ක්‍රිකට්වලට තියෙන ආදරේ නිසා පුතා කලින්ම උසස් පෙළ ලිව්වා
“මට සාමාන්‍ය පෙළ ලියන්න අදහසක් ආවේ 8 පන්තියේ ඉන්නකොට. එතකොට මට වයස අවුරුදු 13යි. 2020 අවුරුද්දේ කොරෝනා වසංගතය ආවනේ. ඉතින් පාසල් පැවැත්වුණේ නැති නිසා ගෙවල්වල ඉඳන් ඔන්ලයින් තමයි හැමදේම කළේ. පස්සේ මං මගේ අදහස ගෙදර අයට කියලා බැලුවා. අම්මා තාත්තා අකමැති වුණේ නෑ. ඉතින් මං 8 පන්තියේ ඉන්න ගමන් එදා සාමාන්‍ය පෙළ විභාගය ලිව්වා.”
ඒ දෙව්ම් සනහස් රණසිංහ ය. ඔහු පසුගිය වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට තුන් වසරක් තිබියදී විභාගය ලියා ඉහළින්ම සමත් වූ දරුවෙකි. එවකට දෙව්ම්ට සිය අනන්‍යතාව තහවුරු කරන්නට කියා හැඳුනුම්පතක් හෝ තිබුණේ නැත. පසුව ඔහු විභාගයට මුහුණදී තිබුණේ විදෙස් ගමන් බලපත්‍රයක් සකසා ගනිමිනි.
“මට එවර සාමාන්‍ය පෙළට ඒ 6යි, බී 2යි, සී 1ක් ගන්න පුළුවන් වුණා. පස්සේ මට හිතුණා කලින්ම උසස් පෙළ විභාගයත් ලියන්න. ඒ වෙද්දිත් මාස 5ක් වගේ කෙටි කාලයක් තිබුණේ. මං වාණිජ විෂය ධාරාවෙන් විභාගයට ලෑස්ති වුණේ. ඉස්කෝලේ උසස් පෙළ ගුරුවරු ලොකු සහායක් දුන්නා. මං ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඉතින් ඒ කාර්යබහුල බවත් එක්ක ඉදිරියේදී අධ්‍යාපන කටයුතු මගඇරෙයි කියලා බයක් ආවා. ඒක නිසයි මං කලින්ම උසස් පෙළත් ලියන්න හිතුවේ.”
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගෙවුණු ඉරිදා අන්තර්ජාලය වෙත නිකුත් කෙරුණි. ඒ අනුව දෙව්ම් වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගය සමත් වී තිබුණේ බී සාමාර්ථ 3ක් ලබාගනිමිනි. ඒ ව්‍යාපාර අධ්‍යයනයට, ගිණුම්කරණයට සහ ආර්ථික විද්‍යාවටය. මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ සිසුවෙක් වන දෙව්ම්ට සරසවි වරම් ලබාගැනීමට තරම් එම ප්‍රතිඵලය ප්‍රමාණවත්ය.
“කොරෝනා කාලේ දෙව්ම් පුතා පුංචි යෝජනාවක් කළා. ඒ එයාගේ තාත්තට. ඒ යෝජනාව තමයි තාත්තේ මං සාමාන්‍ය පෙළ විභාගය කලින් ලියන්නද කියලා. මහත්තයා අකමැති වුණේ නෑ. මමත් මුකුත් කිව්වේ නෑ. අන්තිමේ එයා විභාගය ලියලා ඉහළින්ම සමත් වුණා. අපිටත් පුදුම හිතුණා. පස්සේ මෙයා ආයෙමත් ඇවිත් අපෙන් ඇහුවා මං උසස් පෙළත් කලින්ම ලියන්නද කියලා. අපි හිතුවා මෙයාට විශ්වාසයක් තියෙන නිසානේ මෙහෙම අහන්නේ කියලා. ඉතින් අපි කැමති වුණා. කියන්න සතුටුයි පුතා උසස් පෙළත් ඉහළින්ම පාස්වුණා.”
ඒ සතුට දෙව්ම්ගේ අම්මාටය. ඇය මල්කා රණසිංහයි. කඩවත පහළ ඉඹුල්ගොඩ පදිංචි දෙව්ම්, දරුවන් තිදෙනෙක් සිටින පවුලේ වැඩිමලාය. ඔහු සාමාන්‍ය පෙළ, උසස් පෙළ පමණක් නොව ශිෂ්‍යත්වයද ලකුණු 173ක් ලබාගෙන ඉහළින්ම සමත් වූ බවයි ඇය ‘ධරණී’ට පැවසුවේ.
“දෙව්ම් කියන්නේ ටිකක් වෙනස් දරුවෙක්. එයා ගොඩාක් දේවල් ගැන උනන්දුයි. එහෙම දරුවෝ ලංකාවේ ඕනතරම් ඉන්නවා. හැම දෙමව්පියෙක්ම ඒ වගේ දරුවන්ගේ කුසලතා හැකියා අඳුරගෙන එයාලට ශක්තියක් වෙන්න ඕන. බලෙන් දේවල් කරවන එක නම් කරන්නම හොඳ නෑ. දෙව්ම්ගේ තාත්තා වුණත් කිසිම වෙලාවක පුතාට බලපෑම් කරන්න ගියේ නෑ. එයා කළේ පුතාගේ කැමැත්තට ඉඩ දීලා ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය එයාට දීපු එක තමයි.”
දෙව්ම්ගේ මව පියා දෙදෙනාම පාසල් ගුරුවරුන්ය. ඒ නිසාම එහි වාසියද දරුවාට ඉබේම ලැබුණි. මේ අතරවාරයේ දෙව්ම් උසස් පෙළ වෙනුවෙන් මහන්සි වූ ආකාරය ගැන ඔහුගේ මව මෙසේ පැවසුවාය.
“පුතා කිසිම අමතර පන්තියකට ගියේ නෑ. එයා උසස් පෙළ ලියනවා කියපු ගමන් ඉස්කෝලේ උසස් පෙළ ගුරුවරු තුන්දෙනා එයා වෙනුවෙන් කැපවුණා. ඒ කියන්නේ අමතර වෙලාවල් දාගෙන අදාළ පාඩම් සම්පූර්ණයෙන්ම ඉවර කළා. ඉතින් මෙහෙම ප්‍රතිඵලයක් ලැබුණු එක ගැන සතුටුයි. තව මහන්සි වුණා නම් ‘ඒ’ තුනක් පවා ගන්න තිබුණා. හැබැයි මේ ප්‍රතිඵලයෙන් කැම්පස් යන්න පුළුවන්. එයාට ඕන නීතිය හදාරන්න. එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒ විෂයට අවුරුදු 18ක් වෙනකල් රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ළමයි ඇතුළත් කරගන්නේ නෑනේ. ඒත් අපි උත්සාහ කරනවා. දැන් එයාගේ එකම හීනය වෙලා තියෙන්නේ වයස අවුරුදු 19ක් වෙනකොට උපාධියක් සම්පූර්ණ කරන්න.”
දෙව්ම්ගේ මව එසේ කියන්නේ තම වැඩිමල් දරුවා ගැන ඉමහත් ආඩම්බරයෙනි. ඒ ආඩම්බරය සාධරණය. මන්ද වසරකට මෙරට දරුවන් ලක්ෂ ගණනක් උසස් පෙළ ලියති. ඒ අතරින් විභාගය සමත්වෙන්නට හැමෝටම වාසනාව ලැබෙන්නේද නැත. ඇරත් සමත් වූ දරුවන්ගෙනුත් සරසවි වරම් හිමි තිස්දහසකට පමණය. එවැනි පසුබිමක පුංචි දෙව්ම්ගේ මේ හපන්කම ගැන ආඩම්බර නොවී සිටිය හැකිද? අප අවසානයේ හැරුණේ දෙව්ම් දෙසටය. ඒ ඔහුගේ අනාගතය ඔහුගේ වචනවලින්ම ඇසීමටය.
“අම්මා කියන්නේ ඇත්ත. මට ඕන උපාධිය සම්පූර්ණ කරලා නීතීඥයෙක් වෙන්න. ඒ එක්කම ක්‍රිකට් ක්‍රීඩාවට මූලිකත්වය දීලා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න ආසයි.”
රුවන් එස්.සෙනවිරත්න