විශේෂාංග

කිට්ටුවට ආවොත් ළමයගේ බෙල්ල කපනවා කියලා තර්ජනය කළා

කොළඹ ඇතුළු ප්‍රධාන නගර රැසකම පාරේ, පොදු ස්ථානවල, ආලෝක සංඥා පුවරු අසළ මෙන්ම පූජනීය ස්ථාන අසළද වැඩි වශයෙන් යාචකයින් දක්නට ලැබීම අරුමයක් නොවේ. ඉන් වැඩි පිරිසක් සිඟමන් යදින්නේ අතදරුවන් හෝ පාසල් යන වයසේ බාලවයස්කාර දරුවන්ද සමඟිනි. එලෙස සිඟමනේ යොදවන බාලවයස්කාර දරුවන් නිද්‍රාශීලී කිරීමට මත්ද්‍රව්‍ය ලබාදෙන බවට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට පසුගිය දිනක ඔත්තුවක් ලැබිණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් නාරාහේන්පිට, කිරුළපන, බොරැල්ල, රාජගිරිය, බත්තරමුල්ල සහ දියත උයන ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් දියත් කළහ.

දිනය ඉකුත් බ්‍රහස්පතින්දාය. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ විමර්ශන භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දරත්, ග්‍රෑන්ඩ්පාස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉනෝකා ඇතුළු පිරිස සෙසු නිලධාරීන්ද සමඟින් කිරුළපන පොලිසියට එක්වූයේ එම මෙහෙයුම් දියත් කිරීමටය. පසුව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දරගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් වන සමන්ති සහ ඉනෝකාගේ මූලිකත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් බේස්ලයින් පාර සහ කොළඹ කොටුව දෙසට බෙදී ගියහ. මෙම නිලධාරීන් මෙහෙයුමේ කටයුතු ඉතා සූක්ෂමව සහ රහසිගතව ක්‍රියාත්මක කළද පලපුරුදුකරුවන් වූ යාචක කාන්තාවන්ට මේ ගැන ඉව වැටීමට වැඩි වේලාවක් ගියේ නැත.

එනිසාම පොලිසිය දකිනවාත් සමඟ කලබල වූ යාචක කාන්තාවන් දරුවන්ද කිහිලි ගසාගෙන ලඳු කැලෑ, පාලම්, බෝක්කු මෙන්ම පේළි ගෙවල්ද පීරමින් එක පිම්මට දුවන්න පටන්ගත්තේ ගැරඬින්ට භූමිතෙල් ගැසුවාක් මෙනි. ඒ අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්ද ඔවුන්ව ලුහුබැඳ ගියහ. එහිදී ඇතැම් යාචකයින් ළඟ තිබූ දැලිපිහි සහ වෙනත් ආයුධ අතට ගෙන සියදිවි හානිකරගන්නා බව කියමින් නිලධාරීන්ව බියවැද්දීමට උත්සාහ කළහ. තවත් පිරිසක් ඔවුන් සතුව තිබූ ආයුධ දරුවන්ගේ බෙල්ලට තබා තර්ජනය කරමින් පැනගන්නට උත්සාහ කළහ. එවැනි අවස්ථාවලදී පොලිස් නිලධාරීන්ට අකමැත්තෙන් වුවද අඩියක් පස්සට ගන්නට සිදුවූයේ කලබල වුවහොත් ජීවිත හානි පවා සිදුවීමට ඉඩ තිබූ නිසාය.

පසුගිය කාලේ පුරාවටම බාලවයස්කාර දරුවන්ට මත්ද්‍රව්‍ය දීලා සිමනේ යෙදවීමෙන් මුදල් හොයන කල්ලි කිහිපයක් ගැන අපිට තොරතුරු ලැබිලයි තිබුණේ. ඒ අනුව තමයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශයේ අපි ඇතුළු පොලිස් නිලධාරීනුත්, ළමා අමාත්‍යංශයේ නිලධාරීනුත්, ළමා සංවර්ධන නිලධාරීන් සහ පරිවාස නිලධරීනුත් එකට එකතුවෙලා මේ වගේ මෙහෙයුමක් දියත් කළේ.

හදිසියේම සිදුකළ මෙම වැටලීම ගැන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශයේ විමර්ශන භාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර මහත්මිය විස්තර කළේ එලෙසිනි.

පස්සේ අපේ නිලධාරීන් කිරුළපන පොලිසියේ ලා බොරැල්ල, දෙමටගොඩ, තොටළ, බේස්ලයින් පාර සහ පිටුකොටුව වගේ හැම පැත්තකටම බෙදිලා ගියා. නමුත් නිලධාරීන් යන්නත් කලින්ම ජාවාරම්කරුවන්ට තැරැව්කරුවන්ගෙන් මේ ගැන යම්කිසි ඔත්තුවක් ගිහිල්ලා තිබුණා. ඊටපස්සේ පොලිසිය ඒ ස්ථානවලට ළාවනවාත් එක්කම යාචක කාන්තාවන් පැනලා දුවන්න පටන්ගත්තා. එතැන ඉන් ඔවුන්ව කොටුකරගන්න නිලධාරීන්ට ලොකු වෙහෙසක් ගන්න සිද්ධ වුණා.

සමහර යාචක කාන්තාවෝ ඔවුන්ගේම ජීවිතවලට හානි කරගන්න හැදුවා. ඒ වගේම ඔවුන්ට ළංවුණොත් ඒ තැන්වලදිම දරුවන්ගේ බෙල්ල කපනවා කියලාත් අපේ නිලධාරීන්ට තර්ජනය කරලා තිබුණා. සමහර කාන්තාවෝ අත්අඩංගුවට ගන්නකොට නිලධාරීන් එක්ක හරි හරියට ඔට්ටුවෙලා නිලධාරීන්ගේ අතපය පවා හපාකාලා තිබුණා. ඒ විතරක් නෙවෙයි මෙහෙයුමට සම්බන්ධ වෙලා හිටිය නිලධාරීන් කීපදෙනෙකුටම ඔවුන්ගේ පිහි පහරවල්වලටත් ගොදුරු වෙන්න සිද්ධ වෙලා තිබුණා. ඒ නිසා එදා මෙහෙයුමේදී අපිට අපි සැලසුම් කරපු තරම් ප්‍රගතියක් අත්කරගන්න බැරි වුණා. නමුත් අපි අසාර්ථක වුණේ නෑ.

පසුව නිලධාරීන් විසින් වයස අවුරුදු 10ත් 15ත් අතර බාලවයස්කාර දරුවන් නවදෙනෙකු සමඟින් කාන්තාවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵලයක් වශයෙනි. එමෙන්ම අත්අඩංගුවට පත් පිරිස සහ පැනගිය පිරිස අතර දරුවන් කුලියට ගෙන සිඟමනේ යොදවන පිරිස් මෙන්ම මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා තමන්ගේම දරුවන් සිඟමනේ යොදවන දෙමාපියන්ද සිටි බවයි නියෝජ්‍ය පොලිස්පතිවරිය කියාසිටියේ.

අපි අත්අඩංගුවට ගත්ත කාන්තාවන් සියලුදෙනාම තමන්ට මත්ද්‍රව්‍ය ලබාගැනීමට ඕන නිසා එයාලගෙම දරුවන්ව සිමනේ යොදවපු අම්මලා. නමුත් අපිට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව මේ විදියට ළමයි සිමනේ යෙදවීම පිටිපස්සේ ලොකු ජාවාරම්කාර කල්ලියක් ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ තැරුව්කරුවෝ ඉන්නවා. අනික මේ කාන්තාවන්ගෙන් ප්‍රශ්න කරනකොට හැමෝම වගේ කියන්න පටන්ගත්තේ දරුවන්ව තනියම ගෙවල්වල දාලා එන්න බැරිකමට පාරට අරන් ආවා කියන එක. ඒ මොනවා වුණත් නීතියෙන් ඔවුන්ට ගැලවීමක් නෑ. මොකද මේ අය දරුවන්ව දවසේ පැය 12කටත් වඩා වැඩි කාලයක් මහපාරේ තියාගෙන ඉන්නවා. ඒ අයට අධ්‍යාපනය ලබන්න ඉඩ දෙන්නේ නෑ. කෑමබීම නෑ. න්තේට්ටම් කරනවා. ඒ නිසා දණ්ඩනීති සංග්‍රහයේ දරුවන්ව කෲරත්වය පැමිණවීම කියන වරදට ඔවුන් අත්අඩංගුවට අරන් අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදලා තියෙනවා. ඊළට රජය භාරයට ගත්ත සමහර දරුවන්ගේ වෛද්‍ය පරීක්ෂණවලින් ඔප්පුවෙලා තියෙනවා ඒ අයට අධික ලෙස මත්ද්‍රව්‍ය ශරීරගත වෙලා තියෙනවා කියලා. අවශ්‍ය සියලු නීතිමය ක්‍රියාමාර්ගවලින් පස්සේ ඒ දරුවන්ව පරිවාස භාරයට යොදවන්න අපි කටයුතු කළා.

එමෙන්ම මෙම මෙහෙයුමේම තවත් ඉදිරි පියවරක් වශයෙන් කැලණිය, ගම්පහ, ගල්කිස්ස වැනි ප්‍රදේශවල තවදුරටත් වැටලීම් කිරීමට සැලසුම් කරගෙන යන බවත් ඇය කීවාය.

ඒ වගේම කියන්න ඕන මේක ළමා හා කාන්තා කාර්යංශයේ අපිටවත්, පොලිසියටවත් තනියම කරගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය යටතේ ඒ සම්බන්ධව වැඩ කරන නිලධාරීන් ඉන්නවා. ඒ නිසා ඉදිරියට මෙවැනි මෙහෙයුම් සිද්ධ කරද්දි ඒ අයවත් සම්බන්ධ කරගෙන පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කරගෙන ඉන්නවා.

අවසාන වශයෙන් මම අපේ රටේ බුද්ධිමත් මහජනතාවගෙන් එකම ඉල්ලීමක් කරනවා. මේ කාන්තාවන්ගේ වැඩි හරියක් දෙනා දරුවන්ව මහපාරේ තියාගෙන සිමනේ යොදවන්නේ ඒ දරුවන්ට මත්ද්‍රව්‍ය පොවලා. ඒ වගේම හිාකාලා හොයාගන්න එක රුපියලක්වත් ඔවුන් ඒ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනයටවත්, කෑමබීමටවත් යොදවන්නේ නෑ. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඒ හැම රුපියලක්ම යොදවන්නෙත්, යොදවලා තියෙන්නෙත් ඔවුන්ට මත්ද්‍රව්‍ය මිලට ගන්න. ඒ නිසා මේ වගේ දරුවන්ව තියාගෙන සිමනේ යන කාන්තාවන්ව දැක්කම ඔබලා කරන්නට ඕනේ අනේ මේ දරුවොත් අපේ දරුවෝ වගේමනේ කියලා හිතලා සල්ලි දීලා යන එක නෙවෙයි. ඔවුන් දරුවන් සමින් සිමනේ යෙදෙමින් සිටින ස්ථාන ගැන ආසන්නතම පොලිසියට හරි පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ අපිට හරි දැනුම් දෙන එක. මොකද ඔබේ මගේ දරුවන්ට වගේම නිසි අධ්‍යාපනයක් ලබලා දීලා ඔවුන්ටත් හො අනාගතයක් හදලා දෙන එක අපි හැමෝගෙම වගකීමක්.

අහිංසක දරු පැටියෙකු පැමිණ කුසගින්න නිවාගන්නට කීයක් හෝ ඉල්ලූ විට හිත්පිත් ඇති ඔබේත් මගේත් හදවත උණුවන බව ඇත්තය. එමෙන්ම අතේ තිබෙනවා නම්  රුපියල් විස්සක් තිහක් ඔවුන් අත තැබීමට අප මැලිවන්නේද නැත. එහෙත් මල් වැනි අහිංසක දරු පැටවුන්ව ලන්සු තබමින් ඔවුන්ගේ අනාගතය විනාශ කරන මෙවැනි ජූජකයින්ට අප තවදුරටත් රැවටිය යුතු නැත.

 

ලිහිණි මධුෂිකා