විශේෂාංග

අනේ ඔයා කුද ගහගන්න නැන්දම්මේ

මධුරි විවාහ වුණේ තනි පුතෙක් ඉන්න ගෙදරකට. ඒ නිසා ඇයට නවතින්න සිද්ධ වුණේ මහත්තයාගේ මහගෙදර.

අනේ අපේ ලේලි නම් හරිම සීදේවියි.

නැන්දම්මා දකින දකින හැමෝමත් එක්කම කිව්වා.

අපේ පුතා වගේ රස්තියාදුකාර දඩබ්බරයෙක්ට මේ වගේ සීදේවි කෙල්ලෙක් හම්බවෙයි කියලා මම නම් හිතුවෙ නැහැ.

මාමණ්ඩිත් යාළුවෝ එක්ක කිව්වේ මධුවිත එක්ක සතුට සමරන ගමන්.

හැබැයි සමන්තගේ බේබදුකම් ගැන, නාහෙට නාහන හිතුවක්කාර ගති ගැන මධුරි කලින් දැනගෙන හිටියේ නැහැ. සමන්තගේ ගතිගුණ තමන්ට කරදරයක් වන බව දැනෙද්දී මධුරි මුල් දිනවල සමන්තට අවවාද කරන්න පෙළඹුණේ හරිම ආදරණීය විදියට. හැබැයි ඒ වෙනුවට සමන්තගෙන් මධුරිට ලැබුණේ ගුටිබැට විතරයි. තොල පැලුණු, මුහුණ නිල්වුණු මධුරි දිහා බලාගෙන නැන්දම්මත් මාමණ්ඩිත් හීල්ලුවා.

අනේ මේ සීදේවි කෙල්ලට මේ නැහැදිච්ච තක්කඩියා මොන හිතකින් වද දෙනවද? දෙන්නම බැන්නේ තමන්ගෙ පුතාට.

පුතේ උඹේ ඔය පුරුදු වෙනස් කරගත්තේ නැත්තම් මේ අම්මාවයි තාත්තවයි උඹට නැති වුණා කියලා හිතාගනින්. තමන්ගේ දෙමව්පියන්ගේ දොස්කීම් සමන්ත ගත්තේ බොහොම සරල විදියට. විවාහ වෙන්නත් කලින් ඉඳලම ඔය වගේ බැණුම් අහලා පුරුදු නිසා සමන්ත කළේ ඒවා දකුණු කණින් අහලා වම් කනින් පිට කරලා දාපු එක.

ඒත් සමන්ත තමන්ගේ වැරදි හදාගත්තේ නැහැ. පහර කන හැම දවසකම මධුරිව බදාගෙන හඬා වැටෙන්නත්, මධුරිගේ තුවාල තැලුම්වලට බේත් කරන්නත්, මධුරිගේ දුක බෙදාගන්නත් අම්මා වගේ ඉස්සරහට ආවේ නැන්දම්මා.

අනේ අපේ එකා නම් තිරිසනෙක්. අර අහිංසක සීදේවි කෙල්ලට වද දෙන තරම්. නැන්දම්මා හතරවටේ ඉන්න නෑදෑයෝ එක්ක හරිම සංවේගයෙන් කිව්වා.

කාලය ගතවුණේ මධුරිගේ ඉවසීමේ උපරිම සීමාව පන්නමින්. ඒ සීමාව පැන්නට පස්සේ තවත් ඉවසන්න මධුරිට ඕන වුණේ නැහැ. නැන්දම්මත් මාමණ්ඩියත් තමන්ගේ පැත්තේ බව දන්නා නිසා මධුරිට බය වෙන්න හේතුවත් තිබුණෙත් නැහැ. ඉතින් ටික දවසක් යද්දී එකට එක කියන්න පහරට ප්‍රති ප්‍රහාර එල්ල කරන්න මධුරි දෙවරක් හිතුවේ නැහැ.

හැබැයි නැන්දම්මයි මාමණ්ඩියි නම් වෙනස් වුණේ හිතාගන්න බැරිතරම් ඉක්මනට.

අපෝ අපි හිතුව තරම් මධුරි ළමයා අහිංසක නැහැ. පුතා එක්ක හරි හරියට රණ්ඩු. කොච්චරද කියන්නේ ගහ ගන්නවත් එක්ක. නැන්දම්මා කිව්වේ සංවේගයෙන්.

වටේපිටේ හිටපු මිනිස්සු ඒකට තවත් පොහොර දැම්මා.

ඒක තමයි අක්කේ බැඳලා ආපු මුල් දවස් නිසා අහිංසකයි වගේ පෙන්නගෙන ඉන්න ඇති. දැන්නේ ඇත්ත මූණ එළියට පේන්නෙ.

ගෑනියෙක් වුණාම ඉවසන්න දැනගන්න ඕනේ. ඔහොම රණ්ඩු කළොත් නම් පවුල රැකගන්න වෙන්නේ නැහැ.

නැන්දම්මා මධුරිට උපදෙස් දෙන්න ගියේ මධුරිගේ කෝපය තවත් වැඩි කරමින්.

අම්මේ ඔයාලාට මාව අහිංසකයි කියලා පේන්නේ මම ගුටි කාගෙන හැමදේම ඉවසගෙන ඉන්නකම් විතරයිද? මමත් මනුස්සයෙක්. මට වෙන අසාධාරණකම්වලට විරුද්ධ වෙන්න මට අයිතියක් නැද්ද? අනිත් අය කරන අසාධාරණකම් ඉවසගෙන ඉන්නවා කියන්නේ නිවටකම මිසක් අහිංසකකම නෙවෙයි. ඔයාලට ඕනේ ඔයාලගේ පුතාගේ ඇනුම් බැණුම් ඉවසගෙන ලෝකෙට පේන්න අහිංසකව ඉන්න ලේලියෙක් නම් ඒ මම නෙවෙයි. මට නිවටයෙක් වෙන්න ඕනේ නැහැ. තව ටික දවසක් බලලා මම සමන්තගෙන් නීතියෙන්ම වෙන් වෙනවා. මධුරි කිව්වේ නැන්දම්මාට කටඋත්තර නැති වෙන්න.

 

සමාධි ඩයස්