විශේෂාංග

වැදුණු පාරට බඩ කොරවෙලා වගෙයි කියලා ඒ අම්මා කෑගහලා ඇඬුවා

මේ දිනවල උදේවරුවට කොහෙන් එන බස්වලත් කටකපා සෙනඟය. වෙනදාට තම තමන්ගේ පෞද්ගලික වාහනවල ගමන් බිමන් ගිය උදවියත් පොදු ප්‍රවාහනයට හුරුව තිබීම ඊට හේතුවයි. වෛද්‍ය සිසුවියක් වූ අඹතලේ පදිංචි සිත්මි දුන්‍යා ද සුපුරුදු පරිදි කඩුවෙල නගරයෙන් කඩුවෙල-කොල්ලුපිටිය 177 බස්රථයට ගොඩවූයේ ශ්‍රී ජයවර්ධනපුර ජාතික රෝහලේ සායනික පුහුණුවට පිටත්ව යාමටයි. කඩුවෙල නගරයේදීම බස් රථයට නැගගත් නිසා ඇයට ඕනෑතරම් ඉඳගැනීමට එහි ඉඩ තිබුණි.

බස් එක කඩුවෙලින් එද්දි එහෙමට ලොකු සෙනඟක් හිටියේ නෑ. ඒත් මාළඹේට වගේ එනකොට ඇඟිල්ලක්වත් ගහන්න බැරිතරම් බස් එකේ සෙනඟ හිටියා.”

බස්රථය වෙනදා මෙන් සාමාන්‍ය පරිදි පැමිණියද එක්වරම සිදුවූයේ කවුරුත් බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ සිදුවෙන්නට ගිය අනතුරකින් බේරෙන්නට බස්රථයේ රියැදුරු ක්ෂණික බ්‍රේක් පහරක් ගැසීමයි. ඒත් සමඟින්ම බස් රථය තුළ හිටගෙන ගිය බොහෝ පිරිසක් විසිවී යද්දී තමා ආසන්නයේ සිටි මැදි වයසේ කාන්තාවක් බස්රථය තුළ ඇදවැටුනු බවක් සිත්මි දුටුවාය.

මට මතක විදියට මේ සිද්ධිය වුණේ තලාහේන හරියෙදි. මොකක්හරි අනතුරක් වළක්වගන්න නොහිතපු වෙලාවක බස් එකේ රියැදුරු එක්වරම බ්‍රේක් එකක් ගැහුවා. ඒ බ්‍රේක් පාරේ සැරට මට ඉස්සරහා හිටපු මැදි වයසේ ගෑනු කෙනෙක් විසිවෙලා ගිහින් ඇදගෙන වැටුනා. ඒ වැටෙද්දි එයාගේ බඩ හරිය සීට් එකේ යකඩ පොල්ලේ වැදුනා. ඊටපස්සේ එයා බඩ අල්ලගෙන දිගටම අඬන්න ගත්තා.”

බස්රථයේ කටකපා සෙනඟ සිටියදී එකදිගට මහා හඬින් හැඬූ මැදි වයසේ කාන්තාව ගැන සිත්මිට ප්‍රශ්නාර්ථයකි. ඒ නිසාම ඇය ඇදවැටුනු කාන්තාවගෙන් නිකමට ඒ ගැන විමසා බලන්නට තීරණය කළාය.

අම්මේ මොකද වුණේ? ඇයි අඬන්නේ..?”

එහෙත් ඇය දිගින් දිගටම හැඬුවා හැරෙන්නට කිසිවක් පැවසුවේ නැත. මොකකට නමුත් ඇය බිය වී ඇති බවයි සිත්මිට තේරුම් ගියේ. ඒ නිසාම සිත්මි කළේ තම අසුනෙන් නැගිට ඇයට එහි ඉඳගන්නා ලෙස පැවසීමයි.

එයා පොඩ්ඩක් විතර සිහිමද ගතියකින් වගේ ඒ වෙලාවේ හිටියේ. ඉතින් ඉඳගන්න දුන්නත් එයා ඉඳගෙනත් කළේ අඬපු එකම විතරයි. බැරිම තැන මං එයාගෙන් ඇහුවා බඩ අල්ලගෙනම අඬන නිසා බඩේ මොකක්හරි ඔපරේෂන් එකක්වත් කරලා තියෙනවද කියලා. ඒත් කිසිම උත්තරයක් දුන්නේ නෑ. දිගටම බඩ අල්ලගෙන ඇඬුවා.”

සිත්මි මොනතරම් උත්සාහ ගත්තත් ඇදවැටුනු කාන්තාවගෙන් උත්තරයක් ගැනීමට නම් හැකියාවක් ලැබුණේ නැත. අවසානයේ ඇයගේ හිතේ තමන් පිළිබඳ විශ්වාසයක් ඇතිකිරීමට සිත්මි තමා වෛද්‍ය ශිෂ්‍යාවක් යන වග ඇයට පැහැදිලි කළාය. සිත්මි වෛද්‍ය ශිෂ්‍යාවක් බව දැනගත් පසු එතෙක් වේලා හැඬූ කාන්තාව හැඬිල්ල පසෙකින් තබා ඊට හේතුව පැවසුවාය.

අනේ මිස් මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ.”

ඇගේ පිළිතුරෙන් වෛද්‍ය ශිෂ්‍යාවක් වූ සිතුමි කලබල විය. ඒ ගර්භනී කාන්තාවකගේ තත්ත්වය සහ ඇය අරපරෙස්සම් විය යුතු විදිය ගැන ඇයට විෂයානුබද්ධ දැනුමක්ද තිබුණු නිසාය.

ඇත්තටම එයාට අවබෝධයක් තිබුණේ නෑ බඩට දරුවෙක් ඇවිත් කොච්චර කාලයක් වෙනවද කියලා. අනික එයා බස් එකේ හිටියේ හිටගෙන. ඇඳගෙන හිටපු ඇඳුම නිසාද මන්දා දරුවෙක් ලැබෙන්න ඉන්න බවක් පේන්න තිබුණෙත් නෑ. එහෙම පෙනුණා නම් එයාට හිටගෙන යන්න වෙන්නේ නෑ ඉඳගන්න ඉඩක් ලැබෙනවනේ. ඒත් බස් එකේ හැමෝම හිතුවේ ඇය සාමාන්‍ය කාන්තාවක් කියලා. එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නේ කිව්වට පස්සේ මං ඉක්මණින්ම ඇහුවා ඒ ගැන සඳහන් කරපු මුකුත් ලියවිල්ලක් ළඟ නැද්ද කියලා. මොකද එහෙම තියෙනවා නම් මට තේරුම්ගන්න පුළුවන් එයාගේ තත්ත්වය හරියටම. පස්සේ එයා මට බෑග් එකෙන් අරන් වෛද්‍ය වාර්තාවක් දුන්නා. ඒක පරීක්ෂා කරද්දි එහි සඳහන් වෙලා තිබුණා ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා. ඒ වගේම යම් යම් රෝගී තත්ත්වයන් කීපයකුත් ඇයට තිබුණා.”

වෛද්‍ය ශිෂ්‍යාවක් වූ නිසාම කළ යුතු සහ නොකළ යුතු දේ ගැන ඇයට අවබෝධයක් තිබිණි. ඇය සියල්ලටම කලින් ඇසුවේ කාන්තාවට ඇති අපහසුතාව ගැනය.

අම්මට දැන් තියෙන අමාරුව මොකක්ද කියන්න. බය වෙන්න එපා මං ඉන්නවනේ. අම්මා ඒ නිසා තියෙන අමාරුව හරියටම කියන්න.”

මගේ බඩ කොරවෙලා වගේ මිස්. අනේ මට හරිම අමාරුයි.”

කාන්තාව එසේ කියා දිගටම හඬද්දී සිත්මිගේ තීරණය වූයේ ඇයව වහාම රෝහල්ගත කළ යුතු බවයි. දෙදෙනාගේම වෙලාවේ හොඳකමටදෝ බස්රථය ඒ මොහොත වනවිටත් තිබුණේ තලංගම ප්‍රාදේශීය රෝහල පේනමානයේය.

ඒකත් වාසනාව. පස්සේ මං ඒ අම්මව බස් එකෙන් බස්සවගෙන රෝහලට එක්ක ගියා. මමමයි අම්මව රෝද පුටුවේ තියාගෙන වාට්ටුවට එක්කන් ගියේ. ඒ ගිහින් නර්ස් කෙනෙක්ට කාරණාව කිව්වා. නර්ස්ටත් වෙලා තිබුණු දේ බරපතළකම තේරුණා. ඊටපස්සේ ඇගේ උදව් ඇතුව ඉක්මණින්ම ඒ අම්මව රෝහල් වාට්ටුවට එක්කන් ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. ඩොක්ටර් අම්මව ඉක්මණින්ම පරීක්ෂා කළා. ඒ වෙනකොටත් ඇයට බයටම පෙශර් එක නැගලයි තිබුණේ…”

අවසානයේ තීරණය කෙරුණේ අදාළ කාන්තාව හැකි ඉක්මණින් තලංගම ප්‍රාදේශීය රෝහල් ගිලන්රථයෙන් කාසල් රෝහලට මාරු කළ යුතු බවයි. ඒ හැම මොහොතේම ඇගේ භාරකරු ලෙස පිහිටට හිටියේ සිත්මි ය. ඇය නොවන්නට ගැබිනි මවටත් ඇගේ කුස තුළ සිටි නූපන් බිළිඳාටත් කුමකින් කුමක්වේදැයි සිතාගත නොහැකිය. වාසනාවට මෙන් දරුගැබට හානියක් නොමැති බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබිණි. සැබෑවටම අපට උවමනා තැන නොතැන නොබලා මිනිසුන් වෙනුවෙන් පෙනීසිටින එවැනි කරුණාවන්ත හදවත් ඇති මිනිසුන්ය. එකී කරුණාවන්ත බවින් පොහොසත් වූ මේ වෛද්‍ය ශිෂ්‍යාවට තුති මල් මිටක් පුදන්නට අපිද අමතක නොකළෙමු.

රුවන් එස්.සෙනවිරත්න