විශේෂාංග

වෙනදට කෙහෙවලු පටලවාගන්න අය එදා කෙහෙවලු දන් දෙන්න පොලිසියට ආවා

තමන්ට කොතරම් වටිනා දෙයක් වුව, තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් පරිත්‍යාග කරන්නට හිතෙන්නේ හිත ලස්සන වූ විටය.

එවන් ලස්සන හිත් ඇත්තියන් පිරිසක් විසින් සිදුකළ අපූර්ව පරිත්‍යාගයක් පිළිබඳව අපට පසුගියදාක අසන්නට ලැබුණි. 156 වන පොලිස් දිනයට සමගාමීව වේවැල්වත්ත පොලිසියේ නිලධාරිනියන් එක්ව සංවිධානය කර තිබූ එම අවස්ථාව එතෙක් මෙතෙක් පොලිස් ස්ථානයක් විසින් සංවිධානය නොකළ විදියේ වැඩසටහනකි.

මේ වැඩසටහන සංවිධානය කරන්න හිතද්දිම මම මගේ මහත්තයට කිව්වා මට හිසකෙස් දන් දෙන්න අදහසක් තියෙනවා කියලා. එයා හිනාවෙලා කිව්වේ, ‘අනේ ඒක හොඳ දෙයක්, ඔයා ඒක කරන්න කියලයි.”

ඒ වේවැල්වත්ත පොලිසියේ ප්‍රජා පොලිස් සම්බන්ධීකාරක නිලධාරිනී, කාන්තා පොලිස් සැරයන් ප්‍රමිලාගේ (2759) හඬයි. කුඩාකල සිටම ආගමට දහමට බෙහෙවින් ලැදිව කටයුතු කළ ඇයට මහණදම් පිරීමට සිත් පහළ වුණේ කුඩා වියේදියි. එහෙත් ඊට දෙමාපිය අවසරය නොලැබුණු තැන ඉගෙනුම අවසන් කර පොලිස් සේවයට එක්වුවත්, ඇයගේ දැහැමි සිතිවිලි වෙනස් වූයේ නැත.

ඒ අනුව ඇය තමන් හා එකම සේවා ස්ථානයේ රාජකාරි කරන කාන්තා පොලිස් සැරයන් ගයානි (3386), කොස්තාපල් බුද්ධිනී (11894), ලක්මිණී (11395), අනුරාධා (12889) හා එක්ව මේ කෙස් දන්දීමේ අදහස ක්‍රියාවට නංවන්නට කටයුතු සූදානම් කළාය. ඒ අනෙකුත් නිලධාරිනියන්ද ප්‍රජා සත්කාරවලට කැමැත්තක් දැක්වූ නිසාය.

පොලිස් දිනයට ලංකාව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එතැනදී මට අදහසක් ආවා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් හිසකෙස් පරිත්‍යාග කරන්න. ඇත්තටම එතැන යහපත් සිතිවිල්ලක් වගේම පින් සිතිවිල්ලකුත් තිබුණා. පිළිකා රෝගයට ගොදුරුවුණ අය ඒ ගන්න ඖෂධ නිසා හිසකෙස් හැලෙනවා. එයාලා වෙනුවෙන් මේ වගේ පරිත්‍යාගයක් කරමු කියන කාරණය මම මිතුරියන්ට කිව්වට පස්සේ ඔවුන් ඊට කැමති වුණා. වේවැල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර නිශාන්ත මහත්තයට කාරණය කියලා ඒ අනුමැතිය වගේම ආශිර්වාදය ලැබුණට පස්සේ අපි මේ කටයුත්ත සංවිධානය කළා.”

මුලදී ඊට ප්‍රචාරයක් ලබා දෙන්නට ඔවුන් අදහස් කළේ නැත. කිහිපදෙනෙක් එක්කොට ගනිමින් හිතට ආ යහපත් සිතිවිල්ල ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාව සියලුදෙනා තුළ නොඅඩුව තිබුණි.

කිහිපදෙනෙක් කියලා හිතුවත් යම් පිරිසකගේ දායකත්වය මීට ලබාගන්න ඕනකම තිබුණා. ඒක කරන්නේ කොහොමද කියන එක ඊළඟට ගැටලුවක් වුණා. ඒත් අපි වැඩට එන බස් එකේ කොන්දොස්තර ලලිත් අයියත්, ආගම දහමට ලැදිව කටයුතු කරන කෙනෙක්. ඔහුට කාරණය කිව්වම ඔහු අපේ පොලිස් බල ප්‍රදේශයේ බොහෝදෙනෙක් දැනුවත් කරලා තිබුණා. අපිත් දන්න කියන අයට කිව්වා. පහුගිය දහවැනිදා උදෑසන ඒ අනුව අපි සියල්ල සූදානමින් බලා සිටියා.”

ඒ උදෑසන ප්‍රමිලා ඇතුළු පිරිසට දැකගන්නට ලැබුණේ ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා කාන්තාවන් පිරිසක් පොලිස් ස්ථානය වෙත පැමිණෙන අයුරුයි. වෙනදාට කෙහෙවලු පටලවාගෙන පොලිස් පොතේ පැමිණිල්ලක් ලියන්නට එන කෙනෙක්, දෙන්නෙකුට වඩා හිසකේ පරිත්‍යාගයට පැමිණි මේ පිරිස දෙස පොලිසිය බැලුවේද පහන් හැඟීමකිනි.

මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීමට රූපලාවණ්‍ය ආයතන දෙකක හිමිකාරිනියන් වන අනුරාධාගේත්, සඳමාලිගේත් වටිනා සහාය ලැබිණි. එහිදී හිසකෙස් දන් දෙන්නට දෙසිය පස්දෙනෙකු තෝරාගැනීම සිදුවුණේ ඔවුන්ගේ අධීක්ෂණයෙනි.

පාසල් යන වයසේ දූවරුන් කිහිපදෙනෙකුත් මේ පිරිස අතරේ හිටියා. ඒ තමන්ගේ දෙමාපියන්ගේ අවසරය ඇතුවයි. එතැනදී වියළිව තිබුණු කොණ්ඩ තමයි අපි තෝරාගත්තේ. එක දියණියක් හොඳටෝම පොල්තෙල් ගාලයි ඇවිත් හිටියේ. අපි ඒ දරුවට කිව්වා පුතේ ඔයාගේ කොණ්ඩේ තෙල් ගාලා නිසා දන් දෙන්න බෑ කියලා. ඒ දුවගේ අපේක්ෂාව එයාගේ ඇස්වල තිබුණා. ඇය ගෙදර ගිහින් ෂැම්පු දාලා කොණ්ඩේ හෝදලා වේළගෙන ඇවිත් කොහොමහරි මේ පින්කමට දායක වුණා. ඒ වගේ උනන්දුවක්, කැමැත්තක් තියෙන පිරිසක් තමයි ඇවිත් හිටියේ. තව දුවෙක් හිටියා එයා දිගු කලක් තිස්සේ අසනීපෙන් ඉන්න කෙනෙක්. ඇයගෙත් මෙම පරිත්‍යාගයට පුදුමාකාර කැමැත්තක් තිබුණේ. මෙහිදී අඩියකට වඩා දිගු කොණ්ඩ තමයි අපි භාරගත්තේ.”

මෙහිදී පොලිසියේ රාජකාරි කළ ප්‍රමිලා ඇතුළු පස්දෙනාත් නොමසුරුව තම කේශ කලාපයන් දන් දුන් පිරිසට අයත්ය.

මේ සද්කාර්යයට එක්වුණු අය අපේක්ෂා රෝහලට පරිත්‍යාග කරන්න රුපියල් පහළොස් දහසක මුදලක්ද එකතු කළා. ඇත්තටම ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න බැහැ. මේ වගේ පින්කම්වලට තව තවත් දායක වෙන්න මගේ අදහසක් තියෙනවා. ඒ වගේම දවසක මහණ වෙන සිතිවිල්ලත් තවම හිතෙන් අයින්වෙලා නැහැ.”

ප්‍රමිලා එසේ කියද්දී මෙම පින් සිතිවිල්ල හා එක්වී කේශ කලාපය පරිත්‍යාග කළ පොලිස් කොස්තාපල් ගයානි (3386) මෙසේ කීවාය.

මම කොණ්ඩේ දන් දෙනවා කිව්වම මහත්තයා කිව්වේ මගේ කොණ්ඩය වැඩිය දිග නැති නිසා එපා කියලයි. ඒත් මගේ ආසාවට මම කොණ්ඩේ දන් දුන්නා. හවස ගෙදර යද්දි හිතේ පොඩි චකිතයක් තිබුණා එයා බනීද කියලා. ඒත් මහත්තයා මුකුත් කිව්වේ නෑ.”

ඇය කියද්දී තවම පෙම්වතියන් වන පොලිස් කොස්තාපල් අනුරාධා, බුද්ධිනී හා ලක්මිණීටද තම පෙම්වතුන්ගෙන් විරෝධයක් එල්ල නොවුණේ කාගේත් හොඳටය. විරෝධය වෙනුවට ඒ සිතිවිල්ල ඔවුන් විසින්ද අගය කර තිබිණි. ඒ ලැබුණු මානසික සතුට ගැන කියන්නට මේ උතුම් ක්‍රියාවට දායක වූ අයට වදන් නැති තරම්ය.

ඒ වාගේම පොලිස් ස්ථානයක් තුළ මෙවැන්නක් සිදුවූ පළමු අවස්ථාව මෙය බවද කියැවේ. ඒ වාගේම මෙතරම් පිරිසක් හිසකේ දන්දීමට එක්වීමද විශේෂයකි. මෙසේ ලබාගත් හිසකෙස් හා මූල්‍ය පරිත්‍යාගය මහරගම ‘නැණපහන’ පදනම හරහා අපේක්ෂා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතය.

මෙවන් පින් කටයුතු වාගේම සමාජ සත්කාරක කටයුතු  වෙනුවෙන් හැකි පමණ දායකවීමට මෙම පොලිස් දියණියන් හෙට දිනයේද සූදානම්ය.

 

හේමන්ත ලියනපතිරණ