වශයෙන් ඕනෑම වැඩිහිටි පිරිමියෙක් අනවශ්‍ය විදියට දරුවව තුරුලට, උකුලට ගන්නවා නම් ඒ දේවල් තේරුම්ගන්න තරම් දරුවන්ට සියුම් හැකියාවක් තියෙන්න ඕනේ. අනික අපේ සායනවලට එන ගොඩක් දැරියෝ පළවැනි ලිංගිකව එක්වීමෙන්ම ගැබ්ගත්තු අය නොවෙයි. හැබැයි එකම හිංසනය විසි තිස් වතාවක් වෙනතුරුත් තමන්ට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක තේරුම්ගන්න එයාලට අවබෝධයක් තිබිලා නෑ.”
මේ හේතූ නිසාම ඉදිරියේදි ලිංගික අධ්‍යාපනය පිළිබඳව කරුණු පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.
ළමා මව්වරුන්ගේ ප්‍රතිශතය කොතරම්දුරට වැඩිවී ඇද්දැයි ඊළඟට අප විමසුවේ පවුල් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා චිත්‍රමාලි ද සිල්වා මහත්මියගෙනි. ළමා ගැබිනියන් බිහිවීම වළකා ගැනීමට කළ හැකි දේ මොනවාද යන්නත් අප ඇයගෙන් විමසුවෙමු.
“2021 අවුරුද්දේ 3.9% තිබුණ ළමා මව්වරුන්ගේ ප්‍රතිශතය මේ වනවිට 4%ක් දක්වා වැඩිවීමක් වෙලා තියෙනවා. දැනට අපේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් එවැනි ළමා මව්වරුන්ව හඳුනාගැනීමක් කරලා, ඔවුන්ගේ අනාගතය යහපත් කරන්න, ගත යුතු නීතිමය පියවර සොයා බලමින් ඉන්නවා. ඒ වගේම බොහොමයක් දෙනා ඒ සත්‍ය සමාජයෙන් වසන් කරන අවස්ථා තියෙනවා. ඒ අය ඒවා අපෙන් හංගන්නේ පරිවාසගත වෙන්න වෙයි කියලා බයට. නමුත් අපි කිසිම වෙලාවක කරුණු විමර්ෂණයක් කරන්නේ නැතුව දරුවෙක් පරිවාසගත කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අපි දෙමාපියන්ට කියන්නේ ඔබේ දරුවාත් මේ විදියේ ගැටලුවලට මුහුණදීලා තියෙනවානම් ඒවා වසන් කරන්නේ නැතුව අදාළ බලධාරීන් දැනුවත් කරන්න. එය දරුවාගේ අනාගතය සුබදායී කරන්න හේතුවක් වෙනවා.”
ජාතික ළමා රක්ෂණ අධිකාරියේ මනෝ සමාජයීය අංශයේ අධ්යක්ෂ ලක්මාල් පොන්නම්පෙරුම මහතා
ලිහිණි මධුෂිකා