වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද කියන්නැහේ හදලම බලමු
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.
මහෝෂධ කියලා මහා නුවණැති පඬිවරයෙක් ගැන අපි ජාතක කතාවල අහල තියනවනේ. මේ පඬිවරයාගේ නුවණ ගැන පැහැදුණු රජතුමා ඔහුව වාසලේ ප්‍රධාන උපදේශකවරයා බවට පත් කළා. ඉතින් මහෝෂධ පඬිතුමා එක්ක ඊර්ෂ්‍යාවෙන් ඉඳපු පණ්ඩිතයන් හතරදෙනෙක් දවසක් රජුට මහෝෂධ ගැන බොරු කේලම් කියනවා. මේ කේලම් අහලා කුපිත වෙච්චි රජතුමා පහුවදා උදෑසනම මහෝෂධව මරා දාන්න අණ දුන්නා. මේ කතාව අහගෙන උන්නු රජ බිසොවුන් රාත්‍රියේම මේ විස්තරේ තල්පතක ලියලා අග්ගලාවක සඟවලා මහෝෂධ පඬිවරයාට යැව්වලු. කාරණාව දැනගත්තු පඬිතුමා පණ්ඩිතයන්ගේ කේලම් බොරු බව උපාය මගින් රජුට පැහැදිලි කරලා ජීවිතේ බේරගත්තලු.
මහෝෂධ පඬිතුමාගේ පණ බේරන්න අග්ගලා ලියමනක් යැව්වය කියන මේ කතාව තියෙන්නේ උම්මග්ග ජාතකයේ. ඉතින් එහෙම බැලුවහම අග්ගලා කියන්නේ බොහෝම පැරණි කෑමක් නොවෑ.
හැබැයි අග්ගලා කියන්නේ සිංහලයන්ට ආවේණික වෙච්චි සිංහල රස කැවිල්ලක්ය කියලත් සමහරු කියනවා. ඔන්න රාවණා රජතුමා සීතා දේවියව ලංකාවේ සඟවගෙන ඉන්න කාලේ සීතා දේවිට සුව නොවෙන උදරාබාධයක් හැදුනලු. ඉතින් ඕක අහලා සංතාප වෙච්චි රාවණා රජ, සීතා දේවිට තමන්ගේ අතින්ම අග්ගලා හදලා, එව්වට ඖෂධ මිශ්‍ර කරලා සීතට යැව්වලු. අග්ගලා ගෙඩි දැකලා කුපිත වෙච්චි සීතා ඒ අග්ගලා ටික රාස්සාව කියන කන්ද උඩට වීසි කළාලු. ඊට අවුරුදු ගාණකට පස්සේ ඒ ගම්පළාතේ උදවියට රාස්සාව කන්දෙන් සීතා විසි කළාය කියන අග්ගලා ගුලි ලැබෙන්න ගත්තලු. ඔය ගුලියක් ගෙදර ගෙනල්ලා ගල ගාලා බිව්වහම බඩේ අමාරු, ඇඟපත රුදා නැති වෙනවා කියලයි ජනවහරේ කියැවෙන්නේ.
එව්වයේ ඇත්ත නොදන්නවා වුණත් අග්ගලා කියන්නේ සිංහලයාගේ කැවිල්ලක් බව රොබට් නොක්ස්ගේ ‘එදා හෙළදිව’ පොතේ මෙන්න මෙහෙම ලියලා තියෙන බව නම් ඇත්තක්.
“අග්ගලා නමින් සිංහලයන්ගේ තවත් අලුමුසුවක් වෙයි. බැදි හාල් පිටි පැණියෙන් අනා ගම්මිරිස්, කරඳමුංගු හා කුරුඳු මුසුකොට මේ ගුලි සාදනු ලැබේ. මේවා ගුලි කිරීමෙන් පසු තද වේ. මේවා දීර්ඝ කාලයක් තබාගෙන කා හැකිය.”
ගෙදර කුස්සියේ ඉතිරිවෙන බත් ඩිංගිත්ත වේලලා ඒ ඉතුරුම් බත්වලින් අග්ගලා හදන එක ඒ කාලේ ඉඳලම අපේ ගෘහණියන්ගේ පුරුද්දක්. ආහාර අහේනියක් ආවම සිංහලයා අග්ගලා කකා වතුර බොනවලු. අනික ඒ කාලේ මිනිස්සු ගමන්බිමන් ගියේ පයින්මනේ. ඉතින් දවස් ගණන් පයින් යද්දි කෑම හොයාගන්න අමාරු නිසා අග්ගලා හදාගෙන මග දිගට කන්න අරගෙන යනවලු.
“අග්ගලා කන්ඩෝං පුතා
හෙළේ නගින් ඩෝං පුතා
අපේ බුදුන් අපි වඳින්ට
පෙරළි පෙරළි අපි වඳින්ට”
ඒ කාලේ ඇත්තෝ සිරිපා කරුණා කරන්නත් අග්ගලා අරගෙන යනවලුනේ. අග්ගලා හප හපා සිරිපා කරුණා කරද්දි සීතල නැති වෙනවයි කියලයි කියන්නේ.
සිංහලකම එක්ක බැඳිච්ච ආහාරයක් නිසාදෝ අදටත් අග්ගලා ගෙඩියක් කාලා ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්න අකමැති කෙනෙක් මේ රටෙන් නම් හොයාගන්න බැරිවෙයි. වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද කියලා කියමනක් තියෙනවා. වෙනින් කෑම කෙසේ වෙතත් අග්ගලා ගිලින එක නම් කාටත් කිරිකජු වැඩක්. ඒ නිසා ස්වයං රැකියාවක් විදියට අග්ගලා හැදුවොත් අත උඩින් විකුණගන්න පුළුවන්.
මුලින්ම අපි සහල් 250g කින් අග්ගලා ගෙඩි හදලා බලමු. අලෙවියට අග්ගලා හදනවා නම් සම්බා සහල් නැත්තම් නාඩු අවශ්‍ය වෙනවා. සහල්වලට අමතරව සීනි 125g, පොල්පැණි 125g, ගම්මිරිස් ඇට 10ක් සපයාගන්න.
පියවර 1
මුලින්ම සහල් ටික සෝදලා වේළගන්න. ඊටපස්සේ සහල් ටික පොරි වෙන්න නොදී කබලේ බැදගන්න.
පියවර 2
බැදගත්තු සහල් ටික ගම්මිරිස් එක්ක එකතු කරලා කොටලා හලාගන්න. අග්ගලාව උඩ තවරන්න පිටි 25gක් විතර අරන් තියාගන්න.
පියවර 3
පැණි ටිකයි, සීනි ටිකයි නූලක් වගේ ඇදෙනකල් උණු කරගන්න. ඊටපස්සේ මේ මිශ්‍රණය ලිපෙන් බාගෙන ඒකටම පිටි ටික එකතු කරලා රස්නේ පිටින්ම ගුලි කරන්න. අර තියාගත්තු පිටි ටික තවරලා රස්නේ ගියාට පස්සේ ඇසුරුම් කරන්න.
පොලිතින්වල හරි ප්ලාස්ටික් බඳුන්වල හරි අග්ගලා ඇසුරුම් කරන්න පුළුවන්. අග්ගලාවක් අවුරුද්දක් වුණත් නරක් නොවී තියාගන්න පුළුවන්. ඒත් ඇසුරුම්වල නිෂ්පාදනයෙන් මාස හයක් වගේ කාලයක් සඳහන් කරන එක වඩා හොඳයි. සාමාන්‍ය ප්‍රමාණයේ එක අග්ගලා ගෙඩියක් දැන් රුපියල් 50කට වගේ අලෙවි කරන්න පුළුවන්. වැඩි විස්තරවලට වෙනදා වගේම 0714766819 මේ අංකයට කතා කරන්න.
සීතා පොන්නම්පෙරුම
ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා
සෙව්වන්දි හෙට්ටිආරච්චි